එංගලන්ත රැකියා පෙන්වා කොළඹ සුපිරි හෝටලයක සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ  කතක් ඇතුළු තිදෙනෙක් කොටුවෙති

469

එංගලන්තයේ සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා ලබා දෙන බව පවසමින් කොළඹ සුපිරි හෝටලයක සම්මුඛ පරීක්ෂණ පැවැත්වූ කාන්තාවක් ඇතුළු තිදෙනෙකු ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප 3ක් මත මුදාහරින ලද අතර, මෙම නඩුව යළි දෙසැම්බර් මස පළමුවැනිදා කැඳවීමට නියමිතය.

එංගලන්තයේ සාත්තු සේවා රැකියා සඳහා බඳවා ගැනීමට මෙවැනි සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙන බවට විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ලද තොරතුරක් අනුව ක්ෂණිකව ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් එම ස්ථානය වැටලීම් කර තිබේ.

වැටලීම සිදුකරන අවස්ථාවේදී එම ස්ථානයේ තිබී රුපියල් ලක්ෂ 3ක මුදලක්, විදේශ රැකියා අයදුම්පත් හා රිසිට් පොත් දෙකක්ද විමර්ශන නිලධාරීන් භාරයට ගන්නා ලදී. මෙම වැටලීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් වන සරත් විමලවීර, රවීන්ද්‍ර අබේපාල, වසන්ත ඒකනායක, මධුශාන් විජේවර්ධන හා ගයේෂා සුභාෂිනි යන නිලධාරීහු සහභාගි වූහ.

ප්‍රභාත් විතාන

advertistmentadvertistment
advertistmentadvertistment