එංගලන්තය පකිස්තානය හෙට ගැටෙයි

210

ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය

2022 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය එංගලන්තය සහ පකිස්තානය අතර හෙට (13 වෙනිදා ) ඔස්‌ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1. 30 ට ආරම්භ වීමට නියමිතය.

පාකිස්තාන කණ්ඩායම ආරම්භක පිතිකරු නායක බාබර් අසාම් විසින්ද එංගලන්ත කණ්ඩායම කඩුලු රකින ක්‍රීඩක ආරම්භක පිතිකරු ජොස් බට්ලර් විසින්ද මෙහෙයවනු ලබති.

පාකිස්තානය අවසන් පූර්ව තරගයේ දී නවසීලන්තය පරාජය කරමින් ද එංගලන්තය අවසන් පූර්ව තරගයේදී ඉන්දියාව පරාජය කරමින් ද අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. පාකිස්තානය 2009 වසරේද, එංගලන්තය 2010 වසරේද පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානවල ශූරයන් බවට පත්ව ඇත. එසේම 2016 වසරට පසුව එංගලන්තය පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාව මෙය වන අතර පකිස්තානය අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේ 2009 වසරට පසුවය.

එංගලන්තය සුපිරි 12 වරයේදී පළමු කාණ්ඩයෙන් තරග වැදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර පාකිස්තානය දෙවැනි කාණ්ඩයෙන් තරග වැදී අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය. මෙම කණ්ඩායම් දෙකම ඒ ඒ කාණ්ඩවලින් දෙවැනි ස්ථානයට පත්වෙමින් අවසන් පූර්ව තරගවලට ප්‍රවේශ වූ අතර එම කාණ්ඩවල පළමුවැනියා වූ නවසීලන්තය සහ ඉන්දියාවට අවසන් මහා තරග වරම් අහිමි වී ගියේය.

පාකිස්තානය සහ එංගලන්තය අතර මේ දක්වා පන්දුවාර විස්සයි විස්ස තරග 28 ක් පවත්වා ඇති අතර තරග 18ක් එංගලන්තය ජය ගෙන තිබේ. පාකිස්තානය තරග තුනක් ජයග්‍රහණය කරගෙන ඇති අතර තරගයක් විසඳුමකින් තොරව නිමා වී ඇත.

පාකිස්තානය සහ එංගලන්තය ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට ප්‍රතිවාදීන් ලෙස සුදුසුකම් ලැබූ දෙවැනි අවස්ථාව මෙය වේ. 1992 වසරේ පැවති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් බවට පත් වූ මෙම රටවල් දෙක අතරින් ශූරතාව ජයග්‍රහණය කිරීමට ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පාකිස්තාන කණ්ඩායම සමත්විය.

ඔස්‌ට්‍රේලියාවේ මෙල්බන් ක්‍රීඩාංගණයේ මේ දක්වා පන්දුවාර විස්සයි විස්ස තරග 21ක් පවත්වා ඇති අතර ඉන් තරග 11ක් දෙවනුවට පන්දුවට පහරදුන් කණ්ඩායම් ජයග්‍රහණය කර ඇත. අවසන් පූර්ව තරග දෙකේදීම දෙරටේ ආරම්භක පිතිකරුවන් ඉතා හොඳින් ලකුණු අතරට පිවිසීම දෙරටේ පන්දු යවන්නන්ට ප්‍රබල තර්ජනයක් වනු ඇත. පළමු අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන් ආරම්භක පිතිකරු යුගලය ලකුණු 104 ක සම්බන්ධතාවක් පළමු කඩුල්ල වෙනුවෙන් නවසීලන්තයට එරෙහිව පැවැත්වූ අතර එංගලන්ත ආරම්භක පිතිකරු යුගලය ඉන්දියාවට එරෙහිව පැවැත්වූ ලකුණු 170 නොබිඳුණු සම්බන්ධතාව ලෝක කුසලාන තරගාවලියක වාර්තාවක් බවට ද පත්විය.

කසුන් රණවීර ඔස්‌ට්‍රේලියාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment