එක් සතියක් මහ වැස්සක් කළ හදියක්

124

මේ වන විට ශ්‍රී ලාංකීය සමස්ත ජනයා ගහෙන් වැටී ගොනා ඇන ඇති තත්ත්වයටම පත්ව සිටිති. ඉකුත් අප්‍රේල් මාසයේ සිට දරුණු දේශපාලනික ආර්ථික සමාජයීය ප්‍රශ්න ගොන්නකට මැදිව සිටි සමස්ත ශ්‍රී ලාංකිකයන් මේ වන විට ස්වභාවික ආපදා තත්ත්වයන්ට ද ගොදුරුව සිටිති.

මේ වන විට නිරිත දිග මෝසම සක්‍රීය වී තිබේ. රට පුරාම අයහපත් කාලගුණික තත්ත්වයක් ඇති වෙමින් දිවයිනේ පළාත් රැසකට ගංවතුර නාය යෑම් ගස් ගල් පෙරළීම් ඇතුළු ස්වභාවික විපත් රැසක් ඇති වෙමින් තිබේ. ඊට සෘජුවම මුහුණ දීමට සිදු වූ තුන් දෙනකු මේ වන විට මියගොස් පස් දෙනකු තුවාල ලබා තිබේ. අවතැන් වූ පවුල් ගණන 3720 කි. දිස්ත්‍රික්ක 8ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 35ක් දරුණු ලෙස මේ ස්වභාවික විපතට ගොදුරු වී සිටිති. මේ වන විට අධික වර්ෂාපතන හේතුවෙන් නිවාස 268 ට ඍජු හා වක්‍ර ලෙස අනතුරු සිදුව තිබේ. මේ අතර තවත් නිවාස රැසක් අවදානම් තත්ත්වයට පත්ව ඇති බවට නම් කර තිබේ. ඒ සියල්ල සලකා පවුල් 655ක පුද්ගලයන් දොළොස් දහසකට වැඩි සංඛ්‍යාවක් වෙනත් ස්ථානවලට යැවීමට සිදුව තිබෙන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කොට සිටී. දැනටමත් පුද්ගලයන් තුන්දහස් අනූඅට දෙනකු ආරක්ෂිතව ස්ථාන වෙත යවා තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 8ක නායයෑමේ අවදානම් තත්ත්වයන් පවතින බවට දැනුම් දී තිබේ. ගාල්ල – නාගොඩ, හම්බන්තොට – වලස්මුල්ල, මහනුවර – ගඟ ඉහළ, මැදදුම්බර, දෙල්තොට, පස්බාගේ, උඩපළාත සහ දොළුව, කෑගල්ල – දැරණියගල, දෙහිඕවිට, අරණායක, යටියන්තොට මාතලේ – උකුවෙල, මාතර – අතුරුලිය, මුලටියන, පස්ගොඩ, නුවරඑළිය – අඹගමුව, කොත්මලේ, රත්නපුර – බලංගොඩ, ඇලපාත, කලවාන, නිවිතිගල, කහවත්ත, කුරුවිට, ඉඹුල්පේ, පැල්මඩුල්ල සහ ඇහැලියගොඩ දැඩි නායයෑම් අවදානම් ඇති ප්‍රදේශ වේ.

මෙයට අමතරව තද සුළං තත්ත්වයක් පැවතීම හේතුවෙන් ගස් ගල් පෙරළීම් අතු කඩා වැටීම් ඇතුළු ව්‍යසන තත්ත්වයන්ද සිදුව තිබේ. එහි දැඩි බලපෑම එල්ල වී ඇත්තේ උඩරට දුම්රිය මාර්ගයට ය. ඉකුත් සතියේ දින පහක් පුරා උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ බදුල්ල දුම්රිය ධාවනය සම්පූර්ණයෙන් නතර කර දැමීමට තරම් වැසිබර කාලගුණ තත්ත්වය හරස්ව තිබිණි. ඒ අනුව ස්ථාන 15 කදී ප්‍රබල ලෙස ඇති වූ නාය යෑම් තත්ත්ව හේතුවෙන් දුම්රිය මාර්ගය දැඩි ලෙස හානිවී තිබිණි. දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව දෙපාර්තමේන්තු නිලධාරීහු පවසා සිටියහ. මේ වනවිටත් දුම්රිය මාර්ගයන්හි දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්ව නැති බව ද දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු නිම වීමෙන් පසුව දුම්රිය ධාවනය කිරීමට කටයුතු යෙදීමට බලාපොරොත්තු වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියහ. රටේ අයහපත් කාලගුණය මත ජීවිත හානි දේපළ හානි සිදුවීම බරපතළ වෙමින් යන තත්ත්වයක් පිළිබඳ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිවේදනය කිරීම සමග මේ වන විට ගුවන් හමුදාපතිවරයාගේ උපදෙස් මත සහන සැලසීම හා මුදා ගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා භටපිරිස් ස්ථානගත කර සූදානමින් තබා තිබේ. ජනතාවට සහන සැලසීමට හා මුදා ගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදාව සතු හෙලිකොප්ටර් යානා මුදා ගැනීම සඳහා සුවිශේෂී පුහුණුවක් ලබා ඇති ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බළකා භටපිරිස් රත්මලාන, කටුනායක, හිඟුරක්ගොඩ සහ ගුවන් හමුදා කඳවුරු තුළ සූදානමින් තබා තිබේ.

මේ සියලු කාරණා පිළිබඳ අවධානය යොමු කරද්දී පෙනෙන්නට තිබෙන්නේ සමස්ත ජනතාව නැවතත් ස්වභාවික ආපදා තත්ත්වයන් මත අර්බුදකාරී තත්ත්වයන්ට මුහුණ දෙන ආකාරය ය. එකිනෙක ලිහී ප්‍රශ්න නිරාකරණය වෙමින් තුන්වේල කාබී සැනහෙන්නට අවැසි කාලයක සොබාදහම ද විපත් මවමින් ජනතාව තලා පෙලා දැමීම කොයි තරම් නම් කුරිරුද…?

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment