එංගලන්ත සෞඛ්‍ය ඇමැති කොරෝනා ආසාදිතයෙක් වෙයි – අගමැති ජොන්සන් හා මුදල් ලේකම්වරයාද නිරෝධායනයට

139

එංගලන්තයේ සෞඛ්‍ය ලේකම් (ඇමැති) සජිඞ් ජවිඞ් කොරෝනා ආසාදිතයෙකු බව පරීක්ෂණවලින් තහවුරු වී ඇති අතර ඔහුගේ ආශ‍්‍රිතයන් වීම නිසා එංගලන්ත අගමැති බොරිස් ජොන්සන් හා මුදල් ලේකම් (මුදල් ඇමැති) රිෂි සුනක් යන දෙදෙනාද සිය නිවෙස්වල නිරෝධායනයට යොමු කර තිබේ. ඉකුත් සෙනසුරාදා දිනයේ සෞඛ්‍ය ලේකම් ජවිඞ් කොරෝනා ආසාදිතයෙකු බව පී. සී. ආර්. පරීක්ෂණයකින් තහවුරු වූ අතර ඔහුගේ ආශ‍්‍රිතයන් වූ අගමැති ජොන්සන් හා මුදල් ලේකම් සුනක් මුලදී දිනපතා කොරෝනා පරීක්ෂණවලට ලක් වෙමින් නිවාස නිරෝධායනයට යොමු වීමෙන් වැළකී සිටීමට උත්සාහ ගෙන තිබිණි.
 
 කෙසේ වුවද විපක්ෂ දේශපාලන පක්ෂ ඇතුළු සමාජයේ විවිධ පාර්ශ්වයන්ගෙන් එල්ල වූ දැඩි විරෝධය මත ඊයේ දිනයේ ඔවුන් දෙදෙනාම සිය නිවෙස්වල නිරෝධායනය වීමට පියවර ගෙන තිබිණි. කොරෝනා ආසාදිතයෙකුගේ ආශ‍්‍රිතයන් වී සිටියදීත් නිවාස නිරෝධායනය මගහැරීමෙන් අගමැති ජොන්සන් හා මුදල් ලේකම් සුනක් අප සියලූ දෙනාම අනුගමනය කරන කොරෝනා මර්දන නීති රීති ඔවුන්ට පමණක් අදාළ නොවන බව සිතීම බලවත් වරදක් බව විපක්ෂ නායක ශ‍්‍රීමත් කෙයිර් ස්ටාමර් පවසයි. රටේ නීතිය මහජනතාවට මෙන්ම පාලකයන්ටද එකසේ අදාළ වන බව ඔහු සඳහන් කර තිබේ. කොරෝනා ආසාදිතයෙකු බව තහවුරු වූ සෞඛ්‍ය ලේකම් ජවිඞ් මේ වන විට සුළු රෝග ලක්ෂණ සහිතව නිවාස නිරෝධායනයට යොමු කර ඇති අතර ඔහු කොරෝනා මර්දන එන්නත් මාත‍්‍රා දෙකම ලබා ගෙන ඇති අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment