එක්ස්ප්‍රස් පර්ල්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක්

80


එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ වන්දි වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කෙරුණු මෝසමක් සලකාබැලීම සඳහා ලබන 24 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළේය.

පරිසර යුක්ති කේන්ද්‍රය ඉදිරිපත්කර තිබූ එම මෝසම ප්‍රියන්ත ජයවර්ධන, කුමුදුනී වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය.

එහිදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණයට කරුණු දක්වමින් එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර වන්දි පිළිබඳව නිගමනය කිරීම සඳහා සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය විසින් විද්වත් කමිටුවක් පත් කළ බව සඳහන් කළේය.

අදාළ නෞකා අනතුර නිසා පරිසරයට අමෙරිකානු ඩොලර් බිලියන හයක පමණ පාඩුවක් සිදුවී ඇති බව එම කමිටුව විසින් නිර්දේශ කර තිබෙන බවත් නීතිඥවරයා පෙන්වා දුන්නේය.

එම වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය වෙත නියෝගයක් නිකුත් කරන ලෙස එම මෝසමින් ඉල්ලා තිබෙන බව ද නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වා සිටියේය.

advertistmentadvertistment
advertistmentadvertistment