එක්ස්ප්‍රස් පර්ල් දේශීය නියෝජිතයන්ට එරෙහි නඩුව කල්යයි

64

ශ්‍රී ලංකා මුහුදු සීමාව තුළදී එම්. වී. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා එම නෞකාව හිමි විදේශීය සමාගමේ දේශීය නියෝජිතායතනයේ සාමාන්‍යාධිකාරිවරයා එහි අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු අටදෙනකුට නීතිපතිවරයා විසින් සමුද්‍රීය දූෂණ වැළැක්වීමේ පනත යටතේ නඩු පැවරීම හා එම නඩුව ඉදිරියට පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් පෙරේදා (01 දා) මූලික විරෝධතාවක් ඉදිරිපත් කළේය.

එම නඩුවේ සාක්ෂි විභාගය කඩිනමින් ආරම්භ කොට ප්‍රමාදයකින් තොරව ඉදිරියට පවත්වාගෙන යෑමට පැමිණිල්ල සූදානම් බවත් සාක්ෂිකරුවන් කැඳවා පැමිණිල්ලේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට නියමිතව තිබියදී එකී විරෝධතා ඉදිරිපත් නොකොට මින් පෙර ඒ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණේ නම් සවිස්තරව විත්තියේ විරෝධතා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට තිබූ බව නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වූ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතාට පැවසීය.

කරුණු කෙසේ වුවත් විත්තියේ උගත් ජනාධිපති නීතිඥවරුන් කිහිපදෙනා පුරා පැය දෙකකට අධික කාලයක් ගත කරමින් ඉදිරිපත් කළ එකී මූලික විරෝධතාවලට පිළිතුරු සැපයීමට තමන් සූදානම් බවද නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට වැඩිදුරටත් පැවසීය. විත්තියේ සමහර නීතිඥවරුන් කිහිපදෙනකු මින් පෙර එකී මූලික විරෝධතා සම්බන්ධයෙන් පැමිණිල්ල දැනුවත් කර තිබූ බවද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට පැවසීය. විත්තියේ වැඩිදුර ලිඛිත විරෝධතා සඳහා එම නඩුව ලබන 23 වැනිදා දක්වා කල්තැබීමට ප්‍රධාන මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් පස්ලි රසික් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටි අතර ජනාධීපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න, ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ යන මහත්වරුන් ඇතුළු නීතිඥ මණ්ඩලයක් විත්තිය නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment