එදා තත්ත්වයෙන් අද අභියෝග ජයගන්න බැහැ! ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යමයි

261
– ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන්

විසන්ධි නොකර ඉන්න නම් බරපතළ තීරණ ගන්න වෙනවා….
මාෆියාවට මුහුණදෙන්න අපි සූදානම්….

මේ බලශක්තිය සම්බන්ධයෙන් ජාතික සංග්‍රාමයක් සඳහා යායුතු අවස්ථාවයි. ඒ සඳහා ප්‍රමුඛ කාර්යභාරයක් පැවරී ඇති ලංකා විදුලිබල මණ්ඩලය ඒ සම්බන්ධයෙන් සූදානම් වන්නේ කෙසේද…? තවමත් විසඳී නැති, සිරිත් පරිදි විසන්ධි වන විදුලි බලයේ සිට ජාතික විදුලි ජනන සැලසුම දක්වා පරාසය විහිදී ඇති විදුලි බල මණ්ඩලයේ වපසරිය පිළිබඳව ‘දිවයින ඉරිදා සංග්‍රහය’ සඳහා සාකච්ඡාවට සම්බන්ධ වන්නේ ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් මහතාය.

ප්‍රශ්නය – විදුලිබල මණ්ඩලය කියූ සැනින්, ජනතාව අහන්නේ “ලයිට් කපන එක නතර කරන්නේ කවදද…?” කියන එක. ඇත්තටම ජනතාවට විදුලිය දෙන්න ඕන ආයතනයකට, විදුලිය විසන්ධි කරන්න සිදුවුණේ ඇයි?

පිළිතුර – රටක බලශක්තිය සඳහා පදනම වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමයි. අපේ රටේ ඒක ඇතිවෙලා තියෙනවා ද කියන එක ප්‍රශ්නාර්ථයක්. 2013 වසරෙන් පසු, බේස් පවර් ප්ලාන්ට් එකක් අපේ රටේ ඇති වුණේ නැහැ. නොරොච්චෝලේ බලාගාරය ඇති කරලා, විදුලි බිලත් 25%කින් අඩු කරලා, රට විදුලි බලයෙන් ස්වයංපෝෂිත කළා. වසරකට 8%කින් පමණ විදුලි ඉල්ලුම වැඩිවීමක් සිදුවෙනවා. මේ වෙනකං, සුළං බලයෙන් අපි මන්නාරමේ කුඩා ප්‍රමාණයක්, ඊට අමතරව, බ්‍රෝඩ්ලන්ඩ්වල අපි තව මෙගාවොට් 35ක ප්‍රමාණයක් එකතු කරගෙන තිබෙනවා. ඒ හැරෙන්නට යම් පමණකට වහල මත සූර්ය බලය සහ කුඩා කුඩා ජල විදුලි බලාගාර හැරෙන්නට, අපේ ඉල්ලුමට සරිලන සැපයුමක් සඳහා වන බලාගාර ඉදිවෙලා නැහැ. ඒ නිසා තමයි අද දවසේ අපිට මේ විඳවන්න වෙලා තිබෙන්නේ.

ප්‍රශ්නය – මෙසේ සැලසුමක් රහිත ගමනක් සඳහා රටට යන්න සිද්ධ වුණේ ඇයි…? විදුලිබල මණ්ඩලයේ මේ පිළිබඳව විශේෂඥයන් සිටිනවා. එසේ තිබියදී මේ තත්ත්වය සඳහා වගකිව යුත්තේ මණ්ඩලය ද නැතිනම් දේශපාලනඥයෝද…?

