එදා අවුරුදු දහයේ කොලුගැටයා අද රේගු නිලධාරියෙක්

230

අවුරුදු දහයේදී එල්.ටි.ටී.ඊ යෙන් බේරුණු ත්‍රාසජනක මතකය

කොටි දෙන්නෙක් ඇවිත් අම්මයි මමයි අල්ලගත්තා…

බැඳපු ගැට ලිහාගෙන අම්මා මාවත් අරන් ගමට පැනගත්තා…

ත්‍රස්තවාදීන් පැහැරගත් තාත්තා ආපහු අපේ ලෝකෙට ආවෙ පෙර කළ පිනකින්

“තාත්තා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ෂේත්‍ර නිලධාරියෙක් හැටියට වැඩකරපු නිසා අම්මාටත් මටත් තාත්තා එක්ක තාත්තා වැඩකරපු ප්‍රදේශවලට යන්න සිද්ධ වුණා. ඒකෙන් අපි ලොකු ආශ්වාදයක්, අත්දැකීමක් ලැබුවා. අම්මා ගුරුවරියක් නිසා මට පාසල් යන්න උනෙත් අම්මා උගන්වපු ඉස්කෝලවලටමයි. අපි පළමුවෙන්ම නතර වෙලා හිටියෙ අනුරාධපුරේ මහවිලච්චියේ. ඒක විල්පත්තුවේ නැගෙනහිර මායිමේ පිහිටි ගමක්. තාත්තා මහවිලච්චිය අඩවිය භාර වන ජීවී නිලධාරියා ලෙස කටයුතු කළා. අම්මා මහවිලච්චිය සිද්ධාර්ථ මහා විද්‍යාලයේ වැඩ කළා. මොකද ඒ කාලේ ගුරුවරුන් අනිවාර්යයෙන් දුෂ්කර සේවයක් කරන්න ඕන. ඉතින් අරණායක දිප්පිටිය රාජගිරි මහා විද්‍යාලයේ වැඩකරපු අම්මා තාත්තා ඉන්න නිසාම විලච්චියේ දුෂ්කර සේවයට ගියා. මමත් ඒ කාලේ හෙම්මාතගම නගරගිරි මහා විද්‍යාලයේ 2 ශ්‍රේණියේ ඉගෙන ගනිමින් හිටියේ. මමත් අම්මත් එක්ක විලච්චියට ගිහින් විලච්චිය සිද්ධාර්ථ විද්‍යාලයේ 2 ශ්‍රේණියට ඇතුල්වෙලා ඉගෙන ගනිමින් හිටියා. නමුත්, විලච්චිය වන ජීවී කාර්යාලයට නොසිතූ ප්‍රශ්නයකට ඒ දවස්වල මුහුණ දෙන්න සිදුවුණා. විලච්චිය ගමේ දඩයක්කාරයෙක්ට වන ජීවී නිලධාරීන් අතින් විල්පත්තුව වනෝද්‍යානය ඇතුලෙදි වෙඩි වැදී දඩයක්කාරයා මැරුණා. මුළු ගමම මේ සිද්ධියට ඇවිළුණා. ගම්මු වන ජීවී නිලධාරීන්ට විරුද්ධව නැගිට්ටා. නිලධාරීන්ට පහර දුන්නා. තාත්තා විලච්චිය කාර්යාලයේ ”ඉන්චාර්ජ්” නිසා තාත්තා තමයි එයාලගේ ප්‍රධාන තරහකාරයා බවට පත් උනේ. මේ නිසා අම්මයි, මටයි දෙන්නටත් නොයෙක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ උණා. අම්මයි, මමයි ඉස්කෝලෙට යන බස් එක පවා නවත්වලා ගම්මු අපිව හොයන්න පටන් ගත්තා. මේ අනතුර නිසාම තාත්තා හුණුවිලගම පිහිටි විල්පත්තු උද්‍යාන මූලස්ථානයට මාරුවක් හදාගත්තා. ඊට පස්සේ අපේ නව නිවහන වුණේ උද්‍යාන මූලස්ථානයේ තාත්තාට හිමිවුණු නිල නිවස. අම්මයි, මමයි ඊට පස්සෙ නොච්චියාගම විද්‍යාදර්ශ විද්‍යාලයට යන්න පටන් ගත්තා. ඔහොම තමයි අපි කෑගල්ලෙන් විල්පත්තුවට ආවේ.”

එදා අවුරුදු දහයේ කොලුගැටයා අද රේගු නිලධාරියෙක්
පියා එවකට විල්පත්තු ජාතික වනෝද්‍යාන පිවිසුම ඉදිරිපිට.

මේ කතාවේ කතානායකයා වන වත්මන් සහකාර රේගු අධිකාරි දර්ශක වීරසේකර මහතා අතීතය පැහැදිලි කරමින් කතාව ආරම්භ කරයි. දර්ශක වීරසේකර මේ කියන කාලයේදී 10 හැවිරිදි දරුවෙකි. ඔහු ඒ කාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි අතර, දර්ශකගේ අම්මා, නොච්චියාගම විද්‍යාදර්ශ විද්‍යාලයේ ගුරුවරියක ලෙස සේවය කරමින් සිටියාය. කාලය හරියටම කියන්නේ නම්, ඒ 1985 වසරයි. අවුරුදු මාසය අවසන්වී එළැඹි වෙසක් මාසය විලච්චිය, නොච්චියාගම පමණක් නොව, සමස්ත රජරටම වෙසක් සිරියෙන් ඇලළී තිබිණි.

එදා අවුරුදු දහයේ කොලුගැටයා අද රේගු නිලධාරියෙක්
පියා ඒබ්‍රහම් වීරසේකර

මේ අතර මේ කාලයේම රජරටට මැලේරියා රෝගය, නොහොත් කැලෑ උණ රෝගයෙන්ද අඩුවක් තිබුණේ නැත. අපේ කතානායක දර්ශක දරුවා පමණක් නොව, ඔහුගේ පියා වන ජීවී අඩවි ආරක්ෂක නිලධාරී ඒබ්‍රහම් වීරසේකර ද මැලේරියා රෝගයෙන් පීඩා විඳි අතර, දර්ශක කියන මේ දිනයේ ඔහුත් තාත්තාත් දරුණු ලෙස මැලේරියාවට ගොදුරු වී සිටියහ. මේ නිසා දර්ශක එදින පාසල් ගියේ නැත. අම්මාත් එදින පාසල් නොගියේ දර්ශකගේත්, තම ස්වාමියා ඒබ්‍රහම් වීරසේකරගේත් සාත්තුවට ගෙදර නැවතීම වඩා හොඳ බව සිතූ නිසාය.

“මම දන්න තරමට තාත්තා තමයි ඒ දවස්වල විල්පත්තු උද්‍යානයේ වැඩබලන පාලකයා හැටියට හිටියේ. මොකද පාලකතුමා නිවාඩු ගිහිල්ලා හිටියේ. තාත්තාට මැලේරියාව හැදිලා තිබුණත් රාජකාරි හිටියේ. උදෙන්ම තාත්තාට කෝල් එකක් ඇවිල්ලා ඇඳගෙන හිටපු සරම පිටින්ම නිල නිවාසෙ ඉඳල එතනම තියන උද්‍යාන කාර්යාලයට ගියා. වෙලාව උදේ 8.30ට විතර ඇති. අම්මත් මාත් නිල නිවාසේ එළියේ පඩිය ළඟ ඉඳගෙන හිටියෙ. අම්මා මාව ළඟින් තියාගෙන ඉඳගෙන ඉන්නවා. එතකොටම අපි දැක්කා “ජර්නියක්” වගේ පොඩි බස් එකක් උද්‍යාන ගේට්ටුවෙන් ඇතුළට එනවා. ඒ එනකොටම හමුදාවේ වගේ ඇඳුම් ඇඳල, තුවක්කු ගත්ත දෙන්නෙක් අපේ ගේ පැත්තට කලබලයෙන් වගේ ඇවිත් අපිව අල්ලා ගත්තා. අල්ලාගෙන ගේ ඇතුළට ගෙනිහින් පුටු දෙකක වාඩි කරවල අම්මගෙයි මගෙයි අත් පිටිපස්සට තියල බෙඩ් ෂීට් දෙකකින් බැන්දා. බැඳලා ගෙයින් හනික පිටවෙලා කාර්යාලය පැත්තට ගියා. මට එතකොට අවුරුදු 10 යි නෙ වයස. තේරෙනවා ටිකක් අඩුයි.”

එදා අවුරුදු දහයේ කොලුගැටයා අද රේගු නිලධාරියෙක්
දර්ශක අම්මා අත්අඩංගුවට පත් නිල නිවස

දර්ශක මේ කතාව කියන්නේ ඔවුන් එදා පදිංචිව සිටි විල්පත්තුව උද්‍යානයේ නිල නිවස ඉදිරිපසට මා කැඳවාගෙන ගොස් ඒ ඉදිරිපස සිටගෙනය. එම නිවස කොටස් දෙකකින් සමන්විත වූවකි. දකුණු පස කොටසේ නිට්ටඹුවෙ පත්තලගෙදර පැත්තේ ගෙදර පිහිටා තිබුණු තවත් වන ජීවී නිලධාරියකු වන ගුණවර්ධන මහතා පදිංචිව සිට ඇත. දර්ශක සහ අම්මා, තාත්තා පදිංචිව සිට ඇත්තේ මේ ”කපල්” ගෙදර වම් පස නිවසේය. දර්ශකටත්, අම්මාටත් ඉහත සිදුවීම සිදුවන විට කාර්යාලයට ගොස් සිටි තාත්තා ඒ බව දැන සිටියේ නැත. එසේම, මේ වන විට තාත්තා, වැඩ බලන උද්‍යාන පාලක ඒබ්‍රහම් රැය පහන් කළ ඇඳුම පිටින්ම තවත් කරදරයක වැටී ඇති බව දර්ශක හෝ අම්මා ද දැන සිටියේ නැත. ඇත්තටම මේ වන විටත් ඒබ්‍රහම් තවත් නාඳුනන තුවක්කුකරුවන් පිරිසකගේ අත්අඩංගුවට පත්ව තිබුණේ තවත් වන ජීවී නිලධාරීන් හා උද්‍යානයේ සෆාරි ජීප් රථ රියදුරන් ලෙස සේවය කළ තවත් 9 දෙනකුද සමගිනි. ඒ අතර දර්ශකලාගේ “කපල්” නිවාසයේ අනික් පස සිටි අසල්වැසියා ද විය.

එදා අවුරුදු දහයේ කොලුගැටයා අද රේගු නිලධාරියෙක්

මේ අප කතාකරන දිනය 1985 මැයි මස 14 වැනිදාය. මීට හරියටම වසර 38 කට පෙර ඉතාම ඛේදනීය සිද්ධියකට මුහුණ දෙන්නට විල්පත්තුව ජාතික උද්‍යානයට හා එහි කාර්ය මණ්ඩලයට සිදුවූයේ මෙදිනය. එනම්, 1985 මැයි මස 14 වැනිදා අලුයම පුත්තලමට ඔබ්බෙන් වනාතවිල්ලුව ප්‍රදේශයෙන් පුත්තලම ඩිපෝවට අයත් සී ටී බී බස් රථයක් පැහැර ගත් එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් එහි ගමන් කර අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ අසල සිටි බැතිමතුන්ට අමානුෂික ප්‍රහාරයක් එල්ල කර, ආපසු පැන යන අතරේ නොච්චියාගමින් හුණුවිලගම හරහා ගොස් විල්පත්තුව ජාතික උද්‍යානයේ සේවයේ නියුතු වූ වන ජීවී නිලධාරීන් 24 දෙනෙක් මරාදැම්මේ මෙදිනය.

ඉතා ඛේදනීය හා නින්දිත ප්‍රහාරයක් වූ මෙහිදී උද්‍යාන මූලස්ථානයේ එදා සේවයේ නියුතු වූ නිලධාරීන්, සෆාරි ජීප් රථකරුවන් ඇතුළු 09 දෙනෙක් ඝාතනය කරන ලද අතර, උද්‍යාන මූලස්ථානයේ සිට කිලෝමීටර් 9 ක් දුරින් පිහිටි මරදන්මඩුව ප්‍රදේශයේ මාර්ග තැනීමේ කාර්යයේ යෙදී සිටි වන ජීවී කම්කරුවන් 14 දෙනෙක් හා මුහුදු ඉමේ පිහිටි පූකුලම ප්‍රදේශයේදී තමන්ට මාර්ගය පෙන්වීමට ගිය වන ජීවී නිලධාරියකු ඇතුළු 24 දෙනකු මරණයට පත් කළහ.

එනම්, අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි පුදබිමට හා විල්පත්තුව ජාතික උද්‍යානයට එකම දිනකදී එල්ලවූ ත්‍රස්තවාදී ප්‍රහාරයකින් බැතිමතුන් හා වන ජීවී නිලධාරීන් ඇතුළු 153 දෙනකු මිය ගොස් තවත් 316 දෙනකු තුවාල ලබන්නේ මීට වසර 38 කට පෙර 1985 මැයි 14 වැනිදාය. ඉකුත් 14 වැනි ඉරිදා දිනයට මෙම ඛේදජනක සිද්ධියේ, එම ම්ලේච්ඡ ප්‍රහාරයේ මතකයට වසර 38 ක් සපිරිණි. එම මතකය අවධි කරමින් සැමරුම් උත්සවයක් ඉකුත් 14 වැනි ඉරුදින විල්පත්තු ජාතික උද්‍යාන මූලස්ථානයේදී පැවත්වූයේ එම සිද්ධියේදී මියගිය වනජීවී නිලදරුවන් 24 දෙනකු සිහිපත් කර ඔවුන්ට පින් අනුමෝදන් කරනු සඳහාය.

මෙසේ අවාසනාවන්ත ලෙස මිය ගිය පිරිසට පිං අනුමෝදන් කර, එම දුක් බර සිද්ධිය සිහිපත් කිරීමත්, සිද්ධියේදී ඉතා අසීරුවෙන් දිවි ගලවාගත් පිරිසට සෙත් ශාන්තිය පුදකිරීම සඳහාත් වත්මන් උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා විසින් සැමරුම් උත්සවයක් සැමරුම් දිනයේදී සංවිධානයක කර තිබිණි.

එදා අවුරුදු දහයේ කොලුගැටයා අද රේගු නිලධාරියෙක්
විල්පත්තු ප්‍රහාරයේ මතක හේමපාල, දර්ශක, අබේවර්ධන ග්‍රාම නිලධාරි මහතා

මේ අනුව උද්‍යාන මූලස්ථාන කාර්යාලයේදී සියයකට වැඩි පිරිසකගේ දායකත්වයෙන් ලේ දන්දීමේ පින්කමක් සංවිධානය කර තිබිණි. සෑම රුධිරය පරිත්‍යාගකරුවකු සඳහාම කිරි වීදුරුවක්, දිවා ආහාරය හා වටිනා පලතුරු පැළයක් බැගින් මෙහිදී බෙදා දෙන ලදී. දිවා ආහාරය සඳහා දායකත්වය ලබාදී තිබුණේ 1985 දී උද්‍යානයට ත්‍රස්තවාදී ප්‍රහාරය එල්ලවූ මොහොතේ 10 හැවිරිදි දරුවකුව සිට උද්‍යාන කාර්යමණ්ඩල නිවහනක් තුළදී තම අම්මා සමග ත්‍රස්තවාදීන්ගේ අත්අඩංගුවට පත්ව අසීරුවෙන් දිවි ගලවාගත් වත්මන් රේගු නිලධාරියකු වන දර්ශක වීරසේකර මහතා විසිනි. නොහොත් අපගේ මෙම කතානායකයා විසිනි.

දර්ශක වීරසේකර සහ මරදන්මඩුව ප්‍රහාරයේදී දරුණු ලෙස වෙඩි වැදී ජීවිතය ගලවා ගත් වන ජීවී නියාමක (විශ්‍රාම) හේමපාලගේ සහභාගිත්වයෙන් තවත් ආගමික උත්සවයක් උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා සහ කාර්ය මණ්ඩලය විසින් මරදන්මඩුවේදී සංවිධානය කර තිබිණි. 1985 ප්‍රහාරයේදී ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යන ලද අවස්ථාවේදී මරදන්මඩුව වැවට පැන අසීරුවෙන් දිවි ගලවා ගත් එවක වැඩබලන උද්‍යාන පාලකව සිට පසුව දිවංගත ඒබ්‍රහම් වීරසේකර මහතා (දර්ශක වීරසේකර මහතාගේ පියාණන්) සහ මියගිය පිරිස සිහිකර අටපිරිකර පූජාවක්ද මෙහිදී සිදුකෙරිණි. මෙම විල්පත්තු පිංකම සඳහා සහභාගී වන්නට ලියුම්කරුට ආරාධනය කරන ලද්දේ 1985 දී සිදුවූ මෙම අවාසනාවන්ත ප්‍රහාරයේදී වයස අවුරුදු 10 දී ත්‍රස්තවාදී අත්අඩංගුවට පත්ව එදා අසීරුවෙන් දිවි ගලවාගත් අපේ කතානායකවර දර්ශක වීරසේකර විසිනි.

එදා අවුරුදු දහයේ කොලුගැටයා අද රේගු නිලධාරියෙක්
කුඩා දර්ශක මව සහ පියා සමග

ඒ ගිය ගමනේදී දර්ශක වසර 38 කට පෙර තම මතකය අවදි කළේ එදා තමන් පදිංචිව සිටි ඒ නිවස ඉදිරිපිට සිට ලියුම්කරුට ඒ අවාසනාවන්ත සිදුවීම ස්මරණය කරමිනි.

“අපි තාත්තා ගැන එදා ඒ වෙනකොට මොකුත් දන්නේ නෑ මටත් මේ මොකක්ද වෙන්නේ කියල අවබෝධයක් නෑ. නමුත් අම්මාට ක්ෂණයෙන් මොකක් හරි තේරුණා මේ ත්‍රස්තවාදීන් කියල. අපිව බැඳලා දාල තුවක්කුකාරයෝ දෙන්නා කාර්යාලය පැත්තට යනකොටම අම්මා කොහොම හරි එයාව බැඳලා තිබුණු බෙඩ් ෂීට් ගැටේ ලිහාගත්තා. ඒ ක්ෂණයෙන් මගේ ගැටයත් ලිහල අම්මා මාවත් ඇදගෙන හිමින් කුස්සියේ දොරෙන් එළියට පැනගෙන, පිළිකන්නෙන් ගිහින් එතනම තියන උද්‍යානයේ කම්බි වැටෙන් රිංගල ගමට යන පාර දිගේ ගම පැත්තට දිව්වා. ඒ දුවනකොට අපිට රතිඤ්ඤා වැලක් පත්තු කරනවා වගේ සද්දයක් ඇහුණා. අපි දන්නේ නෑ මොනවා වුණාද කියල. දුවගෙන ගිහින් නතර වුණේ ගමේ ගෙවල් මණ්ඩියේ.” දර්ශක බිහිසුණු සිදුවීමක් මට කියන්නේ සැබැවින්ම ඒ කියන දිනයටම තමන්ගේ මතකය ගෙන යමින් බව මට හැඟේ. ඒ බව ඔහුගේ දෑස් තුළින් කදිමට මට පිළිබිඹු වේ.

එසේම, වරක් මේ බිහිසුණු සිද්ධියේ කතාව මට පෙර මීට ප්‍රතිවිරුද්ධ පසින් අපගේ පුවත් පතට විස්තර කළ, අද ජීවතුන් අතර නැති, එහෙත් සිද්ධියට දරුණු ලෙස මුහුණ දුන් දර්ශකගේ පියා ඒබ්‍රහම් මහතා විස්තර කළ අයුරු මේ මොහොතේ මැවී පෙනේ. එදා ඒබ්‍රහම් මහතා ඔහු සහ ඔහුගේ පවුල මුහුණ දුන් මේ බිහිසුණු සිද්ධිය විස්තර කළේ ඔහු විශ්‍රාම සුවයෙන් ගත කළ කෑගල්ලේ පිහිටි නිවසේදීය. එදින ඔහුගේ කතාව අසන්නට ඔහුගේ නිවසට ගිය ගමනේදී පුතා දර්ශක අපට පළමුව මුණගැසෙන අතර, එදා ඇතිවූ මිතුදම අදත් ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නේය. වන ජීවී එකේ කුමන හෝ වැදගත් දෙයක් ඇතොත් දර්ශක ඒ බව මට සිහිපත් කරන අතර, විල්පත්තු ප්‍රහාරයේ 38 වැනි සැමරුම මට කියන්නේද ඒ අනුවය.

එදා අවුරුදු දහයේ කොලුගැටයා අද රේගු නිලධාරියෙක්
භාර්‍යාව (චාමිලා අබේසිංහ ) සහ දියනිය (සතිනි යශෝධ්‍යා) සමග

දර්ශකගේ පියා මෙන්ම, මවත් දැන් ජීවතුන් අතර නැත. පවුලේ එකම දරුවා වන ඔහුට දැන් සිටින සමීපතමයින් අතර, මමද එකෙකු යැයි මට සිතේ. එදා මේ අමිහිරි සිදුවීමේදී දර්ශකගේ පියා එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් පැහැරගෙන යනු ලබන අතර, එසේ කිලෝමීටර් 09 ක් යන විට හමුවන මරදන්මඩුවේදී තවත් නිලධාරීන් 14 ක් ඝාතනය වන තැනදී ඒබ්‍රහම් දිවිගලවා ගන්නේ පූරුවේ කළ පින් මහිමයකිනි. එනම්, මරදන්මඩුවේ කළ ඝාතනය අවස්ථාවේදී හමුදා හෙලිකොප්ටර් දෙකක් පැමිණීමෙන් ත්‍රස්තවාදීන් “ඩවුන්” ගිය අවස්ථාවේ කල් යල් බලා ඒබ්‍රහම් අසල පිහිටි මරදන්මඩුව වැවට පැන පන් ගාලක සැඟවෙන අතර, ත්‍රස්ත අවදානම පහව ගිය පසු පාගමනින් කැලෙන් කැලෙන් පැමිණ පස්වරුවේ උද්‍යාන මූලස්ථානය වෙත ළඟාවෙන්නේ මිතුරු සේනාංක විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් තමන්ගේ තවත් සගයකු දිවි දෙන පසුබිමකය.

“එදා අම්මයි, මමයි අසරණ වෙලා හිටියේ. තාත්තාට මොකක් වෙලාද අපි දන්නේ නෑ. එයා පැහැර ගත් බව අපි දන්නේ නෑ. මරපු අය අතර තාත්තාගේ “බොඩි” එකත් නෑ තාත්තා වාහනේ දාගෙන කැලේට අරන් ගියා කියල කට්ටිය කිව්වා. තාත්තාගෙ මිනිය වත් හොයාගන්න වෙන්නෙ නෑ කියලා අම්මා අඬද්දි මම අම්මට කිව්වෙ අම්මේ බය වෙන්න එපා තාත්තා එයි කියලයි. ඒ වෙනකොට දන්න කියන කිසිම කෙනෙක් නැතුව අසරණ වෙලා හිටිය අම්මයි මාවයි ගමේ පුස්තකාලය තිබුණු ගෙදරට එක්කන් ගිහින් හිටියේ. ගොඩක් අය එහෙ හිටියා. මේ ඉන්න අබේවර්ධන මාමට එතකොට වයස අවුරුදු 25 ක් විතර ඇති. එයාල තමයි අපි බලාගත්තෙ, කන්න දුන්නෙ. දර්ශක අබේවර්ධන අය්යා පෙන්වමින් කියයි. අබේවර්ධන අයියා පසුව ගමේ ග්‍රාම නිලධාරීවරයා ලෙස පත්වීම් ලැබුවේය. පසුව නොච්චියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පරිපාලන ග්‍රාම නිලධාරිවරයා ලෙස උසස් වීම ලැබූ ඔහු දැන් විශ්‍රාම ලබා ඇති අතර, ගොවිතැනට අමතරව, හුණුවිලගම ග්‍රාමයේ කුඩා “ගෙස්ට් හවුස්” එකක්ද පවත්වාගෙන යන්නේය. මෙවර විල්පත්තු ප්‍රහාරයේ සංවත්සර සැමරුම දිනයේදී ලේ දන්දුන් පරිත්‍යාගශීලීන් සඳහා දිවා ආහාරය සැකසුවේ ද ඔහුගේ නිවසේය. ඔහුගේ මහගෙදර එදා දර්ශක ඇතුළු ගම්වාසීන්ට රැකවල් දුන් ස්ථානය විය. අපි විලපත්තු ගිය මේ සංචාරයේදී දර්ශක සහ අම්මාට එදා රැකවල් දුන් ඒ නිවස බලන්නට ද අපි අමතක නොකළෙමු. ඒ ගිය ගමනේදී මහගෙදර පදිංචි අබේවර්ධන මහතාගේ සොයුරිය අවුරුදු 38 කට පසු දුටු දර්ශක දැක ඒ අතීත මතකය අවදි කළේ නෙතට කඳුළු බිඳු නන්වාගෙනය.

එදා අවුරුදු දහයේ කොලුගැටයා අද රේගු නිලධාරියෙක්
දර්ශක රේගුවෙදී ඇත්දළ තොගයක් විමර්ශනය කරමින්

“එදා හවස් වෙනකම්ම අපිට තාත්තා ගැන හරි ආරංචියක් තිබුණේ නෑ. අම්මා ඇඬූ කඳුළින් දවසම හිටියේ තාත්තා නැති නිසා. මටත් උහුලගන්න බැරි දුකක් තිබුණේ. ඔහොම ඉන්නකොට අපිට ආරංචි උනා තාත්තා හවස උද්‍යාන කාර්යාලය ගාවට ඇවිත් කියල. ඊට පස්සෙ තමා අපි ආපහු එකතු වුණේ. අපි වගේම, තාත්තා ත්‍රස්තවාදීන්ගෙන් බේරුණේ පූරුවේ කළ පිනකට. අපි කාටවත් කරදරයක් උනේ නෑ. ඒත් අපි නිතර දකින, හැමදාම ආශ්‍රය කරපු අය තමයි එදා මැරුණු වැඩි හරියක්. ඒ ගැන මට අදටත් දුකක් තියනවා. මරණයෙන් බේරුණු මේ සිදුවීම කවදාවත් මට අමතක කරන්න බැහැ. ඒ වගේම විල්පත්තුව උද්‍යානයත් මට අමතක වෙන්නේ නෑ” දර්ශක වීරසේකර කියයි. ඔහු කලක් රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේද සේවය කළේය. එසේ සේවය කරන අවධියේ අප්‍රිකාවේ සිට හොංකොං බලා ගෙන ගිය අප්‍රිකානු ඇතුන් මරා ලබාගත් ඇත්දළ කන්ටේනර් ගණනාවක් අල්ලා ගත් සහ ඒ පිළිබඳව විමර්ෂණය කළ නිලධාරියා විය. තවමත් ඔහු රේගුවේ සේවය කරන කීර්තිමත් නිලධාරියෙකි.

ඡායාරූප සහ සටහන –
ජගත් කණහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment