එංගලන්තය සහ දකුණු අප්‍රිකාව සුපිරි අටේ පළමු ජයග්‍රාහකයෝ වෙති

63

මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ දෙවැනි තරගය ලෙස පැවති එංගලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරගයෙන් එංගලන්තය කඩුලු 8ක ජයක් ලබා ගත්තේය.

සෙන්ට් ලුසියාහි ඩැරන් සැමී ‘ක්‍රීඩාංගණයේදී’ පැවැති එම තරගයේ කාසියේ වාසිය දිනූ එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට කොදෙව් පිලට ඇරයුම් කළේය.

ඒ අනුව කොදෙව්වෝ නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 180ක් ලබා ගත් අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම පන්දු වාර 17.3ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 181ක් ලබා ගෙන තරගය ජය ගත්තේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පිලිප් සෝල්ට් හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් සමග පන්දු 47කදී නොදැවී ලකුණු 87ක් ලබා ගත් අතර තරගයේ වීරයා සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබුවේය.

තරගාවලියේ සුපිරි අට වටයේ පළමු තරගය පෙරේදා (19දා) ඇමෙරිකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති තරගයෙන් දකුණු අප්‍රිකාව ලකුණු 18කින් ජය ගත්තේය. තරගයේ කාසියේ වාසිය දිනූ ඇමෙරිකාවේ ඇරයුමින් පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 194ක් ලබා ගත්තේය.

එහිදී ක්වින්ටන් ඩී. කොක් පන්දු 40කදී ලකුණු 70ක් හයේ පහර 5ක් සහ හතරේ පහර 7ක් සමගින් ලබා ගත්තේය.

නායක ඒඩ්න් මැක්‍රම් ලකුණු 46ක් ද, හෙන්රිච් ක්ලාසන් ලකුණු 36ක්ද ලබා ගත්හ. සෞරාබ්හ් නේත්‍රවල්කාර් සහ හර්මෙට් සිං අතර කඩුලු 2 බැගින් බෙදී ගියේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇමෙරිකාව පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 176ක් පමණි.

එහිදී ඇන්ඩි්‍රස් ගවුස් හයේ පහර 5ක් සහ හතරේ පහර 5ක් සමග පන්දු 47කදී ලකුණු 80ක් ලබා ගත්තේය. හර්මෙට් සිං ලකුණු 38ක් ලබා ගත්තේය. අප්‍රිකාව වෙනුවෙන්

කාගිසෝ රබාඩා කඩුලු 3ක් දවාගත් අතර ක්වින්ටන් ඩී. කොක් තරගයේ වීරයා ලෙස සම්මාන ලැබුවේය.

කුෂාන් සුබසිංහ ඇමෙරිකාවේ සිට

advertistmentadvertistment
advertistmentadvertistment