එතෙර මෙතෙර පුපුර පුපුර හිස ඔසවන කොටි සෙවණැලි

267

මහ විරු දින ඇරඹෙද්දී ඉන්දීය නි.මහකොමසාරිස් කොටි සැමරුමක

සුමන්තිරන් ඇමරිකාවට

මන්නාරමෙන් පුපුරණ ද්‍රව්‍ය

ආණ්ඩුව මුනිවත රකි

මේ දිනවල රටේ පාර්ලිමේන්තුවේ සුවිශේෂී මාතෘකා බවට පත්ව තිබෙන කරුණු කාරණා රාශියකි. පක්‍ෂ විපක්‍ෂ අපේ මැති ඇමැතිවරු ඒ පිළිබඳව බොහෝ දේ කියන්නාහ. ඒ අතරේ ඇතැම් අවස්ථාවල ඒ උත්තරීතර සභා ගැබ තුළ ඝෝෂා නඟමින් උද්ඝෝෂණ සහ විරෝධතාද පවත්වන්නාහ.

වරෙක ඒ මහත්වරුන්ගේ මාතෘකාව වන්නේ පොහොරය, එහිදී ඇතැමුන් සිදුකරන කතා අසන විට රෑ නින්දට පෙර ග‍්‍රැමොක්සෝන් වීදුරුවක් පානය කර සැතපෙන්නට තිබුණ් නම් හොඳ යැයි රටේ ජනතාවට පසුගිය දිනවල සිතුණු වාරද අනන්ත අප‍්‍රමාණ විය හැකිය. දැන් කතාව ඇත්තේ ඒ තරමටම දුරදිග ගොසිනි.

මේ අන්දමට තෙල්, ගෑස්, පාස්කු ප‍්‍රහාරය, කිරිපිටි, සීනි, සිමෙන්ති, ගංජා සහ රිවස් කරන ගැසට් ආදී ලෙස එකී – මෙකී – නොකී වශයෙන් බොහෝ මාතෘකා පාර්ලිමේන්තුව තුළ දිගහැරෙද්දී මන්තී‍්‍ර තිස්සකුට්ටි ආරච්චි විසින් ඉතා පහත් ලෙස වම්බටු කරලක් හැන්සාඞ්ගත කළ අයුරුද ඉකුත් සතියේ දක්නට ලැබිණි.

රටේ අනාගත ගමන් මඟ තීන්දු කරනු ලබන තැනදී විවිධාකාරයේ මාතෘකා ගෙන රටේ දේශපාලකයන් මෙලෙස හඬ නඟද්දී ඒ සෑම හඬකම ඇති අවසාන ඉලක්කය වන්නේ බලය යන්න බව පැහැදිලිවම පෙනෙන්නට ඇති කරුණකි. ආණ්ඩුව බලය රැක ගන්නටත් විපක්‍ෂය බලය ලැබ ගන්නටත් බොහෝ දේ එහිදී කියන්නේය. ආණ්ඩුව සහ විපක්‍ෂය ලෙස සමස්තයක් වශයෙන් ගත්තත් ඒ දෙකෙහිම පිරිස් වෙන් වෙන් වශයෙන් ගත්තත් ඉන් එහා දෙයක් නැත.

ඔවුහු මෙසේ තර්ක විතර්ක කර සියල්ල අවසානයේ සභා තොමෝ සතුටින් විසිර යන්නාහ. අද රටේ ජනතාවට සිදුව ඇත්තේ ඒ දෙස උපේක්‍ෂාවෙන් බලා එදාවේල වෙනුවෙන් වෙහෙසෙන්නටය. එහෙත් ඔවුන් එසේ සතුටින් විසිර යන කල්හි මේ රටට එරෙහි දෙස් විදෙස් බලවේගයන් මෙන්ම බෙදුම්වාදය ඇතුළු විජාතික භූ දේශපාලනික උපක‍්‍රමයන් මේ මොහොතේත් පවතින්නේ කොතැනකද?

එකී සියල්ල ගෙවෙන සෑම තත්පරයක් පාසාම උපක‍්‍රමශීලීව කි‍්‍රයාත්මක වන්නේය. නැත්තේ ඒ දෙස බලා කරුණු කාරණා සහිතව හඬක් මතු කරන්නට කෙනකුය. අද රට කරවන්නේ මේ මාතෘ භූමිය වෙනුවෙන් කැප වෙන්නේ යැයි සක්වළ ගලේ අත් තබා දිව්රා පොරොන්දු දී බලයට පැමිණි ආණ්ඩුවකි. දෙවසරක් ගෙවුණු එකී කෙටිකාලීන අතීතය මේ රටේ ජනතාවට හොඳටෝම මතකය. ආණ්ඩුවට ද ඒ බව අමතක විය නොහැකිය. එහෙත් එදා කී එකී කැප කිරීම මේ මොහොතේ සිදු වෙමින් තිබේද?

අපට නම් දැනෙන්නේ එක් අයකු දෙන්නකු හැරෙන්නට අනෙක් සියල්ලන්ම අද තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් කිසිත් නොදන්නා සේ ව්‍යාජ නින්දකට වැටී සිටින බවය. එසේ නොවන්නේ නම් දෙස් විදෙස් ද්‍රෝහීන් සහ බෙදුම්වාදී බලවේග රට තුළ කි‍්‍රයාත්මක වෙද්දී ආණ්ඩුව තුළින් ඊට එරෙහිව යම් හඬක් මතුවිය යුතුය. මේ අලජ්ජී නිහඬ බව පැහැදිලි වන සිදුවීම් ගණනාවක් පසුගිය මාසයක පමණ කාලය තුළ වරින් වර සිදු විය. එය ආරම්භ වූයේ පාස්කු ප‍්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් මතුවූ කතෝලික පල්ලියේ හඬට දේශපාලන මුහුණුවරක් ආරෝපණය කිරීමෙනි. එය දැන් මේ රට ඉදිරියට එන තවත් එක් ජාත්‍යන්තර කුමන්ත‍්‍රණයක් දක්වා විහිදෙමින් තිබෙන බව ඉකුත් සතියේදී වාර්තා වූ සිදුවීම් කිහිපයකින්ම පෙනී ගියේය.

මේ අතරින් එක් ප‍්‍රධානම සිදුවීමක් වූයේ යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ ප‍්‍රධානී මෙරට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන් මහතා ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වයට අභියෝගයක් එල්ල කරමින් ඉකුත් සතියේදී උතුරේ එල්ටීටීඊ හිතවාදී පිරිසක් සංවිධානය කළ කොටි සැමරුමකට ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වීම විය. මේ ගෙවෙමින් තිබෙන්නේ ඉකුත් 1982 වසරේදී හමුදා ප‍්‍රහාරයකින් එල්ටීටීඊයේ හිටපු ප‍්‍රබල කොටි ත‍්‍රස්තවාදියකු වූ සත්‍යනාදන් නොහොත් සුරේෂ් හෙවත් ශංකර් මිය යෑමෙන් පසු වේලූපිල්ලේ ප‍්‍රභාකරන් විසින් නොවැම්බර් 26 වැනිදාට යෙදෙන තම උපන් දිනය ද මූලික කරගෙන ප‍්‍රකාශයට පත් කරන ලද කොටින්ගේ ඊනියා මහවිරු සතිය සැමරෙන දින කිහිපය ය.

එතෙර මෙතෙර පුපුර පුපුර හිස ඔසවන කොටි සෙවණැලි

මෙකී මහවිරු සතියට සමගාමීව මිය ගිය කොටි ත‍්‍රස්තවාදීන් සිහිකර රුක් රෝපණ වැඩසටහනක් නොවැම්බර් මාසය තුළ කි‍්‍රයාත්මක කිරීම විදේශගත කොටි හිතවාදී දෙමළ ඩයස්පෝරාව මෙන්ම උතුරේ කොටි හිතවාදීන් දැනට වසර දොළහක පමණ කාලයක සිට සිදු කරන්නකි. එය ආරම්භ කෙරුණේ යුද්ධයේ අවසානයත් සමඟය. මෙකී රුක් රෝපණ වැඩසටහනේ එකම අරමුණ වන්නේ මියගිය කොටි සාමාජිකයන් සිහි කරන්නේ යැයි පවසමින් උතුරේ ජනතා සිත් පාරවා ඔවුන් සංහිඳියාවෙන් ඉවතට ගෙන බෙදුම්වාදී දෙමළ දේශපාලනය පෝෂණය කිරීමය. එහෙයින් එකී රුක් රෝපණ වැඩසටහනට නව ජීවයක් එක්කරමින් බෙදුම්වාදය වැපිරීම සඳහා ඉකුත් 2016 වසරේදී සී. වී. විග්නේෂ්වරන් මහ ඇමැති ධුරය දැරූ උතුරු පළාත් සභාව විසින් නොවැම්බර් මාසය රුක් රෝපණ මාසය ලෙස නිල වශයෙන් නම් කිරීමට ද කටයුතු කරනු ලැබීය.

මියගිය කොටි සාමාජිකයන් සිහි කිරීම මෙකී වැඩසටහනේ ප‍්‍රකාශිත අරමුණු වී තිබෙන්නකි. ඒ අනුව මෙවර එය සංවිධානය කර තිබුණේ දෙමළ ජාතික හරිත සංවිධානයේ සභාපති උතුරු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම ඇමැති පොන්නතුරෙයි ඓන්කරනේෂන් ඇතුළු පිරිසක් විසිනි. එය ආරම්භ කරුණේ ඉකුත් විසි වැනිදාය. කොටින්ගේ ඊනියා මහවිරු සතිය ඇරඹෙන්නේද එදින සිටය. නිවැරදිවම කිවහොත් නොවැම්බර් 21 වැනිදා සිට 27 වැනිදා දක්වාය. මෙවර රුක් රෝපණ වැඩ සටහනට අනුව පැළ බෙදා දීමේ උත්සවයක් 20 වැනිදා යාපනයේදී පැවත්විණි.

එය සිදු කෙරුණේ ඉකුත් 1993 වසරේදී නාවික ප‍්‍රහාරයකට බියේ සියදිවි නසා ගත් එල්ටීටීඊයේ තවත් ප‍්‍රබල ත‍්‍රස්තවාදියකු වූ කිට්ටු නමින් 1994 දී එල්ටිටීඊය විසින් නම් කරනු ලැබූ යාපනය නල්ලූර් පාරේ පිහිටි සංගිලියන් උද්‍යානයේදීය.

මෙම උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වූයේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් රාකේෂ් නටරාජ් ජයබාස්කරන්ය. තමල්නාඩු වැසියකු වන හේ ඉන්දීය විදේශ සේවයේ නිලධාරියකු ලෙස ශී‍්‍ර ලංකාවේ ඉන්දීය තානාපති සේවයට පැමිණියෙකි. ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා මෙවර කොටි මහවිරු සතියට සමාගාමීව මියගිය ත‍්‍රස්තයන් සමරා පැවත්වෙන රුක් රෝපණ වැඩසටහන අරඹන්නට එදින සංගිලියන් උද්‍යානය වෙත ගියේය. එහිදී කොටින්ගේ නිල පුෂ්පය වූ නියඟලා හෙවත් කාර්තික් මලක් ඔහුගේ පපුවේ පැළැන්දූ සංවිධායකයන් රාකේෂ් නටරාජ් මහතා ලවා මියගිය කොටි ත‍්‍රස්තයන් සැමරෙන රුක් රෝපණ වැඩසටහන විවෘත කරවීය. ශී‍්‍ර ලංකාවේ ස්වෛරීත්වයට ප‍්‍රසිද්ධියේ ප‍්‍රහාර එල්ල වූ මෙම සිද්ධිය හමුවේ රජය සිටියේ මුනිවත රකිමිනි. මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ වෙනත් පාර්ශ්වයක් මේ දක්වා ඒ පිළිබඳව කිසිදු පියවරක් ගත් බවක් දැනගැනීමට නැත.

එහෙත් මෙම සිද්ධිය මාධ්‍ය මගින් ප‍්‍රචාරය වීමත් සමඟ කොළඹ පිහිටි ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කතා කරන්නට විය. වහා නිවේදනයක් නිකුත් කළ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය කීවේ ලැබුණු ආරාධනාවකට අනුව ශී‍්‍ර ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්වරයා එම උත්සවයට ගියද එහි සිදුවන දේ පිළිබඳ පූර්ව අවබෝධයක නොසිටි බවය. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ඒ ප‍්‍රකාශය හරි අපූරු එකකි. රාකේෂ් නටරාජ් ඉන්දීය විදේශ සේවයේ නිලධාරියෙකි. එවැන්නකු ශී‍්‍ර ලංකාවේ පැවති සහ යුදමය වශයෙන් පරාජය වූ පසුත් අදටත් විවිධාකාරයෙන් කි‍්‍රයාත්මක එල්ටීටීඊයේ වැඩපිළිවෙළ පිළිබඳ නොදැන සිටියේ යැයි කියන්නේ නම් එයට වඩා විහිළුවක් තවත් නැත.

ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය මේ කියන්නේ දකුණු ආසියාවේ විශාලම රාජ්‍යය වන ඉන්දියාව සිය රාජ්‍ය තාන්ති‍්‍රක සේවය සඳහා මොන්ටිසෝරි යන දරුවන් යොදවා තිබෙන බවද? අප ඒ ප‍්‍රශ්නය මෙහිදී විමසා සිටිනුයේ මේ දිනවල තමිල්නාඩුවේ අප‍්‍රකට නිල සංචාරයක යෙදී සිටින ශී‍්‍ර ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගෙන්ය. පැහැදිලිවම මෙහිදී ඉන්දියාව පාර්ශ්වයෙන් සිදුවූයේ මෙරට ස්වෛරීත්වයට අතපෙවීමකි. අතීතයේදී එල්ටීටීඊයට එරෙහිව යුද්ධය කි‍්‍රයාත්මක වීමේදී ඉන්දීය රජය මෙරට ගුවන් සීමාව උල්ලංඝණය කරමින් උතුරට ගුවනින් හාල්, පරිප්පු දැමූ අයුරු ශී‍්‍ර ලාංකික ජනතාවගේ මතකයේ ඇත. එහිදී ඉන්දියාව කරනු ලැබුවේ මෙරට අභ්‍යන්තර ගැටලූවකට අතපෙවීමක් වුවද සිදු කෙරුණේ ප‍්‍රසිද්ධියේම බලය පෙන්වීමකි. එහෙත් අද දවසේ කොටි සැමරුමකට සහභාගි වෙමින් ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් රාකේෂ් නටරාජ් සිදුකර ඇත්තේ ඊට හාත්පසින්ම වෙනස් වූවකි.

ඔහු කරනු ලැබුයේ තුට්ටු දෙකේ වැඩකි. වෙනත් ආකාරයකට කිවහොත් ඔහු සිදුකර ඇත්තේ පැහැදිලිවම කුමන්ත‍්‍රණයකි. ඉතාම කනගාටුදායක කි‍්‍රයාවකි. එහෙත් එයටත් වඩා කනගාටුවට කරුණ වන්නේ ඒ බව ඉන්දියාවට පැහැදිලි කර දීමට රට වෙනුවෙන් පෙනී සිටින්නෙමියි කියමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ කිසිවකුත් නොවීමය. ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් ඉන්දියාවේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ සේවයට යන යම් නිලධාරියකු ඉන්දියාවේ කාශ්මීර් ප‍්‍රදේශයට ගොස් ඉන්දියාවට එරෙහි සංවිධානයක උත්සවයකට සහභාගි වුවහොත් ඉන්දීය රජය ගන්නා පියවර කුමක් විය හැකිද?

එවැන්නක් සිදු කිරීමෙන් පසු ඉන්දියාවේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලය නොදැනුවත්කමින් එය සිදුවූවේ යැයි නිවේදනයක් නිකුත් කළහොත් සියල්ල අමතක කර නිහඬ වන්නට ඉන්දීය රජය කටයුතු කරනු ඇතිද? නැත. එසේ වුවේ නම් මේ වන විටත් අදාළ ශී‍්‍ර ලංකා දූත මණ්ඩල නිලධාරියා සිටිනුයේ යළි හරවා එවීම හමුවේ ශී‍්‍ර ලංකාවේය. ඉන්දියානු රජය භාරත් මාතාවගේ ස්වෛරීත්වය සුරක්‍ෂිත කරනුයේ එසේය.

තම රාජ්‍යයේ ස්වාධීනත්වය අරබයා එසේ කි‍්‍රයාත්මක වන ඉන්දියාව ශී‍්‍ර ලංකාව සම්බන්ධයෙන් මෙලෙස කටයුතු කිරීම මොනතරම් යුක්තිසහගතද?

නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් රාකේෂ් නටරාජ් මහතා කැඳවා මේ ප‍්‍රශ්නය අද විමසා සිටිය යුත්තේ විදේශ කටයුතු අමාත්‍යංශය විසිනි. එහෙත් සියල්ලෝ නිහඬවම සිටින්නාහ. අපි මෙහිදී කියනුයේ මේ ප‍්‍රශ්නය ගෙන ඉන්දියාවට යුද ප‍්‍රකාශ කළ යුතු යැයි යන්න නොවෙමු. මේ රටේ අභ්‍යන්තර කටයුතුවලට අලජ්ජී ලෙස මැදිහත් නොවන්නැයි ඉන්දියාවෙන් ඉල්ලා සිටීමට ස්වෛරී රාජ්‍යයක් ලෙස ශී‍්‍ර ලංකාවට ඇති අයිතිය රැක ගැනීමට කටයුතු සිදුවිය යුතු යන්නය. ඒ පෙනී සිටීම සිදු නොකළහොත් ඉදිරියේදී බොහෝ දේ එළිපිටම සිදුවීමටද බැරි නැත. එදාට රටක් වශයෙන් අපට අත්වන ඉරණම කුමක් වනු ඇතිද?

අප මේ මොහොතේ ඒ ප‍්‍රශ්නය විමසා සිටින්නේ රට රකින්නෙමියි සපථ කරමින් බලයට පැමිණි ආණ්ඩුවේ හැමෝගෙන්මය. ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තරයට අත පෙවීමේ ඉන්දියාවේ කතාව මෙසේ වෙද්දී ඉකුත් සතියේ වාර්තා වූ තවත් ප‍්‍රබල සිදුවීමක් වූයේ දෙමළ ජාතික සන්ධානයේ ප‍්‍රකාශක පාර්ලිමේන්තු එම්. ඒ. සුමන්තිරන් සහ මඩකලපුව දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාසමානික්කම්ගේ ඇමරිකා- කැනඩා සංචාරය විය. මෙම සංචාරයේදී ඇමරිකාවේ වොෂින්ටන් නුවරට ගිය එම්. ඒ. සුමන්තිරන් ඇතුළු පිරිස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවී ඔවුන් විසින් සඳහන් කරන මෙරට ජනවාර්ගික අර්බුදයට දේශපාලන විසඳුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවත්වූහ.

මෙහිදී එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී ගෝලීය අපරාධ හා යුක්තිය පිළිබඳ කාර්යාලයේ ප‍්‍රධානීන් හමුවීමට ද කටයුතු කර තිබුණු අතර එම හමුවෙන් පසු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශී‍්‍ර ලංකාව සංහිඳියාව ප‍්‍රවර්ධනය කිරීම සඳහා සුළුතර කණ්ඩායම්වලට සවන්දීම අත්‍යවශ්‍ය බවද එම කාර්යාලය සඳහන් කළේය. එම්. ඒ. සුමන්තිරන් ඇතුළු නියෝජිත පිරිස මෙම සංචාරය අතරතුරදී ඇමරිකානු මානව හිමිකම් සහ කම්කරු කාර්යාංශයේ වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් ලීසා පීටර්සන් සමඟ සාකච්ඡා පවත්වා තිබිණි. එම සාකච්ඡාවෙන් අනතුරුව නිකුත් කෙරුණු තවත් ට්විටර් පණිවිඩයක සඳහන් වූයේ ශී‍්‍ර ලංකාවේ සුළුතර කණ්ඩායම්වල ආරක්‍ෂාව සහ දේශපාලන නියෝජනය ඉදිරියට ගෙන යෑම ඇමරිකාවේ ප‍්‍රධාන අරමුණක් වන බවකි.

කල් පවතින දේශපාලන විසඳුමක් සඳහා ඇමරිකාව සම්බන්ධ කර ගැනීම වෙනුවෙන් මෙම සංචාරයේදී අවශ්‍ය පියවර ගන්නා බවද සුමන්තිරන් ඇතුළු පිරිස සඳහන් කරනු ලැබීය. ඇමරිකානු සංචාරයෙන් අනතුරුව කැනඩාවේ ටොරොන්ටෝ වෙත ගිය සුමන්තිරන් ඇතුළු පිරිස එහිදී පැවති රැස්වීමකටද සම්බන්ධ වී තිබුණු අතර එහිදී ටොරොන්ටෝහි දෙමළ ජනතාව ඇමතූ ඔවුන් දේශපාලන විසඳුමක් තුළින් බලය බෙදා ගැනීමක් වෙනුවෙන් පෙනී සිටින බව සඳහන් කර තිබිණි. එහෙත් සුමන්තිරන්ලා මෙසේ දේශපාලන විසඳුමක් පිළිබඳ කතා කරද්දී කැනඩාවේ සිටින දෙමළ වැසියන් හඬ න`ගා තිබුණේ දේශපාලන විසඳුමක් නොව වෙනම රාජ්‍යයක් අවශ්‍ය යැයි සඳහන් කරමිනි.

එතෙර මෙතෙර පුපුර පුපුර හිස ඔසවන කොටි සෙවණැලි

ශී‍්‍ර ලංකාවේ සිට කි‍්‍රයාත්මක වෙමින් සෑම කල්හිම බෙදුම්වාදය වෙනුවෙන් පෙනීසිටි එම්.ඒ. සුමන්තිරන් ඇතුළු දෙමළ ජාතික සංවිධානයේ නියෝජිත පිරිසක් මෙලෙස ප‍්‍රධාන පෙළේ රාජ්‍ය තාන්ති‍්‍රක හමුවකට සහභාගි වී සිටියදීත් ඒ පිළිබඳ විමසීමක් කිරීමට ද කිසිවකුත් නොවීය. ඉකත් දිනවල පාර්ලිමේන්තුවේදී අයවැය විවාදය පැවතියද එයට සහභාගි වූ ආණ්ඩුවේ කිසිවකුත්ම අයවැය අස්සේ සුමන්තිරන්ලා ඇමරිකාවට ගොස් කරනුයේ කුමක්දැයි විමසීමක් කිරීමට මැලි විය.

සුමන්තිරන්ලාගේ මෙම සංචාරයත් සමඟ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව දැන් කියනුයේ මෙරට සුළු ජාතිකයන්ගේ ආරක්‍ෂාව සහ දේශපාලනය වෙනුවෙන් ඇමරිකා එක්සත් ජනපදය පෙනී සිටින බවකි. ඉකුත් 2015 වසරේදීද ඇමරිකාව සුමන්තිරන්ලා සමඟ එක්ව ඒ පෙනී සිටීම සිදු කළේය. යහපාලනය බිහිවූයේද ඒ අනුවය. එහිදී ඉන්දියාව සිටියේදී අද සිටින තැනමය. එකී මැදිහත් වීමේදී සුමන්තිරන්ලා සමඟ එක්ව මෙකී විජාතික බලවේග මේ රට ගෙන ගියේ කුමන දිසාවකටදැයි යන්න කිසිවකුටත් රහසක් නොවන්නකි.

එකී වෙනසත් සමඟ බෙදුම්වාදය එළිපිටම කි‍්‍රයාත්මක විය. රටේ ජාතික ආරක්‍ෂාවට පහර පිට පහර දුන්නේය. බුද්ධි අංශ වනසා දැමීය. අවසානයේ මහා ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයකට රට ගොදුරු වන තැනටම කටයුතු සිදු විය. අද පාස්කු ප‍්‍රහාරය ලෙස අප හඳුන්වන්නේ ඒ විනාශය ය. එහෙත් රට වෙනුවෙන් පෙනී සිටින්නෙමැයි කියමින් බලයට පැමිණි වත්මන් ආණ්ඩුවේ කාට හෝ ඒ පිළිබඳ අවබෝධයක් දැන් තිබේද? එවැනි මතකයක් හෝ අවබෝධයක් තිබුණේ නම් මෙවැනි දේ යළි සිදුවෙද්දී ඒ පිළිබඳව කිසියම් හඬක් මතුවිය යුතුය. එසේ නොවන්නේ සියල්ලන්ටම අද සියල්ල අමතක වී තිබෙන නිසාය.

එසේ සියල්ලන්ට සියල්ල අමතක වෙද්දී ඉකුත් සතියේ වාර්තා වූ භයානකම සිදුවීම වූයේ මන්නාරම ප‍්‍රදේශයෙන් අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් දහසකට අධික ප‍්‍රමාණයක් සොයා ගැනීමට ආරක්‍ෂක අංශ සමත් වීමය. නාවික හමුදාව මගින් ලබා දුන් බුද්ධි තොරතුරකට අනුව මුලින්ම පොලිස් විශේෂ කාර්ය බළාකයේ නිලධාරීන් පිරිසක් මන්නාරම ශාන්තිපුරම් ප‍්‍රදේශයේදී වැටලීමක් සිදු කර ඉන්දියාවේ නිෂ්පාදිත ඉමල්ෂන් වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 998ක් සොයා ගත් අතර පසුව යුද හමුදා බුද්ධි අංශ
මගින් එම වර්ගයේම තවත් පුපුරන ද්‍රව්‍ය කිලෝ ග‍්‍රෑම් 150 ක් මන්නාරම ප‍්‍රදේශයෙන්ම සොයා ගනු ලැබීය.

මෙහිදී ඊපීආර්එල්එෆ් සංවිධානයේ කි‍්‍රයාකාරිකයකු වූ හිටපු ප‍්‍රාදේශීය සභා මන්තී‍්‍රවරයකු වන දෙමළ ජාතිකයකු සහ මුස්ලිම් ජාතිකයකු ඇතුළු තිදෙනකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබිණි. මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගැනීමත් සමඟ ආරක්‍ෂක අංශ සඳහන් කරනු ලැබුවේ ඉමල්ෂන් වර්ගයේ අධිබල පුපුරන ද්‍රව්‍ය මෙරටින් සොයා ගත් පළමු අවස්ථාව මෙය වන බවය. කෙසේ වෙතත් කලකට පෙර සැලසුම් කර තිබූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් සඳහා මෙම වර්ගයේ පුපුරන ද්‍රව්‍ය තොගයක් යොදා ගැනීමේ සූදානමක් තිබෙන බව මීට පෙර අවස්ථාවක ආරක්‍ෂක අංශ වෙත තොරතුරු වාර්තා වී තිබුණද සිදු කළ විමර්ශනවලදී එවැන්නක් හමු නොවීය.

මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගැනීමත් සමඟ අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් ප‍්‍රකාශ කර තිබුණේ මසුන් මැරීම සඳහා යොදා ගැනීමට ඒවා ඉන්දියාවේ සිට බෝට්ටු මගින් මෙරටට රැගෙන ආ බවකි. එහෙත් ආරක්‍ෂක අංශ සඳහන් කරනුයේ මසුන් මරණ මුවාවෙන් රැගෙන එන මෙවැනි අධිබල පුපුරන ද්‍රව්‍ය යම් ආකාරයකට කිසියම් ත‍්‍රස්තවාදී කල්ලියකට හෝ අන්තවාදීන් පිරිසකට ලැබුණහොත් සිදුවිය හැකි විනාශය අති බිහිසුණු විය හැකියි යන්නය.

මේ රට තුළ අද දවසේ ත‍්‍රස්තවාදය හෝ අන්තවාදය කි‍්‍රයාත්මකව නැතැයි කියන්නට කිසිවකුටත් නොහැක. සහරාන් හෂීම්ලා පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කරමින් අසරණ කිතුණු බැතිමතුන් 250 ට අධික පිරිසක් මරා දමා පන්සියයක පිරිසකට බරපතළ තුවාල සිදු කරන තැන දක්වා සංවිධානය වූවේත් වර්තමානයේ මෙන්ම විජාතික කුමන්ත‍්‍රණ සහ බෙදුම්වාදී සැලසුම් රට තුළ කි‍්‍රයාත්මක වෙද්දීය. එසේම මේ රට තුළ අදටත් විසි වතාවකට වඩා යළි ප‍්‍රතිසංවිධානය වීමට වෙහෙසුණු එල්ටීටීඊ ත‍්‍රස්තවාදයේ සෙවනැළි සැඟවී ඇත. මෙම පුපුරන ද්‍රව්‍ය තොගය ආරක්‍ෂක අංශ විසින් සොයා ගනු ලබන්නේ එවන් අවදානම්කාරි වටපිටාවක් තුළය.

එනිසා පවතින අවදානම ලෙහෙසියෙන් බැහැර කළ නොහැක. මීට සති දෙක තුනක සිට පාස්කු ප‍්‍රහාරය දේශපාලන තුරුම්පුවක් කරමින් රටේ බුද්ධි අංශ වෙත ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඇතැමුන් කටයුතු කරනු ලැබුවේ මෙවැනි තත්ත්වයකට රට මුහුණ දී සිටියදීය.

එහිදී බුද්ධි අංශවලට පහර දීමේ මෙහෙයුමේ එක් ප‍්‍රධාන භූමිකාවක් කරනු ලැබුවේ සිරිල් ගාමිණි පියතුමන් විසිනි. එහෙත් සිරිල් ගාමිණි පියතුමන් බුද්ධි අංශ වෙත එල්ල කළ චෝදනා සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අනුව පසුගිය දිනවල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි එතුමන් සඳහන් කර ඇත්තේ කුමක්ද?

තමන් බුද්ධි අංශ වෙත චෝදනා එල්ල කළද ඒ කිසිත් තමන් විසින් සොයා ගත් කරුණු නොවන බව සිරිල් ගාමිණී පියතුමා ප‍්‍රශ්න කිරීම් හමුවේ පවසා ඇත. සිරිල් ගාමිණි පියතුමන් එම චෝදනාව බුද්ධි අංශ වෙත සිදු කර තිබුණේ විදේශීය නියෝජිතයන්ද ඇතුළුව දෙසිය පනහක පමණ පිරිසක් සහභාගි වූ සූම් තාක්‍ෂණයෙන් කෙරුණු සාකච්ඡාවකදී විය. එහෙත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඒ පිළිබඳ අදහස් දක්වා ඇති එතුමන් පවසා ඇත්තේ එම සාකච්ඡාව සංවිධානය කරනු ලැබුවේද තමන් නොවන බවකි. ඔස්ටේ‍්‍රලියාවේ වෙසෙන මලර් නමැත්තකු එම සාකච්ඡාව සංවිධානය කළ අතර මෙරට එහි සංවිධාන කටයුතු සිදු කරනු ලැබුවේ කාදිනල් හිමියන් බව සිරිල් ගාමිණි පියතුමන් සඳහන් කර ඇත.

එසේම එතුමන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප‍්‍රකාශ කර ඇති වැදගත්ම කරුණ වන්නේ තමන් බුද්ධි අංශ වෙත චෝදනා එල්ල කරනු ලැබුවේ පාර්ලිමේන්තුවේදී සිදු කෙරුණු කතා අනුව බව යැයි පැවසීමය. අදාළ සූම් සාකච්ඡාවේදී බුද්ධි අංශ වෙත එල්ල කළ චෝදනා සාධක සහිත යැයි පැවසීමට සිරිල් ගාමිණී පියතුමා කටයුතු කළද දැන් ඇත්ත කතාව දිග හැරෙමින් තිබෙන්නේ එසේය. මේ සියල්ල දෙස විමසීමෙන් බැලීමේදී සිදු වෙමින් තිබෙන්නේ කුමක්දැයි හොඳින්ම පැහැදිලිය. බෙදුම්වාදයට සහ විජාතික කුමන්ත‍්‍රණකරුවන්ට මේ රට තුළ නිදහසේ කි‍්‍රයත්මක වීමට නම් මුලින්ම සිදුවිය යුත්තේ බුද්ධි අංශ අඩපණ වීමය. පාර්ලිමේන්තුවේදී සහ ඉන් පිටත කෙරෙන ප‍්‍රකාශ තුළින් එකී උත්සාහය ගැනෙමින් තිබියදී දැන් ඉන්දීය රාජ්‍ය තාන්ති‍්‍රක නිලධාරීන් කොටි උත්සවවලට යන්නේය. සුමන්තිරන්ලා සමඟ ඇමරිකාව යළිත් අත්වැල් බැඳගනිමින් සිටින්නේය. එහෙත් ආණ්ඩුවේ ඇත්තෝ නිහඬවම සිටින්නාහ. එසේ වුවද ඒ පිළිබඳ මේ රටේ ජනතාවට අවබොධ කර දෙන්නට අපි පසුබට නොවන්නෙමු. ජනතාව සත්‍ය අවබෝධ කර ගත් කල්හි රට වෙනුවෙන් පණ දෙන්නෙමැයි කියමින් බලයට පැමිණ මුනිවත රකින ව්‍යාජ දේශපේ‍්‍රමීන්ට සිදු වන්නේ ඉතිහාසයේ කුණු කූඩයට විසිවන්නට බව නොකියාම බැරිය. ඒ සඳහන මෙහිදී කරනුයේ වත්මන් ආණ්ඩුවේ හැමෝටම ඇසෙන්නටය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment