එක රටක් එක නීතියක් බළකාය ගැන ඇමැති අලි සබ්රි දැන සිට නැහැ

572

එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීම සම්බන්ධයෙන් තමා කිසිසේත්ම දැනුවත් වී නොසිටි බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පවසයි. ඒ සම්බන්ධයෙන් තමාගෙන් කිසිදු උපදෙසක් ගෙන නැති බව කියන ඔහු එක රටක් එක නීතියක් පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බළකාය පිහිටුවීම ගැන තමා නොසතුටින් සිටින බවද තවදුරටත් කියයි.

 එක රටක් එක නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බළකාය පිළිබඳ ගැසට් නිවේදනය ඉකුත් අඟහරුවාදා නිකුත් විය. මෙහි ප‍්‍රධානත්වය රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් දරනු ලැබේ. සම්පූර්ණ සාමාජිකත්වය දහතුන් දෙනකු වන මෙම කාර්ය සාධක බළකායෙහි සාමාජිකයන් වන්නේ මහාචාර්ය දයානන්ද බණ්ඩා, මහාචාර්ය ශාන්තිනන්දන විජේසිංහ, මහාචාර්ය සුමේධ සිරිවර්ධන, එන්. ජී. සුජීව පණ්ඩිතරත්න, ඉරේෂ් සෙනෙවිරත්න, සංජය මාරඹේ, එරන්ද නවරත්න, පානි වෑවල, මොහොමඞ් මව්ලවිතුමා, මොහොමඞ් ඉන්තිකාබ්, කලීල් රහමන් සහ අසීස් නිසර්දීන්ය.

 රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙම කාර්ය සාධක බළකායෙහි සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට නියමිත බව එහි මුස්ලිම් සාමාජිකයන් කිසිවකු දැනසිට නැතැයි විශ්වාසදායක ආරංචි මාර්ග හෙළි කරයි.

 කලීල් රහමන් මහතා එක්සත් සාම සන්ධානය නමැති දේශපාලන සන්ධානයේ සාමාජිකයෙකි. කොළඹ නගර සභාවේ මන්ත‍්‍රීවරයකු වන හෙතෙම කාර්ය සාධක බළකායේ සාමාජිකයකු ලෙස තමා පත්කිරීමට ජනාධිපතිවරයා පියවර ගැනීම සම්බන්ධයෙන් කිසිත් දැන නොසිටි බව කියයි. කෙසේ වුවද ඥානසාර හිමියන් යටතේ කාර්ය සාධක බළකා සාමාජිකයකු ලෙස කටයුතු කිරීමට ඔහු තැත් කළොත් ඔහුට එරෙහිව විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ජාතික සාම සන්ධානයේ නායක බෂීර් සේගු ඩාවුඞ් මහතා පවසයි. මේ අතර පසුගියදා අරලියගහ මන්දිරයේ පැවති ආණ්ඩු පක්ෂ නායක රැස්වීමේදී කතා කළ සෙන්දිල් තොන්ඩමන් මහතා මෙම කාර්ය සාධක බළකායට දෙමළ නියෝජනයක් නොමැති වීම ගැන ප‍්‍රශ්න කර ඇත. එම ඉල්ලීමට සවන් දුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා කාර්ය සාධක බළකායට පත්කිරීම සඳහා දෙමළ සාමාජිකයන් කිහිපදෙනකුගේ නම් යෝජනා කරන ලෙස දන්වා ඇත.

 සෙන්දිල් තොන්ඩමන් මහතා නැසීගිය සෞම්‍යමූර්ති තොන්ඩමන් මහතාගේ මී මුනුබුරා වන අතර නැසීගිය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ පුත‍්‍රයා වෙයි. කාර්ය සාධක බළකාය ගැන ප‍්‍රකාශයක් නිකුත් කරන ලංකා ජමියතුල් උලමා සංවිධානය කියන්නේ එම කාර්ය සාධක බළකාය මතභේදයට තුඩුදුන් කෙනකු යටතට පත්කිරීම ගැන තමන් මහත් සේ කම්පනයට පත්ව ඇති බවය. කෙසේ වුවද ඔවුන් තම ප‍්‍රකාශයෙහි ඥානසාර හිමිගේ නම සඳහන් කර නැත.

advertistmentadvertistment
advertistmentadvertistment