එක් පව්කාරයෙක් තව පව්කාරයකුට ගල් ගසයි

2238

ආණ්ඩුව අත්හැරීමට ගෝඨාභය සහ මහින්ද යන දෙදෙනාම කැමති බව පෙනේ. ඇත්තම කතාව නම් මේ ආණ්ඩුව ඒ දෙදෙනාටත් මාර තුවාලයක් බවය. පොහොට්ටු ආණ්ඩුව කවර හෝ හේතුවක් නිසා පටන් ගත් තැනදීම අල විය. මුලින්ම කොවිඩ් වසංගතය පැමිණියේය. ඉන්පසු හොරු පැමිණියහ. ඊළඟට රසායනික පොහොර අර්බුදයක් මතු විය. ඒ නිසා රටේ එක කන්නයක වී අස්වැන්නෙන් 50% ක් ම පහළ බැස්සේය. ජනාධිපති ගෝඨාභයට මේ ලණුව දුන් අය පණ පිටින් එල්ලිය යුතු බව අපි යෝජනා කරමු. ආණ්ඩුව මේ මොහොතේ නූලකින් එල්ලෙමින් තිබේ. මේ නූල කැඩුණොත් ආණ්ඩුව කෙළින්ම වැටෙන්නේ ඉන්දියන් සාගරයට ය. එසේ තිබියදීත් පොහොට්ටු පක්ෂයේ මහ ලේකම් වන නීතිඥ සාගර කාරියවසම් කියන්නේ තම පක්ෂයට පාර්ලිමේන්තු බහුතරය ඇති බවය. මේ ආණ්ඩුවට කෙළවුණේම මෙවැනි ස්වප්න දෝෂකාරයන් නිසාය. හීන දැකීම ඉතා හොඳ දෙයකි. මන්ද යත් මිනිසුන් කිසියම් දිනක යථාර්ථයක් බවට පත්කර ගන්නේ තමන් දකින සිහිනය. එහෙත් ස්වප්න දෝෂ හෙවත් සිහින දෝෂ යනු රෝගයකි. පරණ වෙද මහත්වරුන් කියන හැටියට මේ මගින් ඇඟ කෙට්ටු වෙයි. දැනට පෙනෙන පරිදි සාගර කාරියවසම්ගේ ඇඟ කෙට්ටු වී නැති අතර මොළය කෙට්ටු වී ඇත. නැත්නම් මෙපමණ කෙළ වෙලාත් පාර්ලිමේන්තු බහුතරය ගැන ඔහු කතා කරන්නේ නැත.

රජය ගෙදර යා යුතු බව කියන බලවේගය දිනෙන් දිනම දැඩි වෙමින් පවතී. ලංකා ඉතිහාසයේ මෙවැන්නක් සිදු වූ පළමුවන අවස්ථාව මෙය ය. මේ රටේ බලගතු වෘත්තීය සමිති නියෝජනය කරන ගුරුවරු, වෛද්‍යවරු සහ උසස් රාජ්‍ය නිලධාරීහු වහාම ඉල්ලා අස්වී අන්තර් පාලනයකට ඉඩ සැලසෙන පරිදි කටයුතු කරන්නැයි ආණ්ඩුවට බල කරති. එහෙත් ආණ්ඩුවේ සමහරුන් තවමත් කතා කරන්නේ හැට නව ලක්ෂයේ ජන වරම ගැනය. මේ හැට නව ලක්ෂයෙන් මේ වන විට කී දෙනෙක් පොහොට්ටුව වෙනුවෙන් සිටිත් ද යන්න කව්රුත් නොදනිති. ගෝඨාභය ජනාධිපති කරවන ලද්දේ පාවෙන ඡන්ද සමූහයක් විසිනි. එකී Floating Votes සමූහය කවර හැඩයකින් හා කවර ප්‍රමාණයකින් ඉතිරිව ඇත්ද යන්න දැනගත හැක්කේ ඊළඟ ඡන්දයේදී ය. ආණ්ඩුව ඉල්ලා අස්වුණොත් එය ගෞරවනීය ඉල්ලා අස්වීමකි. තමන් අවට සිටින හොර රැල රට කරගෙන යෑම සඳහා තමන්ට උදව් නොකරන බව වැටහුණු අවස්ථාවේදීම ගෝඨාභය ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූයේ නම් ඊළඟ ඡන්දයකදී ජනතාව විසින් නැවත වතාවක් ඔහු බලයට ගෙන එනු ලබන්නේ කර මත තබාගෙනය. ගෝඨාභය සහ මහින්ද යන දෙදෙනාම දේශපාලන හොරුන්ගේ ප්‍රාණ ඇපකාරයන් බව අපි ඉකුත් ඉරිදා දිවයිනේ කතු වැකියෙන් පෙන්වා දුන්නෙමු. දැනට පෙනෙන හැටියට නම් මේ දෙදෙනාට පෙර කී හොර රැලෙන් කිසිදු ගැලවීමක් නැත. මේ දෙදෙනා බලය අතහැර එළියට බැස්සොත් පෙර කී හොරුන්ට වහ කෑමට සිදුවේ. වහ යනු ඇතැම් විට දිරවන ද්‍රව්‍යයකි. එවිට වහ කන එකා මැරෙයි. වහ නොදිරවන අවස්ථා ද තිබේ. එවිට වහ කන එකා මැරෙන්නේ නැත. මේ සඳහා ඇති හොඳම උදාහරණය වන්නේ රුසියාවේ සාර් රජ පවුල අතරට වැද සියලුම රජ බිසවුන් සහ රජ කුමරියන් දූෂණය කළ ග්‍රෙගරි රස්පුටින් නමැති පූජකයා ය. මේ පූජකයා මැරීමට කුමන්ත්‍රණය කළ රජ පවුලේම කුමාරවරුන් පිරිසක් ආසනික් යෙදූ කේක් කැබලි කිහිපයක් ඔහුට කන්නට දුන්නේය. එහෙත් රස්පුටින් මළේ නැත. වස සහිත කේක් කා වයිනුත් බී ඔහු හොඳ ෆිට් එකේ කකුල් දෙකත් සොලවමින් සිටියේය. මෙවිට රුසියන් කුමාරවරු පිරිස ඔහුට වෙඩි තැබීය. රස්පුටින් මළේ නැත. ඉන්පසු කුමාරවරුන් කිහිපදෙනා ඔහු ගඟක් ළඟට ඇදගෙන ගොස් පපුවට පිහියෙන් ඇන ගං දියෙහි එබුවේය. රස්පුටින් ලොක්කා මැරෙන්නේ මෙයිනුත් පැය කිහිපයකට පසුවයි. මෙය අතුරු කතාවක් වුණත් දැනගත යුතු කතාවකි.

ශ්‍රී ලංකාව බංකොලොත් ද? Standard and poor සහ Fitch යන ජාත්‍යන්තර ආයතන කට ඇරියොත් කියන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයේ ගැට්ටෙහි සිටින බවය. ලංකාව එම ගැට්ටට නැග මාස දෙකකටත් වැඩිය. එම ගැට්ටෙන් පෙරළී බංකොලොත් භාවයේ ළිඳ ඇතුළට නොවැටීමේ ආශ්චර්යවත් පින් බලය තවමත් මේ රටට තිබේ. හැබැයි පව්කාරයන් වැඩි වූ තරමට මේ පින් බලය හීන වීමට ඉඩ තිබේ. ආණ්ඩුව පව්කාර බව ඇත්ත. ආණ්ඩුවට විරුද්ධව ස්ට්‍රයික් කරන හෝ ස්ට්‍රයික් කිරීමට යන රාජ්‍ය සේවකයන් වැඩි දෙනාද පව්කාරයෝ ය. ගුරුවරු වැඩ වරති. ඒ සඳහා අයිතියක් ඔවුන්ට තිබේද? ලංකාවේ අධ්‍යාපනය 100% ක් හොඳද? එසේ හොඳ නම් ළමයින්ට ප්‍රයිවට් ටියුෂන් දීම අවශ්‍ය නැත. අද වන විට මේ රටේ ළමයින් වැඩිදෙනා ගොඩ යන්නේ ප්‍රයිවට් ටියුෂන්වලිනි. දොස්තරලා හොඳ මිනිස්සුද? ඔවුන් හරියට බෙහෙත් කරනවා නම් චැනල් සේවයක් රටට අවශ්‍ය නැත. මෙවැනි අය පව්කාර ආණ්ඩුවට විරුද්ධව වර්ජනය කිරීම සමාන වන්නේ පව්කාරයා විසින් පව්කාරයාට ගල් ගසනු ලැබීමට ය.

advertistmentadvertistment
advertistmentadvertistment