එක් කෝටි හතලිස් දෙලක්ෂයක් වටිනා රත්තරන් තොගයක් සමග අයෙක් රේගු දැලේ

75

රේගු නිලධාරීන් නොමග යැවීම සඳහා විදේශීය කර්මාන්තශාලාවේදීම සූක්ෂම ක්‍රම භාවිතා කරමින් සකස් කර තිබූ රුපියල් එක් කෝටි හතලිස් දෙලක්ෂයක් වටිනා රත්තරන් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 29 දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු කොළඹ දෙහිවල ප්‍රදේශයේ පදිංචි පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක මූල්‍ය උපදේශකවරයකු ලෙස කටයුතු කරන 25 හැවිරිදි තරුණයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. එහිදී ඔහු රැගෙන එමින් සිටි සුවඳ විළවුන් බෝතල් 06 ක මූඩිය තුළ ඉතා සූක්ෂම ආකාරයට රත්තරන් තහඩු සඟවා තිබුණි. මීට අමතරව මේ ආකාරයටම ටයිගර් බාම් ඇසුරුම් 12 ක පියන් තුළ මෙන්ම කාබන් පෑන් 06 ක ද කාබන් තීන්ත බටය තුළට රත්තරන් කූරු ඇතුළු කර සකස් කර තිබුණි. එහිදී මෙම පෑන් හොඳින් ලියැවෙමින් තිබූ අතර රේගු නිලධාරීන් සිදු කළ ස්කෑන් පරීක්ෂා වලදී මෙම අනාවරණය කර ගැනීම් සිදු කර තිබුණි. කටුනායක ගුවන් තොටුපළ රේගු නිලධාරීහු මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

කටුනායක ටී.කේ.ජී.කපිල

advertistmentadvertistment
advertistmentadvertistment