පිළිතුර – මේ පිළිබඳව මගේ ස්වාධීන අදහස නම්, මේ දෙපාර්ශ්වයම ඊට වගකිව යුතුයි. විදුලිබල මණ්ඩල පනත ගත්තොත්, අපේ කාර්යය කුමක්ද, ප්‍රතිපත්ති සම්පාදකයන්ගේ කාර්යය කුමක් ද කියන එක පනතේ පැහැදිලිව තියෙනවා. ඕනෑම වෘත්තිකයෙක් සිදු කරන්නේ, ඒ ඒ ක්ෂේත්‍රයට අදාළ තාක්ෂණික කාරණය, දියුණු කිරීම සහ එයට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක කිරීම කියන එක, ප්‍රතිපත්ති සම්පාදකයන් තමයි ඒ සඳහා තීන්දු ගන්නේ. අපි වර්ජිනියා ගුවන් සමාගම ගමු. රිචර්ඩ් බැන්සන් කියන්නේ දක්ෂ ව්‍යවසායකයෙක්… ඔහු සිදු කරන්නේ ඒ සඳහා වන ප්‍රතිපත්ති තීන්දු ගැනීමයි. එසේ නැතිව එම ගුවන් සේවා කටයුතු ඔහු ඉටු කරන්නේ නැහැ, ඒ සඳහා අදාළ විශේෂඥ සේවක පිරිසක් සිටිනවා, ඒ ක්‍රමය තමයි මෙතැනදීත් වෙන්නේ. ආසන්නම උදාහරණයක් ගමු. පුනර්ජනනීය බලශක්තිය කියන එක, ලෝකයේ සෑම තැනකම, ඉදිරියට යන දෙයක්. හැබැයි ලංකාවේ, පුනර්ජනනීය කියන ප්‍රභවය සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නේ හිටපු ජනාධිපතිතුමාගේ කාලයේ. ඒ තීන්දුව ගන්න කොට, ඒ සඳහා අපි සූදානම්ව හිටියාද…? මේ තමයි ඇත්ත. ඒක රජයක් කිව යුතු කාරණයක් ද…? මේ ක්ෂේත්‍රයේ වෘත්තිකයන් රජයට කිව යුතු කාරණයක් ද…? ඒ සඳහා අපේ පද්ධතිය තාක්ෂණිකව සූදානම් නොවුණේ ඇයි…? ඒ සඳහා වගකිව යුත්තේ කවුද…? දිගුකාලීන ජනන සැලසුමක් හදන වෘත්තිකයෝ, ඒක මහ පොළොවේ, නියමිත වෙලාවට පැළ කළ යුතුයි. එය නොකළේ ඇයි කියන එක නෙමෙයි මම කියන්නේ, එය මේ රටේ වෙලා නැහැ.

ඒ වගේම තමයි පාලකයෝත් මේ කාර්යය, වෘත්තිකයෝ සිදු කරනවාද කියන එක බලන්න ඕනේ. ඒක පාලකයන්ගේ වගකීම. මේ දෙපැත්තේම දේවල්, අවශ්‍ය අවස්ථාවේ නොවීම තමයි මෙම තත්ත්වය ඇතිවීම සඳහා හේතු වෙලා තියෙන්නේ.

ප්‍රශ්නය – රටේ ජනතාවට අඛණ්ඩව විදුලිය අවශ්‍යයි. මේ ප්‍රශ්නය ඇතිවීම සඳහා ජනතාව වගකිව යුතු නැහැ. ඒත් විඳවන්නේ ජනතාව. මේ රටේ කර්මාන්ත පවත්වාගෙන යෑම සඳහා, ජනතාවට එදිනෙදා ජීවිතය පවත්වාගෙන යෑම සඳහා, පැය විසි හතර පුරාම විදුලිය අවශ්‍යයි. පැය විසි හතර පුරාම, රටට විදුලිය දෙන්න ඔබගේ සැලසුම කුමක්ද…?

පිළිතුර – දැනට අප සතු විදුලි ධාරිතාවය මෙගා වෝට් 4200 – 4400ක් පමණ තිබෙනවා. මේක තුළ ජල විදුලිය මෙගා වොට් 1380ක් පමණ. ඊට පස්සේ නොරොච්චෝලේ මෙගා වොට් 900ක් තියෙනවා. කැලණිතිස්ස බලාගාර දෙකෙන්ම මෙගා වොට් 100ක් පමණ තිබෙනවා. පුද්ගලික ආයතන, කුඩා ජල විදුලි බලාගාර සහ කුඩා සූර්ය බලාගාර අපිට තිබෙනවා. මේ තුළින් අදටත් අපිට පැය විසි හතරම විදුලිය දෙන්න පුළුවන්, එහෙම විදුලිය ලබා දෙන්න නම්, අපිට මාසිකව ඩොලර් මිලියන සියයක පමණ ඉන්ධන භාවිතා කරන්න වෙනවා. එය මේ අවස්ථාවේ රටට දරන්න බැහැ. අපි දිගුකාලීනව සිදු කරපු වැරදි සහ අතපසුවීම් නිසා, අපිට වැඩි මිලකට විදුලිය සැපයීමට සිදු වෙලා තියෙනවා. එතකොට එවැනි මිලකට වඩා මිලක් අපිට මේ වෙලාවේ ජනතාවගෙන් අය කරන්න බැහැ. ඒ නිසා තමයි, අපි පුළුවන් තරම් ජල විදුලිය භාවිතා කරලා, ඉන්ධන මගින් විදුලිය සැපයීම සීමා කරලා, පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුවක් සමග, මෙම සැපයුම ලබා දෙන්නේ. අපි මේ ආර්ථික ප්‍රශ්නයේදී විදුලි බලය සැපයීම කියන කාරණය පමණක් සලකා බලන්න බැහැ. ඒ වගේම විදුලිය සැපයීම අඩු කිරීමත් රටේ ආර්ථිකයට බලපානවා. ඒ නිසා මේ සියලු කාරණා දෙස බලා තමයි අපි මේ විසන්ධි කිරීම සඳහා පැමිණ සිටින්නේ. ඇමැතිතුමාගේ වුවමනාව සහ අපිව දිරිමත් කරන්නේ පැය විසි හතර පුරාම විදුලිය ලබා දෙන්න කියන එකයි. ඒ පිළිබඳව මණ්ඩලය සලකා බලා, අපිට කළ හැකි උපරිමය අනුව තමයි, මේ අවම කප්පාදුව කරගෙන යන්නේ.

එදා තත්ත්වයෙන් අද අභියෝග ජයගන්න බැහැ! ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යමයි

ප්‍රශ්නය – ජනතාවගේ එදිනෙදා සියලු වියදම් වැඩි වී තිබියදී, දැවැන්ත විදුලි බිලකුත් දැන් ජනතාව මත පටවලා. එකවර දැවැන්ත මිල වැඩි කිරීමක් සඳහා විදුලිබල මණ්ඩලය යොමු වුණේ ඇයි…?

පිළිතුර – අපි සහනාධාර මිලකට තමයි දිගින් දිගටම විදුලිය ලබාදුන්නේ. විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා යන මුදලම, අපි ජනතාවගෙන් අය කළා නම්, මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නැහැ. හැමදාම ජනතාව විදුලිය පරිභෝජනය කළේ අඩු මුදලකට, ඒ කියන්නේ සහනාධාර පදනමක් යටතේ. මෙසේ දිගින් දිගටම විදුලිය සහනාධාර මිලට ලබාදීම නිසා සිදුවුණු පාඩුව අපිට පියවා ගන්න සිද්ධ වුණා. ඒ නිසා තමයි මෙහෙම වැඩි කිරීමක් සඳහා යොමුවීමට සිදුවුණේ. ඇත්තටම වසර නවයකට පසුව තමයි අපි ගාස්තු වැඩි කළේ. අපි මේ ගැන අනිකුත් භාණ්ඩ සහ සේවා එක්ක අරගෙන කල්පනා කරලා බලමු. ඒවා කොපමණ මුදලකින් වසර නවයක් තුළ වැඩිවෙලා ද…? ඩොලර් එකේ අගය රුපියලට සාපේක්ෂව කොපමණ ඉහළ ගිහිල්ලා ද…? තෙල් මිල අවස්ථා කිහිපයකදී ඉහළ ගියාද…? එක සැරේ, වසර නවයකට පසුව ඉහළ ගිය නිසා තමයි, ජනතාවට මේ විදිහට දැනෙන්නේ. අපි මේ වසරට අපේක්ෂිත පාඩුව රුපියල් 154ක පාඩුවක්, ලබන වසරේ රුපියල් බිලියන 400කට ආසන්න පාඩුවක් අපි ලබනවා. මේ වැඩිවීමත්, ඇත්ත ගාස්තුව නෙමෙයි. විදුලි බිල වැඩිවුණා කිව්වත්, තවම ජනතාවට විදුලිය ලබාදෙන්නේ සහනාධාරයකට. මේ සහනාධාර ක්‍රමයෙන් අපි සම්පූර්ණයෙන්ම මිදෙන්න ඕනේ.

