එකම පවුලේ අටදෙනකු රැගත් මෝටර් රථය අධිවේගයේදී සිමෙන්ති ලොරියක ගැටෙයි: පියා මරුට – වෛද්‍ය දියණියටත් බරපතළයි

958

පේරාදෙණියේ සිට එද්දී අපරික්ෂාකාරී ලෙස ඉස්සර කරලා

පේරාදෙණිය සරසවියේ පැවැති වෛද්‍ය උපාධි ප‍්‍රදානෝත්සවයකට සහභාගි වී නැවත එමින් සිටි එකම පවුලේ අටදෙනකු රැගත් මෝටර් රථයක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ 29 වැනි කිලෝමීටර් කණුව ආසන්නයේ දී සිමෙන්ති පැටවූ ලොරි රථයකට ඉස්සර කිරීමට යෑමේදී ලොරියේ පිටුපස ගැටී සිදුවූ මාරක අනතුරකින් මෝටර් රථයේ ගමන්ගත් වෛද්‍ය ශිෂ්‍යාව බරපතළ තුවාල ලබා ඇති අතර ඇගේ පියා ජීවිතක්ෂයට පත්ව ඇතැයි අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ අක්මීමන, කපුහේන පොළ, ගමගේ වත්තේ පදිංචිව සිටි උනන්පිටිය ගමගේ රත්නසේන නමැති 67 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.

මෙම මාරක රිය අනතුර පෙරේදා (24 වැනිදා) රාත‍්‍රී 10.35 ට පමණ දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුර වන අවස්ථාවේදී එකම පවුලේ පියා, මව, දියණිය, පුතා, පුතාගේ බිරිඳ සහ අවුරුදු එකහමාර, අවුරුදු හතර සහ අවුරුදු හත යන වයස්වල පසුවන දරුවන් තිදෙනකු මෝටර් රථයේ ගමන් කර ඇති බව හෙළිවිණැයිද පොලිසිය පවසයි.

වෛද්‍ය ශිෂ්‍යාවගේ උපාධි ප‍්‍රදානෝත්සවය සඳහා පේරාදෙණිය සරසවියට ගොස් නැවත නිවෙස කරා යෑම සඳහා එකම පවුලේ අටදෙනකු ගමන්ගත් මෝටර් රථය කඩවත දෙස සිට මාතර දෙසට අධිවේගී මාර්ගයේ යමින් සිටියදී එම දෙසටම ධාවනය වෙමින් තිබූ සිමෙන්ති පැටවූ ලොරි රථයක් අපරික්ෂාකාරී ලෙස ඉස්සර කිරීමට යෑමේදී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.

අනතුරින් මෝටර් රථයේ පිටුපස ගමන්ගත් වෛද්‍ය ශිෂ්‍යාවගේ පියා සහ මෝටර් රථයේ ඉදිරිපස ගමන්ගත් 29 හැවිරිදි වෛද්‍ය ශිෂ්‍යාව බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කළ අතර එහිදී වෛද්‍ය ශිෂ්‍යාවගේ පියා මියගොස් තිබූ බව පොලිසිය කියයි.

අනතුර වන අවස්ථාවේදී වෛද්‍ය ශිෂ්‍යාවගේ සහෝදරයා මෝටර් රථය පදවා ඇත. මෙහිදී වෙනත් කිසිවෙකුට තුවාල සිදුවී නොමැත.

අනතුරෙන් මෝටර් රථයට බරපතළ හානි සිදුව ඇති අතර ලොරි රථයට හානියක් වී නොමැත.

අධිවේගී මාර්ග පොලිස් කොට්ඨාසයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ටී. චන්ද්‍රසේකර මහතාගේ මෙහෙය වීමෙන් ගැලනිගම පාලක ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති පො.ප. ගමගේ, පො.සැ. (54550) පෙරේරා, (60036) පාලිත ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප‍්‍රනාන්දු

advertistmentadvertistment
advertistmentadvertistment