එජාප 76 වැනි සංවත්සරය හෙට සුගතදාස ක්‍රීඩාංගණයේදී

105

‘එක්ව ගොඩනඟමු’ යන තේමාව යටතේ එක්සත් ජාතික පක්‍ෂයේ 76 වන සංවත්සරය හෙට (06 දා) සවස 3.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මේ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන, නොකරන සියලු පක්‍ෂවලට හා සිවිල් සංවිධානවලට ආරාධනා කර ඇතැයි එජාප මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා සිරිකොත පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (04 දා) පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

සෘණ 07 ක ආර්ථික පසුබෑමකට ලක්ව තිබෙන රට ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන උත්සාහයට සියලු කණ්ඩායම්වල සහාය ලබාදිය යුතු බව ද ඒ මහතා කීය.

1953 හර්තාලයෙන් ඩඩ්ලි සේනානායක මහතා පරාජය වීමෙන් පසු නැවත ඒ මහතා 1960 – 65 බලයට ගෙන ඒමට ජනතාව කටයුතු කළා සේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂය පරාජය වීමෙන් පසු ඩඩ්ලි සේනානායක මහතා බලයට ගෙන ඒමට කටයුතු කළ ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා ද නැවත බලයට ගෙන ඒම සිදු වී ඇතැයි මහ ලේකම්වරයා පැවසීය.

එක්සත් ජාතික පක්‍ෂය බලයේ සිටියදී ආණ්ඩුව පෙරළා දැමීමට බොරු ප්‍රචාර, පාස්කු ප්‍රහාරය ඇතුළු කුමන්ත්‍රණ දියත් වූ බවද එසේ නොමැතිව ආර්ථිකය බිඳදැමීම නිසා රජයක් පෙරළුෑ අවස්ථා නොමැති බව ද පැවසූ රංගෙ බණ්ඩාර මහතා දැනට ජාත්‍යන්තරය පිළිගත් රටේ සිටින නායකයා රනිල් වික්‍රමසිංහ මහතා බව ද කියා සිටියේය.

මෙහිදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි ශාන්තිනි කෝන්ගහගේ මහත්මිය ද අදහස් දැක්වූවාය.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment