එදා උදෑසන  මියගිය දියණිය මට දුරකථනයෙන්  කථා කළා  – මියගිය ගැබිනි මවගේ මව සාක්ෂිදෙමින් කියයි

763

කාර් රථයට මගේ දුව ගොඩ වුණා. අපි බස් රථයෙන් ගියා. මේ අය නැති නිසා දුරකථන ඇමතුම් ගත්තත් ඒවා වැඩකළේ නැහැ.

මියගිය දැරියගේ පියා සාක්ෂිදෙමින් කියයි

මකුළුව දුම්රිය හරස් මාර්ගයේදී මියගිය ගැබිනියගේ හා ළදැරියගේ මරණ පරීක්ෂණය


“පැතුම්ගේ නංගිගේ විවාහය ලියාපදිංචිකිරීම කලුවැල්ල පල්ලියේ තියෙනවා. උත්සවය තියෙන්නේ කොළඹ. මංගල උත්සවයට සහභාගිවීම සඳහා හවස කොළඹ යන බව එදින උදෑසන මියගිය දියණිය මට දුරකථනයෙන් කථා කොට කිවා…”යැයි ගාල්ල මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේදී මාතර සිටි වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියේ කාර් රථයක් ගැටීමෙන් වූ අනතුරකින් මියගිය නමමස් ගැබිනි මවකගේ හා අටහැවිරිදි දියණියගේ හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් හෙම්බතන්ත්‍රිගේ සුදිරා විලාස්මි (55) නමැත්තිය එසේ කීවාය. මියගොස් ඇත්තේ කාර් රථයේ ගමන්කරමින් සිටි අතුරුලිය ලියනආරච්චිගේ ෂාඩිලා හංසි (29) නැමති ලකී විජේරත්න ගම, උඩුගම පාර මකුළුව යන ප්‍රදේශයේ පදිංචිව සිටි ගැබිනි මව සහ කිරිවත්තුඩුව හෝමාගම පදිංචි නුවන්න්‍යා උත්සරි දිසානායක (08) නැමති අටහැවිරිදි දියණියයි. ගාල්ල මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේ අනතුරු ඇඟවීමේ සංඥා දැල්වෙමින් තිබියදී කාර් රථයක් දුම්රිය හරස් මාර්ගය හරහා ධාවනය කිරීමේදී මාතර සිට වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ මෙම අනතුර වී ඇත.

කාර් රථය පදවා ඇත්තේ මියගිය ගැබිනි මවගේ සැමියා බව හදිසි මරණ පරීක්ෂණ සාක්ෂි විභාගයේදී අනාවරණය විය. ගාල්ල කලුවැල්ල පල්ලියේ තිබූ විවාහය ලියාපදිංචි කිරීමේ අවස්ථාවට සහභාගි වී යමින් සිටියදී මෙම අනතුර වී ඇත. කාර් රථයේ ගමන්ගත් පස්දෙනෙකු බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබති.

මියගිය ගැබිනි මවගේ හා අට හැවිරිදි දියණියගේ හදිසි මරණ පරීක්ෂණ ගාල්ල නාගරික හදිසි මරණ පරීක්ෂක මහේෂ් ධර්මරත්න මහතා විසින් ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේදී 18දා පස්වරුවේදී සිදුකරණු ලැබීය. එහිදී සාක්ෂිකාරිය තවදුරටත් සාක්ෂිදෙමින් මෙසේද කීවාය.

“මියගොස් සිටින්නේ මගේ තුන්වැනි දියණියයි. ඇය නම මස් ගැබිනියක්. මට පුතෙකු හා දියණියන් දෙදෙනෙකු ඉන්නවා. ඔවුන් විවාහකයි. විවාහවී වෙනම පදිංචි වෙලා ඉන්නවා. මා හිනටිගල තල්පේ ප්‍රදේශයේ පදිංචිව සිටිනවා. මියගිය දියණිය විවාහවී මහත්තයාගේ නිවසේ හිටියා. ඔහු කොන්ත්‍රාත් වැඩ කළා. ඔහුගේ නම උදාර පැතුම්. පැතුම්ගේ නංගිගේ විවාහය ලියාපදිංචි කිරීම කලුවැල්ල පල්ලියේ තියෙන බව දියණිය එදින උදෑසන මට කථා කරලා කිව්වා. පල්ලියේ ඉන්න විටත් මට දියණිය කථා කළා. විවාහය ලියාපදංචි කිරීමේ කටයුතුවලට සහභාගිවෙලා හවස උත්සවයට කොළඹ යන්න එනවිට මකුළුව ගංගාරාම දුම්රිය හරස් මාර්ගයේදී මොවුන් ගමන් කරමින් සිටි කාර් රථය දුම්රියේ ගැටී ඇති බව දැන ගත්තා…” යැයි ඇය කීවාය. මියගිය දැරියගේ පියා වන කිරිවත්තුඩුව හෝමාගම පදිංචි ප්‍රදිප් කුමාර දිසානායක (36) නැමැත්තා මරණ පරීක්ෂණයේදී සාක්ෂිදෙමින් මෙසේ කීවේය.

“මියගොස් ඇත්තේ මගේ දියණියයි. ඇය හෝමාගම ජනාධිපති විද්‍යාලයේ හතර වසරේ ඉගෙනුම ලබනවා. මා දැනට යුධ හමුදාවේ සේවය කරනවා. මගේ බිරිඳගේ නිවස තියෙන්නේ ගාල්ලේ මකුළුවේ. ඇයගේ මව හා තාත්තා ඉන්නවා. බිරිඳගේ නංගිගේ විවාහය ලියාපදිංචි කිරීමේ උත්සවයට සහභාගිවීම සඳහා අපි ගාල්ලට ආවා. පවුලේ ඥාතීන් කිහිප දෙනෙකු සමග කුඩා බස් රථයකින් තමයි ගාලු‍ ආවේ. ගාල්ල කළුවැල්ල ක්‍රිස්තියානි පල්ලියේ තමයි විවාහය ලියාපදිංචි කිරීමේ කටයුතු සිදුකළේ. පසුව අපි මගේ බිරිඳගේ

නිවසට යෑමට පිටත් වුණා. පවුලේ ඥාතියකු වන පැතුම් කාර් රථයකින් ඇවිත් හිටියා. එම කාර් රථයට මගේ දුව ගොඩ වුණා. අපි බස් රථයෙන් බිරිඳගේ නිවසට ගියා. මේ අය කෑම වගයක් ගන්න කියලා නතර වුණා. මේ අය නැති නිසා අපි සොයා බැලුවා. දුරකථන ඇමතුම් ගත්තත් ඒවා වැඩකළේ නැහැ. පසුව දැන ගත්තා ඔවුන් අනතුරකට ලක්වෙලා තියෙනවා කියලා. අපි අනතුර වූ ස්ථානයට ආවා. තුවාලකරුවන් කරාපිටියට රැගෙන ගොස් තිබුණා. අනතුරට අදාළ කාර් රථය පදවාගෙන ගොස් තිබුණේ පැතුම්. මෙම අනතුරෙන් ඔහුගේ බිරිඳත් මියගියා. ඇය මාස නමයක ගැබිනියක්…” බවද ඔහු කීවේය.

පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි අනුරුද්ධ උහන්ඕවිට මහතා විසින් සිදුකරනු ලැබීය. ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලටගත් මරණ පරීක්ෂකවරයා ගැබිනි මව හා කුස තුළ සිටි දරුවා මවගේ උදරයට වූ බුහුවිද තුවාල නිසා ලේ වහනය වීමෙන් මරණය සිදුවී ඇති බවට තීන්දු කළ අතර අට හැවිරිදි දියණියගේ හිස්කබලට වූ තුවාල නිසා මරණය සිදුව ඇති බවට තීන්දු කළේය.

ලලිත් චාමින්ද සහ එස්.කේ. කළුආරච්චි ගාල්ල හිනිදුම රවින්ද්‍රචන්ද්‍රලාල්

advertistmentadvertistment
advertistmentadvertistment