එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ වන්දි ගෙවීම සුදු අලියෙක්

591

වෙරළේ ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සාර්ථක නැහැ…. වනජීවී සංරක්‍ෂණ සංසදයේ නයනක රන්වැල්ල

එක්ස්ප‍්‍රස් පර්ල් නැව අනතුරට ලක් වීම ශ‍්‍රී ලංකා මුහුදු කලාපය තුළ සිදු වූ බිහිසුනු අනතුරුවලින් එකකි. එලෙස විනාශ වූ නැවේ කන්ටේනර් 700 ක් රසායනික ද්‍රව්‍ය අඩංගු ඒවා තිබිණි. එයින් 80 ක් ඉතා විෂ සහිත රසායනික අඩංගු වූ ඒවාය. නැවෙන් ඉවතට වැටී මුහුදු ජලයට එක් වූ විෂ සහිත රසායනික ද්‍රව්‍යවලින් රෑකව සිට මන්නාරම දක්වා මුහුදු කිලෝ මීටර් 700 ක මුහුදු තීරයේ පරිසර විනාශ වෙලා. එම නැවෙන් සිදුවූ අලාභය මේ දක්වා තක්සේරු කිරිම නිම කර නැහැ. නැවේ රක්‍ෂණ සමාගම් ගෙවිමට ඇති වන්දිය අඩුකර ගන්න වෙහෙසෙනවා. වරදාන, වරප‍්‍රසාද ලබා ගැනීමේ මුවාවෙන් ගෙවන වන්දිය අඩු කර දීමට එම රක්‍ෂණ සමාගම්වල අපේ අය ද සහාය දෙන බව හෙළි වී ඇතැයි පරිසර යුක්ති කේන්ද්‍රයේ උපදේශක හේමන්ත විතානගේ මහතා පැවැසීය.

ඔහු එලෙස පැවසුවේ එක්ස්ප‍්‍රස් පර්ල් නැව ගිනි ගැනීම නිසා ධීවරයන්ට මුහුදට යෑම තහනම් වීමත්, එම නැවෙන් ධීවරයන්ට නිසි ලෙස වන්දි නොගෙවීමත් පිළිබඳව පමුණුගම සරක්කුව වෙරළේ පැවති ධීවර උද්ඝෝෂණයෙන් පසු මාධ්‍ය අමතමිනි.

මෙහිදී ජීවි සංරක්‍ෂණ සංසදය වෙනුවෙන් අදහස් දැක්වූ නයනක රන්වැල්ල මහතා මීට පෙර අවස්ථාවක බ්ලූඩයමන් නැවෙන් සිදුවු මුහුදු අනතුරින් වන්දි වශයෙන් මිලියන 530 ක් ඉල්ලා සිටියත් අපට ලැබුණේ මිලියන 18 යි. සරක්කුව ඇතුළු මුහුදු තීරයේ මීටර් 1.5 ක් පමණ උසට නැවෙන් පිට වු ප්ලාස්ටික් සහ රෙජිෆෝම් බෝල තැන්පත් වී තිබෙනවා. ඒවා ඉවත් කරන්න පෞද්ගලික සමාගමකට දුන්නා. ඒත් ඒ සමාගමට හරියාකාරවය මුදල් නොගෙවීම නිසා අපද්‍රව්‍ය ඉවත් කිරීම නැවැත්තුවා. දැන් ධීවරයන් ටිකදෙනෙකුගේ බිරියන්ට රයිසියක් දාල වැලිවලින් ප්ලාස්ටික් වෙන්කරදාන්න යොදවලා. මෙය සාර්ථක වෙන ක‍්‍රියාවල් නොවෙයි. ධීවරයන්ට නිසි ලෙස වන්දි ගෙවීමක් නොමැති නිසා ධීවර කාර්මිකයන් අද අසරණ වෙලා. මේ දුක පිළිබඳව රජයේ වගකිවයුත්තන්ගේ අවධානය වහා යොමුවී ධීවරයන්ට නිසි ලෙස වන්දි ලබා ගැනීමට ඇති අවස්ථාව වහා ක‍්‍රියාත්මක කළ යුතු යැයි පැවසීය.

මෙහිදී ප‍්‍රදේශය භාර සාගර හෙට්ටිආරච්චි පියතුමා කරුණු දක්වමින් පර්ල් එක්ස්ප‍්‍රස් නැවෙන් ධීවරයන්ට ගෙවනවා කිව්ව වන්දි මුදල් ගෙවීම මේ වන විට සුදු අලියකු බවට පත්වෙලා. මේ අතර අසරණ වූ ධීවරයන්ගේ ඉඩම් මිලදී ගැනීමට විදේශිකයන් උත්සාහ කරනවා යැයි පැවසීය.

පර්ල් එක්ස්ප‍්‍රස් ගිනිගෙන මුහුදේ විනාශ වීමෙන් අනතුරුව මුහුදු පරිසරය පිරිසිදුකිරීම කාර්යය නෞකා බලධාරීන් විසින් නිසි ලෙස ඉටු නොකිරීමත් එසේම අනාථ වූ ධීවර කාර්මිකයන්ට පොරොන්දු වූ පරිදි වන්දි මුදල් නොගෙවීමත් ප‍්‍රධාන කොටගත් මෙම ධීවර විරෝධතාවයට ප‍්‍රදේශයේ කිතුණු පියවරුන්, ධීවර කාර්මිකයන්, පරිසර සංවිධාන එක්ව ධීවර ජනතා එකමුතුව සංවිධානයේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

මීගමුව සමූහ – විමල් කීර්ති

එක්ස්ප‍්‍රස් පර්ල් නැවේ වන්දි ගෙවීම සුදු අලියෙක්
advertistmentadvertistment
advertistmentadvertistment