එක සැරේම වහල දෙදරලා නිදා සිටි ඇඳ – පාවෙනවා වගේ දැනුණා

1807

ඊයේ භූ කම්පනය ගැන හම්බන්තොට ජනතාව කියති

“නිදාගෙන ඉද්දි එක සැරේම වහල දෙදරලා ගිහින් නිදාගෙන හිටිය ඇඳන් පාවෙනව වගේ දැනුණා” යැයි ඊයේ (24දා) අලුයම සිදුවූ භූ කම්පනයට මුහුණ දුන් හම්බන්තොට ජනතාව පැවසූහ.

රික්ටර් මාපක 4.4ක සුළු භූ කම්පන තත්ත්වයක් ඊයේ අලුයම 12.45ට පමණ හම්බන්තොට මුහුදු වෙරළට කිලෝ මීටර් 25.8ක් ඔබ්බෙන් වූ මුහුදු තීරයේ සිදු වූ බව භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය පැවසීය.

මෙය සුළු භූ කම්පන තත්ත්වයක් බවත් මේ හේතුවෙන් කිසිදු සුනාමි තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් නොමැති බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය වැඩිදුරටත් පෙන්වා දෙන අතර මෙම තත්ත්වය බියවීමට කිසිදු හේතුවක් නොමැති බවත් පවසයි.

මෙම භූ කම්පනය අම්බලන්තොට රොටවල, මානජ්ජාව, මල්පෙත්තාව, වැලිපටන්විල, දෙහිගහලන්ද, උස්සන්ගොඩ ඇතුළු අවට ප්‍රදේශ රැසකට හොඳින් දැනුණු බව ජනතාව පවසති. ඒ පිළිබඳව අම්බලන්තොට පදිංචි නන්දසිරි ගම්හේවා මහතා මෙලෙස පැවසීය.

“මම නිදාගන්න යනකොට වෙලාව රෑ 11ට විතර ඇති. මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක නිදාගන්න ඇඳට ගිහින් හිටියත් නින්ද ගියේ නෑ. අලුයම 12.40ට විතර යන්තම් ඇස් පියවීගෙන එනවත් එක්කම වගේ එක සැරේම වහල හෙළවෙනවා වගේ දැනුණා. මම ඉන්න ඇඳත් නිකන් පාවෙනව වගෙයි මට දැනුනේ. මම ඉක්මනින් ඇදෙන් නැගිටලා පුතාට කතා කළා. පුතාත් දුවගෙන කාමරේට ඇවිත් කිව්වා තාත්තේ මොකක් හරි වුණා නේද කියලා. වුණේ මොකද්ද කියන්න අපිට තේරුමක් තිබුණේ නෑ. උදේ තමයි දන්නේ භූ කම්පනයක් වෙලා කියලා.

මානජ්ජාව පදිංචි රේණුකා රාමනායක මහත්මිය – මම ගෙදර වැඩ ඉවර වෙලා නිදාගෙන හිටියේ. අලුයම 12.45ට විතර එක සැරේම මම හිටිය ඇද පාවෙනවා වගේ දැනුණා. ඒත් එක්කම වහල දෙදරලා ගියා වගේ වුණා. මං නැගිටලා බැලුවට කිසිම වෙනසක් දකින්න තිබුණේ නෑ. උදේ නැගිටලා බලනකොට වටේම ගෙවල්වලටත් මේක හොඳට දැනිලා. දවල් වෙනකොට දැනගත්තේ භූ කම්පනයක් ඇති වෙලා කියලා.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment