එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත මොහාන් පීරිස් එ.ජා.පළමු කමිටුවේ සභාපති ධුරයට

145

නිව්යෝර්ක් හි සිටින එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත, තානාපති මොහාන් පීරිස් මහතා එක්සත් ජාතීන්ගේ පළමු කමිටුවේ සභාපතිවරයා ලෙස පත් කර තිබේ.

නිරායුධකරණය සහ ජාත්‍යන්තර ආරක්ෂාව හා සබැඳි කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන එක්සත් ජාතීන්ගේ පළමු කමිටුව විසින් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා තානාපතිවරයා සහ එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරයා වන මොහාන් පීරිස් මහතා එම කමිටුවේ සභාපතිවරයා වශයෙන් පසුගිය 29 වැනිදා පත් කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය කටයුතු මූලික වශයෙන් ක්‍රියාත්මක කරන්නේ ප්‍රධාන කමිටු හයක් (6ක්) මගිනි. මෙහි පළමු කමිටුව ජාත්‍යන්තර ප්‍රජාවට බලපාන නිරායුධකරණය, ගෝලීය අභියෝග සහ සාමය උදෙසා එල්ල වන තර්ජන සම්බන්ධයෙන් කටයුතු කරන අතර, ජාත්‍යන්තර ආරක්ෂක තන්ත්‍රයේ අභියෝග සඳහා ද විසඳුම් සොයයි. තවද, මෙම කමිටුව එක්සත් ජාතීන්ගේ නිරායුධකරණ කොමිසම සහ ජිනීවා නුවර කේන්ද්‍ර කොට ගත් නිරායුධකරණය පිළිබඳ සමුළුව සමඟ ද සමීප සහයෝගයෙන් කටයුතු කරයි.

එක්සත් ජාතීන්ගේ පළමු කමිටුව 2022 ඔක්තෝබර් 03 වැනිදා සිය මූලික වැඩ කටයුතු ආරම්භ කරනු ඇත.

චතුර පමුණුව
 

advertistmentadvertistment
advertistmentadvertistment