එතෙර යස ඉසුරට මඟහැරුණු සෙනෙහස

451

මහා මූසලම දවසක
 කටුනායක අහස පළාගෙන
 උඹ ගියා ඉක්මනට
 එනවාමයි හිතාගෙන

 කොම්පියුටරේ පලු දෙකට නවාගෙන
 අම්ම ඊයෙත් හිටියා මහපාර බලාගෙන
 උඹ තුරුලු වුණා නම් ස්කයිප් උණුහුමට
 උන්දැ මියදෙන්නේ අද තුන්හිතම පුරෝගෙන


 ඉංගිරිසි අකුරු තව නම අගට අමුණන්න
 ඔස්ටේ්‍රලියාවෙන් ඉඩම් අඟලක් ගන්න
 වෙහෙසුනා මිසක පොඩි ඉඩක් ලැබුණයැ එන්න
 වාත තෙල් බින්දුවක් පපුවේ උලලා යන්න…..?

 ඩොලර් නම් මිටි ගණන් හාල් තුනපහවලට
 ඒත් ඔයාකාර මොකටදෑ දෙන්නෙකුට
 අලි ඇත්තු තරම් ලොකු සීත වාහන සැපට
 මොනවහරි මඟහැරුණාවත්ද මන්දා උඹට

 ජීවිතේ අපට නම් වෙල් ලියැදි කීහිපයක්
 ඒකෙනුත් පිනට ඇති පොඩි කුරුලු පාළුවක්
 මහා මන්දිර හදා ඇතොත් ඉස්පාසුවක්
 ඇවිත් පලයං පුතේ මහගෙදර මරණයක්

 – මීට තාත්තා

 සම්පත් කුරුප්පුආරච්චි කවියා අපට හමුවන්නේ පස් කන්දක් හුස්ම ගනිමි කාව්‍ය සංග්‍රහය තුළින්ය. එය කවියාගේ පළමු කාව්‍ය සංග්‍රහය වන අතර, එය පාඨකයන් අතට පත් වන්නේ 2015 වර්ෂයේදීය. ඉක්බිතිව කවියා වසර හතක් වැනි දීර්ඝ කාලයක් ගත වූ පසුව යළි පාඨකයන් අතරට එන්නේ මටත් දැන් ඒ පාර මතක නෑ සේකර යන කාව්‍ය සංග්‍රහය රචනා කරමින් 2021 වර්ෂයේදීය. ඉහත සඳහන් කාව්‍ය උපුටා ගන්නා ලද්දේ එම කාව්‍ය සංග්‍රහය තුළින් වන අතර, විවිධ අනුභූතින් පදනම් කරගෙන නිර්මාණිත කවි තිස් තුනකින් මෙම කාව්‍ය සංග්‍රහය සමන්විත වේ. කවිය නම් කර ඇත්තේ මඟහරින යථාර්ථය යනුවෙන්ය. කවිය ආරම්භ වන්නේ මෙසේය.

 මහා මූසලම දවසක
 කටුනායක අහස පළාගෙන
 උඹ ගියා ඉක්මනට
 එනවාමයි හිතාගෙන

 ශ්‍රී ලාංකික සමාජය තුළ රට රැකියා සඳහා විදේශගත වන තරුණ පිරිස අතිමහත්ය. විදේශගත ශ්‍රමිකයන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට සපයන දායකත්වය සුළු කොට තැකිය නොහැකිය. විදේශගත වූවන්ගෙන් බොහෝ පිරිසක් රට රැකියා සඳහා ගොස් ඇත්තේ ශ්‍රමයට සරිලන වැටුපක් නොලැබීමේ හේතුව පදනම් කරගෙන වන අතර, වෙනත් හේතු මත විදේශගතව රැකියා කරන අතළොස්සක් ද සිටිය හැකිය. මෙම කවිය තුළින් රැකියාවක් සඳහා තම පුතු විදේශගත වන දින සිට පවුල තුළ ගොඩනැඟෙන සංසිද්ධි මුල්කරගෙන පියෙකුගේ චින්ත අභ්‍යන්තරයේ උපදින සංවේදනා මතු කරයි. පුතු විදේශගත වන්නේ බොහෝ කාලයක් විදේශගතව සිටීමේ අරමුණ පෙරදැරිව නොවන බව කවිය ආරම්භය තුළින්ම වටහාගත හැකිය. කවිය ගලා යන්නේ විදේශගත වූ තම පුතු පිළිබඳව පියකුගේ සියුම් මනෝභාවයන් අවදි කරමින් ලියනු ලබන ලිපියක් ආකාරයෙන්ය. තම දරුවකු ටික කාලයකට හෝ පවුල් පරිසරයෙන් විප්‍රවාසීව කාලයගත කිරීම කිසිදු දෙමාපියකුට සතුටට පත් විය හැකි කාරණයක් ලෙස ගිනිය නොහැකිය. මෙම කවියේ එන කථකයාටද තම පුතු විදේශගත වන දිනය දැනෙන්නේ මහා මූසලම දවසක් පරිද්දෙන්ය. කවිය ආරම්භයේදී භාවිතා කර ඇති, කටුනායක අහස පළාගෙන, යන යෙදුම තුළින් කටුනායක ගුවන් තොටින් පුතු නික්ම ගිය ආකාරය පාඨක මනස තුළ චිත්ත රූප මැවෙන ආකාරයෙන් නිර්මාණය කරන්නට කවියා සමත් වී ඇත. පුතු පිටව යන්නේ ඉතා කෙටි කාලයක් තුළදී නැවත ලංකාවට පැමිණීමේ අදහස ඇතිව බව පැහැදිලිය. මතුපිටින් බලන කළ දරුවන් පිළිබඳව පියාට වඩා වද වෙන්නේ, මඟ බලා සිටින්නේ, දුක සැප විමසන්නේ අම්මාය. මන්ද තාත්තාගේ දරා ගැනීමේ ශක්තිය මවුට වඩා ඉහළින් තිබෙන නිසා දරුවන්ට ආදරය මතු පිටට නොපෙන්නට තිබෙන ඉඩකඩ වැඩිය. මෙම කවිය තුළින්ද පුතු රැකියාවක් සඳහා විදේශගත වූ පසු ඔහු පිළිබඳව වඩාත් කනස්සල්ලෙන් සිට මියගිය මව් කෙනකු පිළිබඳව කරුණා රසය උපදින ආකාරයෙන් මතු කර ඇත.

 අතීතයේ නම් විදේශගත වූවන්ට තම ඥාතීන් සමඟ සම්බන්ධතා පැවැත්වීම සඳහා තිබූ සන්නිවේදන පහසුකම් ඉතා අල්පය. මීට දශක තුනකට පමණ ඉහතදී බොහෝ ලාංකිකයන් සන්නිවේදනය සඳහා භාවිතා කරන ලද ප්‍රධානම මාධ්‍ය ලිපිය වූ අතර, දුරකථනය ඔස්සේ ඇමතුම් ලබා ගැනීමට තිබූ පහසුකම් අවම විය. නමුත් වර්තමානය වන විට සන්නිවේදන තාක්ෂණය වේගයෙන් දියුණු වීමත් සමඟ දුරකථනය හා පරිගණකය භාවිතා කරමින් රුව දකිමින් අදහස් හුවමාරු කර ගැනීමේ හැකියාව උදාවී ඇත. කවියේ ඊළඟ කොටසෙන් කියවෙන්නේ විදේශයක සිටින තම පුතුගේ රුව දැකීම සඳහා මව තුළ වූ අපේක්ෂාවත් ඒ සඳහා තිබූ සූදානම පිළිබඳවත්ය. පුතුගේ රුව දැකීමට මවගේ නොඉවසිල්ල පහත පද පේළි ද්විත්වය තුළින් මනාව ගම්‍ය වේ.

 කොම්පියුටරේ පලු දෙකට නවාගෙන
 අම්ම ඊයෙත් හිටියා මහපාර බලාගෙන

 විදේශයක සිටින තම පුතුගේ පැමිණිම පිළිබඳව මව අපේක්ෂාවෙන් සිටින අතර, එකී අපේක්ෂාව යථාර්ථයක් නොවන තැනදී ඇය වේදනාවට පත් වේ. කවියේ කථානායකයා වන පුතු අඩුම තරමින් මවට වීඩියෝ ඇමතුමක් හෝ ලබාගෙන තිබුණේ නම් බොහෝ දේ වෙනස් වන්නට ඉඩ තිබුණ බවත්, එකී සියලු අපේක්ෂා බිඳී ගිය තැන මව අවසන් හුස්ම හෙළා ඇති අයුරුත් කවියේ ඊළඟ පද ද්විත්වය තුළින් වටහාගත හැකි අතර, එය හෘදය සංවේදී අවස්ථාවකි.

 උඹ තුරුළු වුණා නම් ස්කයිප් උණුහුමට
 උන්දැ මියදෙන්නේ අද තුන්හිතම පුරෝගෙන

 කෙටි කාලයකින් නැවත පැමිණීමේ අදහසින් විදේශගත වන ඔහුට තව දුරටත් එහිම වාසය කිරීමට ඇතිව තිබෙන බලාපොරොත්තුව පිළිබඳව කවි පන්තියේ ඊළඟ කවියෙන් ඉස්මතු කරන්නට කවියා සමත් වී ඇත. විදේශගතව සිට මුදල් හරි හම්බකිරීමේ අරමුණ පමණක් මුදුන් පමුණුවා ගැනීම උදෙසා කටයුතු කිරීමට යෑම තුළින් මුදලින් කිසිසේත් තක්සේරු කළ නොහැකි බොහෝ වටිනා දේ පුතුට අහිමි වී ගොස් ඇති අකාරය කවියා මෙහිදී මතු කරයි. පුතුගේ මුදල් ඉපැයීමේ බලාපොරොත්තුව ඔහුව ග්‍රහණයට ගෙන ඇති ආකාරය වටහා ගැනීමට කවියේ සඳහන්, ඔස්ටේ්‍රලියාවෙන් ඉඩම් අඟලක් ගන්න, යන පද පේළියම ප්‍රමාණවත්ය. කථකයාගේ බිරිඳ අසනීපයෙන් සිට ඇති බවක් ඊළඟ කවි පද ද්විත්වයෙන් මතු වන අතර, එහෙත් පුතුට මවගේ දුක සැප බලන්නට පැමිණෙන්නට තබා ඇමතුමක් ගන්නට තරම්වත් කාලයක් නොවූ බව පැහැදිලිය. මෙවැනි තත්ත්වයක සිටින තම පුතු පිළිබඳව පියාගේ චින්ත අභ්‍යන්තරයේ ඇතිවන සිතුවිල්ල හෘදය සංවේදී ආකාරයෙන් කවියා ගොඩනඟන්නේ මෙසේය.

 වෙහෙසුනා මිසක පොඩි ඉඩක් ලැබුණයැ එන්න
 වාත තෙල් බින්දුවක් පපුවේ උලලා යන්න…..?

 ඇතැම් විටෙක පුතු පැමිණියේ නම් මවගේ ජීවිතය තව ටික කාලයක් හෝ රැකෙන්නට ඉඩ තිබුණාද යන හැඟීම පාඨකයා සිත්හි ජනිත වේ යැයි සිතමි. කථකයා ප්‍රකාශ කරන්නේ ජීවත්වීම සඳහා මහා ලොකු දේවල් අවශ්‍ය නොවන බවය. නමුත් පුතුගේ ලෝකයේ ඇත්තේ ඉතා සුඛෝපභෝගි ජීවිතයක් පිළිබඳ වන බලාපොරොත්තු බව ඊළඟ කවිය දෙස බැලීමෙන් අවබෝධ කරගත හැකිය. පියා විසින් ප්‍රශ්න කරනු ලබන්නේ සුඛෝපභෝගී ජීවිතයක් හඹා යෑම තුළින් පුතුටු අහිමි වී ගිය මව් සෙනෙහස මිස අන් කුමක්ද ?

 ඩොලර් නම් මිට ගණන් හාල් තුනපහවලට
 එත් ඔයාකාර මොකටදෑ දෙන්නෙකුට
 අලි ඇත්තු තරම් ලොකු සීත වාහන සැපට
 මොනවහරි මඟහැරුණාවත්ද මන්දා උඹට

 මෙම කවි පන්තිය අවසන් වන්නේ ඇවිත් පලයං පුතේ මහ ගෙදර මරණයක්, ලෙසින්ය. කවියේ කූඨප්‍රාප්තිය පාඨක හද සසල කරන්නට සමත් වේ. නමුත් කවි පන්තියේ දෙවැනි කවියෙන්ද මව් මියගිය බව සඳහන් කිරීම තුළින් කවිය වඩාත් දැනෙන ලෙස අවසන් කරන්නට තිබූ අවස්ථාව කවියා සිතා මතා හෝ ඒ පිළිබඳව දක්වන ලද අවධානය මදකම නිසා අහුරා ගෙන ඇති බව දැනේ. පියෙකු විසින් විදේශගත තම පුතු ආමන්ත්‍රණය කරමින් ලියන ලද ලිපියක් ස්වරූපයෙන් ගලා යන කවිය අවසන් වන්නේ මීට තාත්තා ලෙස සඳහන් කරමින්ය. කවිය අවසන් වන්නේ මෙසේය.

 ජීවිතේ අපට නම් වෙල් ලියැදි කීහිපයක්
 ඒකෙනුත් පිනට ඇති පොඩි කුරුලු පාළුවක්
 මහා මන්දිර හදා ඇතොත් ඉස්පාසුවක්
 ඇවිත් පලයං පුතේ මහගෙදර මරණයක්

 කථකයා ගෙවමින් සිටින සරල ජීවිතය පිළිබඳව චිත්ත රූප මැවෙන ආකාරයෙන් කවිය නිර්මාණය කර ඇති අතර, ගොවි පියෙකුගේ චිත්ත අභ්‍යන්තරය ස්පර්ශ කරන්නට කවියා මෙහිදී මැනවින් සමත් වී ඇත. අතීතයේ ගොවිතැන් කරන ලද බොහෝ ගොවියන් කුඹුරෙන් කොටසක් කුරුලු පාළුව ලෙස අත් හැරීම සිදු කළ අතර, මෙම කවිය තුළින්ද එම කාරණය ඉස්මතු කර ඇති අතර, කථකයාද එවැනි ගොවියෙක් බව කියවේ. එලෙස තමන් හරි හම්බකරන කුඹුරෙන් කොටසක් සතුන් සඳහා අත්හැරීමට තරම් සරල දිවි පෙවතක් ගෙන ගිය කථකයාගේ පුතු යස ඉසුරු සොයා විදේශගත වීමත්, අසීමිත බලාපොරොත්තු ඔස්සේ ගෙවල් දොරවල් යාන වාහනවලින් සමන්විත වන්නාවූ සුඛෝපභෝගි ජීවිතයක් හඹා යමින් සිටින අයුරුත් කවියා මෙහිදී මතු කරයි. කවිය අවසානයේදී එවැනි තත්ත්වයකට පත්ව සිටින පුතුට මවගේ මළගමට ඇවිත් යන්නට වත් වෙලාවක් ඇත්නම් යන ආයාචනය පියෙකු විසින් සිදු කරන ආකාරය හෘදය සංවේදීය. පාඨකයකු ලෙස මා වඩාත් සංවේදී කළ කවියක් වූ බැවින් මෙම කෙටි අදහස සටහන් කර තබන්නට සිත් ූුවූ අතර, සම්පත් කුරුප්පුආරච්චි කවියාට තවත් මෙවැනි හද සසල වන නිර්මාණ කරන්නට අවැසි සිතුවිලි උපදින්නට ප්‍රාර්ථනා ගෙනෙමින් ලියැවිල්ල අවසන් කරමි.

● සමන් කේ. අබේරත්න
 ජඹුරේවෙල

advertistmentadvertistment
advertistmentadvertistment