එංගලන්ත ලයන්ස් නමට ගැළපෙන ක්‍රීඩාවක

245

ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම සමග ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ඊයේ (31 වැනිදා) ආරම්භ වූ සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේදී එංගලන්ත ලයන්ස් කණ්ඩායම සිය නමට ගැළපෙන ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කරමින් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට වඩා ලකුණු113 ක් ඉදිරියෙන් සිටීමට සමත් වූයේය.

ඒ අතර කඩුලු7ක් ද තවත් ඉතිරිව සිටි එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ දැවී ගොස් තිබුණේ කඩුලු 3ක් පමණි.

තරගයේ කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ලකුණු 136කට සීමා කිරීමට මැතිව් ෆිශර් ප්‍රමුඛ එංගලන්ත පන්දු යවන්නෝ සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිම සුනුවිසුනු කර දැමූ මැතිව් ෆිශර් ලකුණු 34 කට කඩුලු 5ක් දවා ගත් අතර ඔහුට අනගි සහායක් ලබාදුන් ලියාම් පැටර්සන් කඩුලු 3ක් දවා ගත්තේය.

නිපුන් ධනංජය ප්‍රමුඛ ශ්‍රී ලංකා ‘ඒ’ පිතිකරුවන් මර්දනය කිරීමේ ක්‍රියාවලිය සඳහා එංගලන්ත පන්දු යවන්නන් වැය කර තිබුණේ පන්දු වාර 35යි පන්දු 4ක් පමණි.

එංගලන්ත පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලී පන්දු යැවීම හමුවේ ලකුණු 30 සීමාව ඉක්මවා යෑමට සමත් වුණේ අංක පහ පිතිකරු සධීර සමරවික්‍රම පමණි. ඔහු ලකුණු 43ක් ලබාගත් අතර ඊට හතරේ පහර 7ක් අන්තර්ගත වී තිබිණි.

මැතිව් ෆිශර්ගේ පන්දුවක් හමුවේ ඔහුගේ ඉනිම ද නිමා වූ අතර අංක 8 පිතිකරු ලක්ශිත මනසිංහ ලකුණු 26ක් ලබා ගත්තේය.

ජාතික සුපර් ලීග් තරගාවලියේ ද්විත්ව ශතකයක් ලැබූ ආරම්භක පිතිකරු ඕෂධ ප්‍රනාන්දු මෙම තරගයේදී ලකුණු 21කට දැවී ගිය අතර නායක නිපුන් ධනංජයගේ ඉනිම ලකුණු 15කට සීමා විය.

එංගලන්ත ලයන්ස් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට ආරම්භයක් ලබා ගත් ඇලෙක්ස් ලීස් සහ හසීබ් හමීඩ් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 125ක සම්බන්ධතාවයක් පැවැත්වූහ.

ලකුණු 56ක් ලබා සිටියදී ඇලෙක්ස් ලීස් ලසිත් ඇඹුල්දෙනියගේ පන්දුවක් හමුවේ දැවී ගිය අතර ඒ වන විට ලීස් මුහුණ දී තිබුණේ පන්දු 69කට පමණි.

හතරේ පහර 7ක් සහ එක් හයේ පහරක් ලීස්ගේ ඉනිමට ඇතුළත් වූ අතර ඔහුගේ අනෙක් ආරම්භක පිතිකරු හසීබ් හමීඩ් ඊයේ දිනයේ දී එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලාභියා වූයේය.

හමීඩ් ලකුණු 81ක් ලබා එංගලන්ත ලයන්ස් ඉනිමේ දෙවන කඩුල්ල ලෙස සහන් ආරච්චිගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.

අංක 3 පිතිකරු ටොම් හේන්ස් ද එංගලන්තය වෙනුවෙන් අර්ධ ශතකයක් ලබා ගැනීමට සමත් වූයේය. දිනය නිමා වන විට ඔහු නොදැවී ලකුණු 62ක් ද, ජෝශ් බෝහන්මන් නොදැවී ලකුණු 26ක් ද ලබා සිටියේය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා ‘ඒ’ 136/10 ඕෂධ ප්‍රනාන්දු 21, නුවනිදු ප්‍රනාන්දු 17, නිපුන් ධනංජය 15, සධීර සමරවික්‍රම 43, ලක්ශිත මනසිංහ 26
පන්දු යැවීම – මැතිව් ෆිශර් 34-5, ලියාම් පැටර්සන් 51-3

එංගලන්ත ලයන්ස් 249/3 හසීබ් හමීඩ් 81, ඇලෙක්ස් ලීස් 56, ටොම් හේන්ස් නොදැවී 62
පන්දු යැවීම – ලසිත් ඇඹුල්දෙණිය 89/2 සහන් ආරච්චිගේ 22/1

advertistmentadvertistment
advertistmentadvertistment