එදත් අදත් කවදත් අපි ඉතින් හැමදාම පෝලිමේ

295

ලාම්පුතෙල් පොදක් ගන්න දුක්විඳින මිනිසුන්ගේ කතාව

ලාම්පු තෙල් ලීටර් 06ක් ගන්න පැය තුනක් පෝලිමේ

දැන් රටේ බැලූ බැලූ තැන පෝලිම් ය. හැම දේකටම පෝලිම් ය.

මේ පෝලිම් කෙරුවාව ගැන කතා කරන විට බොහෝදෙනකුගේ මතකයට එන්නේ අතීතයේ පෝලිම් යුගය ආරම්භ වූ ආකාරය
ගැනය. 1970 – 77 කාලයේ මේ රටේ ජනතාව ලොකු කුඩා භේදයක් නැතිව කන්නට අදින්නට බඩු ගන්නට සියලූම දේට පෝලිම්වල සිටියහ. හාල් සේරු දෙක ගන්නට සමුපේ පෝලිමේ සිටියහ. කූපන් පොතට දුරු තුනපහ ටික ගන්නට පෝලිමේ සිටියහ. අඳින්නට චීත්ත රෙද්ද, පිජාමා සරම ගන්නට පෝලිමේ සිටියහ. වෙන එකක් තබා පාන් ගෙඩිය ගන්නට පවා අපේ අම්මලා තාත්තලා, පුංචි අප පෝලිම්වල දුක් විඳි යුගයක් හාල් පොලූ, මිරිස් පොලූ දැමූ 77 ට පෙර යුගය තුළ මේ රටේ තිබූ බව අපට අමතක නැත.

මේ පෝලිම්වල අර්ථය කුමක් වුවත් පොලිම් නිසාම තිබුණු රජය පෙරළී ගොස් නව රජයක් 77 බලයට ආවේ පෝලිම් ක‍්‍රමය නැති කරන්නට ය. එහෙත් පෝලිම් නැති වී ගියේ නැත.

පසුගිය දිනවල අපි මුලින්ම වැක්සීන් පෝලිම් පස්සේ දිව්වේ මරබිය නිසා ය. ඊළඟට ඔන්න සීනි පෝලිම ආවේ වියතුන්ගේ වියත් වෙළහෙළඳාම්වලට පින්සිදු වන්නටය. සීනි පෝලිම පසුපස කිරිපිටි පෝලිම්ය. ඒ අස්සේ ඉන්ධන පෝලිම ද විය. ඊටත් පසු ගෑස් පෝලිම දිග්ගැස්සෙන්නට විය. ගෑස් පෝලිම ඉවර වූයේ නැත. ගෑස් පෝලිමේ දිග වැඩිකම නිසාම ඒ අස්සේ තවත් පෝලිමක් නිර්මාණය විය. ඒ භූමිතෙල් පෝලිම යි. අලූත්ම පෝලිම භූමිතෙල් පෝලිම යි. භූමිතෙල් වූ කලී කලකට පෙර අපේ රටේ අත්‍යවශ්‍යම ද්‍රව්‍යයක් විය. අපි පුංචි කාලයේ අපේ ගෙවල් එළිය වූයේ භූමිතෙල් අනුසාරයෙන් පත්තු කරපු චිමිනි ලාම්පු, පෙට්‍රෝල් ලාම්පු, ලන්තෑරුම් කුප්පි ලාම්පු ආදියෙනි. එකල ගම පුරා භූමිතෙල් බෙදන්නට ගොනුන් බැඳි භූමිතෙල් කරත්ත තිබුණා අපට මතකය. ජල විදුලි බල ව්‍යාපෘතිවල දියුණුවත් සමඟම රටපුරා විදුලි පද්ධති ඇදී යෑමත් සමඟම සෑම ගෙයකටම විදුලි බුබුළක් පත්තු වීමෙන් පසු භූමිතෙල් භාවිතාව ශීඝ‍්‍රයෙන් අඩු වී ගියේය. ඉන් පසුව භූමිතෙල් වැඩිපුර භාවිතා කළෝ නාගරික දුප්පත් ජනතාව භූමිතෙල් ලිප්වලට ය. එකල භූමිතෙල්වලින් පත්තු කෙරෙන ලිප් පොඩි පොඩි තේ කඩවල ද සුලභ දර්ශනයක් විය. ලොකු වීදුරු බෝතලයකට භූමිතෙල් පුරවා ලිප මැද අනිත් පැත්ත ගසා සිටුවා සවිකරන භූමිතෙල් ලිප ඔබට මතකද? ඒ බෝතලේ දෙපැත්තේම හොඳින් පත්තුවන ලිප් දෙකක් තිබේ. එදා සමහර හෝටල්වල තේ බොයිලේරුව නිරතුරුව රත්කෙරුණේ භූමිතෙල්වලිනි. ගෑස් භාවිතය ප‍්‍රචලිත වීමත් සමඟම භූමිතෙල් ලිප ද සමාජයෙන් ටික ටික වඳ වී යන ලැයිස්තුවට ඇතුළත් විය. එහෙත් ගෑස් ලිපකට වියදම් කළ නොහැකි ගෑස් මිල දී ගත නොහැකි සමහරක් නාගරික ජනතාව දිගින් දිගටම ලාම්පුතෙල් ලිප් භාවිතා කළහ. ආයෝජන කලාපවල ඇඟලූම් කම්හල් අවට කුඩා කුඩා කාමරවල චමරි පවත්වාගෙන යමින් ජීවත්වූ සන්නාලි ලියන්ට අදටත් භූමිතෙල් ලිප නැතුවම බැරි භාණ්ඩයක් ය.

ගෑස් ලිප් පුපුරා යෑමත් සමඟම බිය වූ නාගරික දුප්පත් පන්තිය වහා ගෑස් අතහැර දමා භූමිතෙල් ලිපට පුරුදු වූහ. කොළඹ නොව රටේ කොහේවත් භූමිතෙල් ලිපක් සොයාගත නොහැකි තත්ත්වයට ඒ අර්බුදය දරුණු විය. කෙසේ වෙතත් අප දන්නා කොළඹ නාගරිකය තුළ තට්ටු නිවාස වල පේළි ගෙවල්වල ජීවත්වන ජනී ජනයා ජීවත්වන්නට ආදායම් මාර්ග සරිකර ගන්නට නොගන්නා වීර්යයක් නැත.

පිරිමි කුලී වැඩට යති. සුළු සුළු වෙළෙඳාම්වලට හවුල් වෙති. ඉන් ලබන සොච්චම ජීවත්වන්නට මදි තැන ගෙවල්වල සිටින කාන්තාවෝ ද කුටුම්භ ආර්ථිකයට දායක වන්නට හැකි කුමක් හෝ දෙයක් කරති.

සමහරු ඉඳිආප්ප තම්බා පාර්සල් හදා කුඩා කුඩා කඩවලට යවති. තවත් අය කඩල තම්බති. වෙරළු අච්චාරු දමති, ඉරිඟු තම්බා විකුණති. කොළඹ නගරයේ කොටුව, කොල්ලූපිටිය, බම්බලපිටිය, ටවුන්හෝල් ආදී අලංකාර ජනාකීර්ණ නගරවල දක්නට අඩු වුවත් ඒ නගරවලින් එපිට දෙමටගොඩ, බොරැල්ල, කොස්ගස්හන්දිය, මරදාන, වනාතමුල්ල, ග‍්‍රෑන්ඞ්පාස්, බ්ලූමැන්ඩල්, හෙට්ටියාවත්ත, මාලිගාවත්ත, ස්ටේස්වත්ත. මරියකඬේ, පුංචි බොරැල්ල, ආමර්දීවිය, කොටහේන, ආදී කී නොකී ජනාකීර්ණ ප‍්‍රදේශවලට ගොස් බලන්න. ඒ සෑම තැන්හිම කාන්තාවෝ දිරිය මාතාවෝ ය. ගෙදර ආර්ථිකය සරි කර ගන්නට ඔවුන් නොකරන දෙයක් නැති තරම් ය. පාරේ සිට පාරේ යන එන අයට මක්‍ඳ්ෙක්‍ඳාක්කා පෙති බැද දෙමින්, වඬේ බැද දෙමින්, ඉරිඟු තම්බා දෙමින්, පැටිස්, රෝල්ස්, කට්ලට්ස්, සමෝසා බැද දෙමින් දුක් විඳින්නේ ජීවත් වන්නටය. ඒ හරුණු විට නිවෙස්වල සිටම බත් පාර්සල් හෝ ඉඳිආප්ප පාර්සල් සාදා දී විකුණා ජීවත්වන අය මේ ජනාකීර්ණ මිලියන් නගරය තුළ කොතෙක් ද?

අද මේ භූමිතෙල් පෝලිම්වල පැය හත අට පෝලිමේ ඉඳිමින් භූමිතෙල් ලීටර් 6 ක් ගන්නට යදින්නේ ඔවුන්ය. එදා මෙදා තුර ආණ්ඩු කළ මේ රටේ දේශපාලනඥයන්ට හෙණ ඉල්ලමින් ඔවුන් කියන නාගරික කුණුහරුප ලියන්නට තබා මතක තියාගන්නටත් නොහැකි තරම් ය. ප‍්‍රමාණවත් ආර්ථිකයක් නොමැති මහල් නිවාසවල ජීවත්වන මිනිසුන් එදාවේල සොයාගන්නේ ද ඉතාමත් අමාරුවෙනි. ඔවුනට දරලිප් තියාගැනීමට තැනක් නැත. ගෑස්වලින් රටම ගිනිගනිද්දී පිහිටට සිටියේ විදුලිය සහ භූමිතෙල් ය. නමුත් මේ වන විට විදුලිය කප්පාදුවත්, භූමිතෙල් මිල අහස උසට යෑමත් නිසා මිනිසුන්ගේ ජීවිතවලට කණකොකා හඬන්නට පටන්ගෙන ඇත. දියුණු යැයි පවසන සමාජය තුළ මෙවන් දසුන් දැකීමත් පුදුම සහගතය. මෙවන් පරිසරයක් තුළ ඔවුන්ගේ ජීවිත පොළොවට සමතලා වනතෙක් බලා සිටින පිරිසක් ද සිටීම කනගාටුවට කරුණකි. මේ සිද්ධිදාමය සමගින් පසුගිය 23 දින සුගතදාස ක‍්‍රීඩාංගණය අසල ඉන්ධන පිරවුම්හලේ භූමිතෙල් පෝලිමට එක්වූ පිරිස් මෙසේ අදහස් දක්වන්නට ඉදිරිපත් වූහ. භූමිතෙල් පෝලිමේ සිටි සෙනෙවිරත්න මහතා මෙසේ අදහස් දැක්වීය.

‘‘අපි පෝලිමේ ඉන්නේ උදේ ඉඳලා, දැන් පැය 3 ක් විතර වෙනවා.

ගෑස්වලින් උයාගෙන කන්න බැහැ. ගෑස් පුපුරනවා. භූමිතෙල් ටික ගන්න ආවත් ඒක දෙන්නෙත් නැහැ. අද දවසේ අපිට රස්සාව කරගන්නත් බැහැ. අපි එදාවේල හොයාගෙන කන මිනිස්සු. අපිම ඡුන්දෙ දීලා අපිම පරිප්පු කනවා. අපි බය නැහැ මේව කියන්න. මම ආවේ කොච්චිකඬේ ඉඳලා. ළඟපාත භූමිතෙල් තියෙනවානම් මෙතනට එන්නේ නැහැනේ. පොඩි දරුවො බඩගින්නේ. ඒවා බලාගෙන ඉන්නෙ කොහොමද. මොන දුක හරි උහුලන් ඉන්න වෙනවා.

මට්ටක්කුලියේ සිට පැමිණි ප‍්‍රියංගනී මහත්මිය ද මෙසේ අදහස් ප‍්‍රකාශ කළාය. ගෑස් ගෙනත් උයන්න බය නිසා භූමිතෙල් ගෙනියන්න ආවා. මේ පෝලිමේ ඉන්න ගොඩක් අයට සීනි, ප්‍රෙෂර් තියෙනවා. මේ අව්වේ හිටගෙන ඉඳලා සමහර අයට කලන්තෙත් හැදුණා. මේවා මාධ්‍යයට කිව්වත් වැඩක් වෙන්නේ නැහැ. ලොකු මිනිස්සුන්ට අපි විඳුන දුක තේරෙන්නේ නැහැ. අනිද්දා අපිට අවුරුදු. අවුරුදු කන්න අපට විදිහක් නැහැ. අපිට සල්ලිත් නැහැ. කොහොමත් අපිට ලංකාවක් නැහැ. මෙහෙම ගියොත් තව අවුරුදු දහයක් යනකොට අපේ ළමයින්ට රටක් ඉතුරුවෙන්නේ නැහැ. අපි එදිනෙදා රස්සාවල් කරන මිනිස්සු. අපේ ළමයි බඩගින්නෙ තියන්නේ කොහොමද? දහස් ගණන් පඩි ගන්න මිනිස්සුන්ට අපි විඳින දුක තේරෙන්නේ නැහැ. තුන්වේල කාලා හිටපු අපිට දැන් එක වේලයි කන්න වෙලා තියෙන්නේ. මේ අව්වේ හිටපුවහම අපි නිකන් මැරෙනවා. ඉදිරියේදී පෙට‍්‍රල් නැතිව යනවා කියනවා. ඞීසල් නැතිව යනවා කියනවා. මිනිස්සුන්ගේ දෛනික ජීවිතය එහෙමපිටින්ම කඩාවැටිලා. එදා සිරිමාවෝ මැතිනිය, ඉන්දිරා ගාන්ධිත් සමඟ එකතුවෙලා රට සංවර්ධනය කරන්න උත්සාහ කළා. අද කිසිම දේකින් මිනිස්සුන්ට සෙතක් නැහැ. මේ පෝලිමේ ඉන්න වැඩි පිරිසක් ලෙඞ්ඩු. හරියට කෑමක් බීමක් නැතිව අවිත් අව්වේ හිටගෙන ඉන්නකොට කලන්තෙ දාලා වැටෙනවා. බලන්න පොඩි දරුවොත් අරගෙන ඇවිත් විඳින දුක.

මෙම ස්ථානයට භූමිතෙල් ගැනීමට පැමිණි පුද්ගලයකු මෙසේ අදහස් එක්කළේය. අච්චාරුවක් හදාගෙන පාසල් ළඟ විකුණන මිනිසුන්ගෙන්, කීර, පලා ටිකක් විකුණාගෙන එදාවේල සරිකර ගන්නා අනන්ත අප‍්‍රමාණ දුක් විඳින මේ දුක්බර ජීවිතවල කඳුළු කතාව සීතල කාමරවල කැරකෙන පුටුවල සිටින මිනිසුන්ට නොදැනෙන්නේ මන්ද?. නාගරික යැයි පවසන දියුණු යැයි කියා ගන්නා මේ රට, මේ මහා සමාජය වගේම සමස්ත සමාජයම දෙස බලා අහස උසට නඟින තෙල් මිලෙහි අධික බර මිනිසුන්ගේ බඩට නොදැනෙන ලෙස කටයුතු කිරීම පාලකයන්ගේ යුතුකම සහ වගකීම වන්නේය.

සටහන සහ ඡායාරූප
සුජාතා ජයරත්න

advertistmentadvertistment
advertistmentadvertistment