එක්සත් ජාතීන්ගේ සංවිධානය ලොව සියලු රටවලින් ශ්‍රී ලංකාවට ආහාර සහ ඖෂධ ඉල්ලයි

262

ශ්‍රී ලංකාවට ආහාර සහ ඖෂධ ලබාදෙන ලෙස ලෝකයේ සියලු රටවලින් ඉල්ලා සිටීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය තීරණය කර ඇත. මෙය නිල වශයෙන් කෙරෙන ඉල්ලීමකි. විදේශ ඇමැති ජී. එල්. පීරිස් මහතා එම සංවිධානයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.

 ශ්‍රී ලංකාවට අවශ්‍ය හදිසි ආධාර ලබා ගැනීම සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානයේ නියෝජිත වී. ශරාන්, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නියෝජ්‍ය ශ්‍රී ලංකා නියෝජිත එම්. හර්විග් යන මහත්වරුන් අතර පසුගියදා සාකච්ඡා පැවැත්විණ. එම සාකච්ඡාවල කේන්ද්‍රීය අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ දැනට පවත්නා ආහාර හිඟයයි. මෙහිදී ශ්‍රී ලංකාවේ පවත්නා ආහාර හිඟය රටට තර්ජනයක් වී ඇති ආකාරයත් ආහාර සුරක්ෂිතභාවයේ අවශ්‍යතාව පිළිබඳවත් අගමැතිවරයා විදේශීය සංවිධානවල නියෝජිතවරුන්ට පැහැදිලි කළේය. මේ අනුව ශ්‍රී ලංකාවට ආහාර සහ බෙහෙත් ලබා ගැනීමේ වැඩපිළිවෙළ ලබන මාසයේ සිට ක්‍රියාත්මක වීමට නියමිතය.

 මේ රටේ කෘෂි අංශය රසායනික පොහොර සහ ඉන්ධන හිඟයකට බරපතළ ලෙස මුහුණ දී ඇති බව ද, නාගරික ජනතාව අතර කෘෂිකර්මය ප්‍රචලිත කිරීම සඳහා වැඩසටහනක් දියත් කිරීම සම්බන්ධයෙන්ද අගමැතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයන්ට පෙන්වා දී තිබේ.

 ශ්‍රී ලංකාවේ ආහාර ප්‍රශ්නය නිරාකරණය කිරීම සඳහා නවීන කෘෂිකාර්මික වැඩපිළිවෙළක් හඳුන්වා දීමට කටයුතු කරන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment