එක්සත් ජනපද කොංග්‍රස් යෝජනාවට ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය

973

එක්සත් ජනපද නියෝජිත මන්තී‍්‍ර මණ්ඩලයේ නියෝජිත මන්තී‍්‍රන් පස්දෙනකු එක්ව ලංකාවට එරෙහිව කොංග‍්‍රස් සභාවට ඉදිරිපත් කර ඇති යෝජනාව ශී‍්‍ර ලංකා රජය දැඩි ලෙස විරෝධය පළ කරන බව විදේශ අමාත්‍යාංශය පවසයි.
 
නියෝජිත මන්තී‍්‍ර කේ. රොස් මහත්මිය ඇතුළු මන්තී‍්‍රන් 5 දෙනකු විසින් ඉකුත් මැයි මස 18 වැනිදා ලංකාවට එරෙහි යෝජනා සම්මුතිය එහි කොංග‍්‍රස් සභාවේ විදේශ කටයුතු පිළිබඳ කමිටුව වෙත යොමුකර ඇත.
 
සනාථ නොකරන ලද, පදනම් විරහිත සහ අමූලික අසත්‍ය කරුණු සහ එම යෝජනාවේ අභිප‍්‍රාය පිළිබඳව බරපතළ සැක මතු කරන චෝදනා අඩංගු එම යෝජනාවේ අන්තර්ගතය පිළිබඳව ශී‍්‍ර ලංකා රජය දැඩි ලෙස විරෝධය පළ කරයි.
 
මෙම යෝජනාවේ සාවද්‍ය, පක්ෂග‍්‍රාහී සහ ඒක පාර්ශ්වීය ස්වභාවය පිළිබඳව සලකා බැලීමේ දී මෙය හුදු මානව හිමිකම් යෝජනාවක් නොවන බව සඳහන් කළ හැකි වන අතර මෙය ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 32 ක ත‍්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇති එල්ටීටීඊ සංවිධානයේ බෙදුම්වාදී න්‍යායපත‍්‍රය ඉදිරියට ගෙන යාම සඳහා එක්සත් ජනපද කොංග‍්‍රසය තුළ සිටින එල්ටීටීඊ හිතවාදී කල්ලියකගේ බලපෑම මත ගෙන එන ලද්දක් ලෙස පෙනී යයි.
 
ශී‍්‍ර ලංකා රජය සිය ප‍්‍රතිචාරය වොෂිංටන් ඞී. සී. හි පිහිටි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය හරහා කොංග‍්‍රස් සභාවේ විදේශ කටයුතු කමිටුවේ සහ එම සභාවේ ආසියාව පිළිබඳ අනු කමිටුවේ නියෝජිතයන් වෙත සහ කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කිරීම සඳහා කටයුතු සිදුකරමින් සිටියි.

advertistmentadvertistment
advertistmentadvertistment