ප්‍රශ්නය – මේ වන විට විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා සූදානම් වන බවට සමාජයේ මතයක් පැතිරී යනවා. එහිදී සඳහන් වන්නේ විදුලිබල මණ්ඩලය විකිණීමේ සූදානමක් පවතින බවයි. මොකක්ද මේ විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම යනුවෙන් හඳුන්වන්නේ…

පිළිතුර – මූලික වශයෙන්ම කිව්වොත් මේක ව්‍යාපාරයක්… විදුලිබල මණ්ඩලය රාජ්‍ය ආයතනයක් වුවත් අපි සිදුකරන්නේ ව්‍යාපාරයක්. ජනතාව අපෙන් ලබා ගන්නේ සේවාවක්.. ඒ සඳහා වන තරගකාරී පරිසරයක් සඳහා අවස්ථාව ලබාදීමයි මෙතැනදී සිදුවීමට නියමිත. සමානාත්මතාව, සුරක්ෂිතතාව සහ සුනිත්‍යභාවය කියන කාරණා තුන තමයි ලෝක බලශක්තියේ මූලධර්ම බවට පත්වී තිබෙන්නේ. එය අපිත් ප්‍රතිපත්තියක් ලෙස පිළිගත් කාරණයක්. එම ප්‍රතිපත්තිය ඉටු කරදීම සඳහා අවශ්‍ය යාන්ත්‍රණයක් ලෙසයි, මෙම ප්‍රතිව්‍යුහගතකරණය දැකිය යුත්තේ.

ඒ සඳහා රජය සූදානම් කරගෙන ඇති වාර්තාව තවම අපිට නිල වශයෙන් ලබාදී නැහැ. එය ලබාදුන් පසුව මට වැඩිදුර කරුණු මාධ්‍යයට කියන්න පුළුවන්.

ප්‍රශ්නය – විදුලිබල මණ්ඩලය ව්‍යාපාරයක් බව ඔබගේ පැහැදිලි කිරීමේදී සඳහන් කළා. එසේ වුණත්, මණ්ඩලය මේ වනවිට පෞද්ගලික බලාගාරවලට රුපියල් බිලියන 76.8ක් ද, පුනර්ජනනීය බලශක්ති සඳහා රුපියල් බිලියන 29ක් ද, තෙල් සංස්ථාවට රුපියල් බිලියන 31ක් ද ගෙවීමට තිබෙන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණා. මෙම ණය බර ගෙවීම සඳහා මණ්ඩලයට සැලසුමක් තිබෙනවාද…?

පිළිතුර – මේක අර්බුදකාරී තත්ත්වයක්. එසේ වුවත් අපි දරන වගකීම අනුව මේ සඳහා සාර්ථක පිළිතුරක් අපි නිර්මාණය කරගත යුතුවෙනවා. අපේ ප්‍රධාන බැංකුකරු, මහජන බැංකුව, ඔවුන් සමග සහ මහා භාණ්ඩාගාරය සමග අපි මේ ගැන සාකච්ඡා කළ යුතු වෙනවා. විදුලිය සඳහා අපිට ඒකාධිකාරයක් තිබුණත්, එහි මිල තීරණය කරන්නේ බාහිර ව්‍යුහයක් වන මහජන උපයෝගිතා කොමිසම. ව්‍යපාරයක් අනුව බලනවා නම්, ඒ ඒ අවස්ථා අනුව ලාභ, පාඩු සලකා මිල වෙනස් කිරීමේ හැකියාවක් එම ව්‍යාපාරයට තිබුණත්, ඒ සඳහා වන ශක්‍යතාවයක් අපිට නැහැ. මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපි යායුතු වෙනවා.

ප්‍රශ්නය – බලශක්ති සුරක්ෂිතතාවය පිළිබඳව ජාතියට සහතිකයක් අවශ්‍ය වෙනවා. මෑත කාලයේ ඇතිවූ විදුලි අර්බුදය, තෙල් අර්බුදය දෙස බලන විට අපේ බලශක්තියේ අනාරක්ෂිතභාවයක් දකින්නට ලැබුණා. මෙහිදී විදුලිය පාර්ශ්වයෙන් ඇති සූදානම කෙබඳුද…?

පිළිතුර – අපේ රටේ බලශක්ති සුරක්ෂිතභාවය, දැන් රැඳී තියන්නේ, පිට රටින් එන තෙල් සහ ගල් අඟුරු මතයි. අපිට කියා තිබෙන්නේ, ජල විදුලියෙන් ලැබෙන ප්‍රමාණය පමණයි. බලශක්තියෙන් බලගැන්වුණු ජාතියක් ලෙස නැඟී සිටීමට නම්, ඒ සඳහා වන මූලාශ්‍ර අපේ විය යුතුයි. ඒ සඳහා වන ප්‍රයත්නයක් දැරිය හැක්කේ පුනර්ජනනීය ප්‍රභවයන් වෙත යෑමෙන් පමණයි. නවීන තාක්ෂණය සමග ඒ සඳහා වන ක්‍රමවේදයක් සැලසුම්සහගතව අපි ඇති කරගත යුතුව තිබෙනවා.

එදා තත්ත්වයෙන් අද අභියෝග ජයගන්න බැහැ! ප්‍රතිව්‍යුහගත කිරීම අවශ්‍යමයි

ප්‍රශ්නය – මෙතැනදී ජාතික විදුලි ජනන සැලසුම පිළිබඳව ඔබගේ චිත්‍රය වැදගත්…

පිළිතුර – මේ සඳහා විදුලිය පිළිබඳව වෘත්තිකයන්ගේ මැදිහත්වීම අවශ්‍යයි. 70%ක් පුනර්ජනනීය මූලාශ්‍රයන්ගෙන් විදුලිය ලබා ගැනීමේ ඉලක්කයක් අපිට තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය ආයෝජකයන් දැනටමත් පැමිණ තිබෙනවා. එම ආයෝජකයන් උද්යෝගිමත් කිරීම අවශ්‍ය වෙනවා. ඒ වගේම අපි ඒ සඳහා වන සක්‍රීය දායකත්වයක් අපි ලබාදෙනවා.

ප්‍රශ්නය – 70% පුනර්ජනනීය බලශක්ති විසඳුම අපිට සැබෑ කරගත හැකි හීනයක් බව ඔබ විශ්වාස කරනවාද…?

පිළිතුර – අවිශ්වාස කරන්න කිසිම හේතුවක් නැහැ. කාලයක් මේ පුනර්ජනනීය බලශක්තිය මිලදී ගැනීම සම්බන්ධයෙන් අපිට නෛතික ගැටලු තිබුණා. මෙම තත්ත්වය අපේ අමාත්‍ය කංචන විජේසේකර මහතා විසඳලා දුන්නා. ඒ බාධකය අපිට දැන් නැහැ. ඒ වෙනකොට හිරවුණු ව්‍යාපෘති, දැන් අපි ක්‍රියාත්මක කරගෙන යනවා. ඒ අතරින් සමහර ආයතන වහලා දාලා. නැතිනම් ඒවා එම ව්‍යපෘති අතහැරලා ගිහිල්ලා. දැන් අපි හිරවෙලා, ඉතිරි වෙලා තියෙන ව්‍යාපෘති සාකච්ඡා සිදු කර අවසන් කරගෙන යනවා. ඒ පැරණි ව්‍යාපෘති. අලුත් ව්‍යපෘති සඳහා, මෙම සම්ප්‍රේෂණ පද්ධතියේ දුර්වලතා තිබෙනවා. දැන් විශාල ව්‍යාපෘති ප්‍රමාණයක් අපිට, පුනර්ජනනීය අංශයෙන් ඇවිත් තිබෙනවා. ඒත් මේ සම්ප්‍රේෂණ ජාලයට ඒ හැකියාව නැහැ. ඒ නිසා මෙම පද්ධතිය ඊට අපි සූදානම් කළ යුතුයි. ඒ සඳහා විශාල මුදලක් අපිට යනවා. ඒ සඳහා පිට ද්විපාර්ශ්වික හෝ ආධාර කණ්ඩායම් මගින් අපිට මුදල් ලබා ගන්න බැහැ. ඒ නිසා, ආයෝජනයක් ලෙස මෙම පද්ධතිය වැඩි කිරීමට අපි යොමුවීමට අදහස් කරගෙන තිබෙනවා.

ප්‍රශ්නය – විදුලි බල මණ්ඩලයේ මාෆියාවක් තිබෙන බව දැන් පොදු පිළිගැනීමක් වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ පුනර්ජනනීය බලශක්තිය සඳහා ඉඩ නොදෙන්නේ, එම නිලධාරී මාෆියාව බවයි ජනතාවගේ අදහස. මේ මාෆියාව බිඳ දැමීමේ හැකියාවක් ඔබට නැද්ද…?

පිළිතුර – මාෆියවක්ම ද කියලා මම කියන්නේ නැහැ. ඒත්, සමහර පිරිසකගේ ඍණාත්මක අදහස් සමග මේ සඳහා යම් යම් අඩුපාඩු වෙලා තිබෙනවා. වෘත්තිය තත්ත්වය, අපයෝජනයට ලක් කරමින් සමහර පිරිසක් කරපු දේ තමයි මේ සඳහා හේතු වුණේ. දැන් අපි ඒ සියලු බාධා ඉවත් කරගෙන තිබෙනවා. රාජ්‍ය ප්‍රතිපත්තිය සකස් කර, නෛතික බාධා නැති කර, අරමුදල් සම්පාදනය සිදුකර, අඩු මිලට විදුලිය ලබාදීම සඳහා ආයෝජකයන් ද සූදානම් නම්, දැන් අවශ්‍ය වන්නේ ක්‍රියාත්මකභාවයයි. ඒ සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් නොකර, තමන්ගේ මතය අනුව දැන් සියලුදේ නිසි පරිදි සිදුව තිබෙනවා. ඒ නිසා, වෙනත් අර්ථකථන ලබාදෙමින්, එම කටයුතු ප්‍රමාද කරමින් තමන්ගේ පටු අවශ්‍යතාවක් සඳහා කටයුතු කිරීම, මාෆියාවක් කියනවා නම්, ඒ නම ඊට සුදුසු බවත් මම කියන්න ඕනේ. මේ මාෆියාව සඳහා මුහුණදීමට අධ්‍යක්ෂ මණ්ඩලය සහ සභාපති ලෙස අපි සූදානම්.

ප්‍රශ්නය – මහජන උපයෝගිතා කොමිසම සහ විදුලිබල මණ්ඩලය අතර ඇති අසමතුලිතභාවය හේතුවෙන් විදුලිය පිළිබඳව කලින් කලට අර්බුද මතු වෙනවා. විදුලි ඒකකයේ මිල, විදුලිය විසන්ධි වන කාල රාමූ ආදිය තීරණය කරන්නේ මණ්ඩලය නෙවෙයි. උපයෝගිතා කොමිසම… මෙම ආයතන දෙකේ, සහසම්බන්ධය, අර්බුදකාරී වීම සඳහා ඔබ සතුව පිළියමක් තිබෙනවාද…?

පිළිතුර – ආයතන සම්බන්ධයට වඩා එහා ගිය තැනක් තමයි, මෙතැන තිබෙන්නේ. අපි සියලු දෙනා අවසාන වශයෙන් වගකිව යුතු වන්නේ, මේ රටේ ජනතාවට විදුලිය ලබාදීම සම්බන්ධයෙන්… මෙතැනදී දෙපාර්ශ්වයේම නිලධාරීන්ගේ මමත්වය සඳහා වැඩ කළයුතු නැහැ. අපි සියලු දෙනාගේ ඉලක්කය විය යුත්තේ රටේ විදුලි අවශ්‍යතාවයයි. විදුලිබල මණ්ඩලය සේවා ප්‍රවර්ධකයා වනවිට, එහි නියාමනය තිබෙන්නේ, මහජන උපයෝගිතා කොමිසම සතුව. අපි දොගොල්ලෝ එකතු වෙලා මේ ගමන යායුතුයි. මෙතැන ගැටලු පැන නැඟී තිබෙන්නේ යම් යම් නීති සහ රෙගුලාසි සඳහා ලබා දෙන නිර්වචනයයි. එය අපි පුද්ගලිකව හෝ පරස්පර පාර්ශ්ව ලෙස බලනවාට වඩා, ජාතියේ ඉලක්කය වෙනුවෙන් බලනවා නම්, ගැටලු ඇති වෙන්නේ නැහැ.

ප්‍රශ්නය – විදුලිබල මණ්ඩලයේ වගකීම සම්බන්ධයෙන් ඔබ දිගින් දිගටම කතා කළා. අවසාන වශයෙන් ජනතා වගකීම සම්බන්ධයෙන් ඔබගේ මතය විස්තර කරන්න..

පිළිතුර – මේ මොහොතේදී අපි වෙනදාටත් වඩා රටක් විදිහට කල්පනා කරන්න ඕනේ. අපි පළමුව සහතිකයක් දෙනවා, අපි ආයතනයක් ලෙස ජනතාවට වගකියනවා. ඒ වගකීම ඉටු කිරීම සඳහා අපි නව ක්‍රමෝපායන් භාවිතා කරනවා. මේ සඳහා ජනතා වගකීම තමයි, ලැබෙන හැම අවස්ථාවකම බල ශක්ති උත්පාදනය සඳහා දායක කර ගැනීමට, තමන්ට හැකි උපරිමය ඉටු කිරීම. ගෙදර වහලයෙන් මේ වැඩපිළිවෙළ පටන් ගන්න. අපි සියලු දෙනා හැකි පමණ සූර්යය බලය, විදුලියට හැරෙව්වොත්, මේ රටේ බලශක්තිය සඳහා ඉර පායන්නේ එදාට… සුර්යය බලය කියන්නේ අපේ රටේ ප්‍රධානම බලශක්ති අවිය. දියුණු රටක පරමාණු බලාගාරයක් වගේ තමයි අපිට ඉර ලබාදෙන සේවය. ඒ හිරු එළිය එක අංශුවක්වත් අපතේ නොයවන තැනට අපි වගබලා ගන්න ඕනේ. එතැන තමයි අපේ බලශක්ති ජයග්‍රහණය තිබෙන්නේ.

අනික් අතට විදුලිය සම්බන්ධයෙන් අධි සංවේදීතාවයක් අපිට තියෙන්න ඕනේ. එකඳු විදුලිය බිඳක් හෝ අපතේ නොයවන්න කියලා, අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අඩුම තරමේ සෙල්ෆෝන් එකක ලයිට් එකක්වත් නිකරුණේ දල්වන්න එපා. ඒ තරමට අපි මේ සම්පත පරිස්සම් කරගමු. රටේ ඉදිරි පරම්පරාව ගැන හිතලා, තමන්ගේ දරුවන්ට පර්චස් ගණන්, අක්කර ගණන් අරන් දෙනවාට වඩා මෙතැනදී ජාතික බලශක්තියෙන් සුක්ෂිත කිරීම වැදගත්… ඒ තමයි අපේ දරු මුණුපුරන්ට දෙන්න පුළුවන් හොඳම ආයෝජනය. ඒ ප්‍රතිලාභය අනාගත පරම්පරාවට අහිමි කරලා, කුමක් ඉතුරු කළත් වැඩක් වෙන්නේ නැහැ. බලශක්ති අර්බුදය ඉදිරියේ, ඒ සියල්ල අක්‍රීය වෙනවා. පැය හයක් විදුලිය විසන්ධි වෙන කොට, දින ගණන් තෙල් පෝලිමේ ඉන්න කොට, කෙටි කාලයකට අපි ඒ අත්දැකීම වින්දා. ඒ පාඩම අපි අභ්‍යාසයක් කරගමු.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර
ඡායාරූප – නිශාන් එස්. ප්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment