එදා දිවයින ඉරිදා සංග්‍රහය මෙලෙස බිහිවිය!

484

ශ්‍රී ලාංකික පුවත්පත් කලාවට සුවිශිෂ්ට සම්ප්‍රදානයන් එක් කරමින් ද මෙරටේ සමාජ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික ක්‍ෂේත්‍රයන්හි අභිවර්ධනය, සුරක්ෂිතතාව හා ආඪ්‍යත්වය උදෙසා වූ බුද්ධිමය මෙන්ම සෞන්දර්යාත්මක මැදිහත් වීම සිදු කරමින් ද යුගකාරක මාධ්‍ය මෙහෙවරක නිරත වූ දිවයින ඉරිදා සංග්‍රහය පුවත්පත සිය හතළිස් එක්වන උපන් දිනයට සම්ප්‍රාප්ත වීම නිමිත්තෙන් සංක්ෂිප්ත සටහනක් ලිවීම මෙම ලිපියෙහි අරමුණ වේ.

පුරා හතළිස් වසරක් මෙරටේ පුවත්පත් කලාවෙහි නිරත වූ ද ඒ හා සමාන්තර වූ සමාජ දේශපාලන භාවිතය ඇතුළු වෙනත් ප්‍රතිචාරවලට සංවේදී වූ ප්‍රමුඛ ජාතික පුවත්පතක් සම්බන්ධයෙන් කෙරෙන සංක්ෂිප්ත විමර්ශනයක් වුව ද එය අතිශය දුෂ්කර ව්‍යායාමයකි.

දිවයින නිදහස් මතධාරී වූ ද මානවවාදී හා ජාතික සංස්තෘතික වසයෙන් විවාදාත්මක සිංහල ප්‍රභූන්, බුද්ධිමතුන් මෙන්ම පොදු ජනතා අභිලාෂයන් ද නිවැරදිව, නිරවුල්ව පසක්කර ගත් පුවත්පතකි. ජාතික හා සංස්කෘතික සංවාද පිළිබඳ බුද්ධිමතුන් අතර ද සංක්ෂෝභයක් පැවැති සමයක පුවත්පතකට එල්ලවන අභියෝගය ද සුළුපටු නොවේ. එහෙත් දිවයින අධිෂ්ඨානශීලි හා උද්යෝගිමත් සමාජ මැදිහත් වීම් සඳහා නිර්භය වූ බව මගේ අදහස යි. දිවයින පිළිබඳ මෙයට වඩා වෙනස් අර්ථකථන ද තිබිය හැකිය.

ශ්‍රී ලංකාවෙන් බිහි වූ අග්‍රගණයේ ව්‍යාපාරිකයකු වූ උපාලි විජයවර්ධනයන් විසින් ආරම්භ කරන ලද පුවත්පත් සමාගමට සිංහල හා ඉංග්‍රීසි බසින් පුවත්පත් දෙකක් බිහි කිරීමේ අපේක්‍ෂාවක් තිබුණි. ඒ සඳහා සියලු සම්බන්ධීකරණය කරන ලද්දේත් එවක ලේක්හවුස් ආයතනයෙහිම කර්තෘ මාණ්ඩලිකයකු වූ නන්දසේන සූරියාරච්චි විසිනි. ඒ අනුව සිංහල පුවත්පත සඳහා තෝරා ගනු ලැබූ ප්‍රථම කණ්ඩායම සමන්විත වූයේ ද ලේක් හවුස් ආයතනයෙහි ම කර්තෘ මාණ්ඩලිකයන්ගෙනි.

එදා දිවයින ඉරිදා සංග්‍රහය මෙලෙස බිහිවිය!

එවකට සිළුමිණ ප්‍රධාන කර්තෘ වූ එඩ්මන්ඩ් රණසිංහ, එහි විශේෂාංග කර්තෘ දයාසේන ගුණසිංහ, ගාමිණී සුමනසේකර මෙන්ම දිනමිණට සම්බන්ධව සිටි විමල් වීරසේකර, උපාලි තෙන්නකෝන් හා ධර්මරත්න විජේසුන්දර ද සුබසෙත කර්තෘ දයාරත්න රණසිංහ හා ඒ වනවිට ජනතා පත්‍රයෙහි නියෝජ්‍ය කර්තෘ වූ සුනිල් මාධව හා කාටුන් ශිල්පී විජේසෝම ද එයට අයත් වූ අතර දවස කර්තෘ මණ්ඩලයෙහි සිටි මෙරිල් පෙරේරා (ඔහු ද ලේක්හවුස් නිෂ්පාදනයකි) ඒ ප්‍රථම කණ්ඩායමට අයත් වූහ. ටික දිනක ඇවෑමෙන් චිත්‍රශිල්පියකු ලෙස ශාන්ත කේ. හේරත් අපට එක් වූ අතර විමල් සුරේන්ද්‍ර ඡායාරූප ශිල්පියා ලෙස බඳවා ගනු ලැබුණි.

අප සියලුදෙනාම පාහේ ලේක් හවුස් ආයතනයෙන් අස්වූයේ 1981 අගෝස්තු මාසයේදී ය. නන්දසේන සූරියාරච්චි අපට මාස දෙකකට හෝ තුනකට පෙර උපාලි ආයතනයට එක් වූයේ විවිධ කටයුතු සම්බන්ධීකරණය සඳහා ඔහු අත්‍යවශ්‍ය වූ හෙයිනි. එවක විධිමත් මෙන්ම ස්ථාවර ආයතනයක් වූ ලේක් හවුස් අතහැර උපාලි ආයතනයේ අලුත් පුවත්පතට අප සම්බන්ධ වීම බොහෝ දෙනකුට ප්‍රශ්නයක් ද විය. එහෙත් අප තුළ දැඩි විශ්වාසයක් මෙන්ම අධිෂ්ඨානයක් ද තිබිණි. සැබැවින්ම දිවයින කාර්යාලය තුළ අපට ප්‍රමාණවත් පහසුකම් විය. අපේ කණ්ඩාය ම තුළ ද විශාල බැඳීමක් ගොඩ නැඟුණි. අප බොහෝවිට දිවා ආහාරය පවා ගත්තේ එකට වාඩිවෙමින්ය. ඇත්ත වසයෙන්ම දිවයින යනු අප සියලු දෙනාගේම හෘදයාංගම මිත්‍රයෙක්, සිංහල පාඨක සමාජයට එක් කෙරෙන අභිනව නියමුවෙක් ලෙස අපට දැනුණි. මෙම සංක්ෂිප්ත ප්‍රසංසනය ලිවීමට පෑන සුරතට ගත් මොහොතෙහි සිට මා තුළ නැඟෙන්ට වූ ධාරණාවන් අප්‍රමාණ විය. දිවයිනත් මාත් අතර වූ අවියෝජනීය සබඳතාව යළි යළිත් සිහි කිරීම ද ආස්වාදයකි. එනිසා ම දිවයින ඉරිදා සංග්‍රහය පිළිබඳ ඒ සොඳුරු ආවර්ජනාවන් පෙළ ගැස්වීම ද කල්‍යාණ මිත්‍රයකුට පිරිනැමෙන හෘදයාංගම ත්‍යාගයක් වැන්න. වේලාවක් අවේලාවක් නොතකමින් ඒ මහඟු පුවත්පත දොරට වඩින තෙක් අප සියල්ලන් ම බලා සිටියේ මවක් සිය කුස තුළ සිටින බිලිඳාගේ මුහුණ දැකීමට දක්වන ආසාවෙනි. ශ්‍රී ලාංකික පුවත්පත් කලාවේ අතිශය ජවසම්පන්න අභීත හා පරිණත සෙන්පතියකු ලෙස මෙරටේ දසක හතරක් ගෙවූ මහා සෙන්පතියකුගේ මතකය එක් අතකින් ඒ අභිමානවත් ඉතිහාසයට පිදෙන වනපස මලක් ද වේ.

එදා දිවයින ඉරිදා සංග්‍රහය මෙලෙස බිහිවිය!
උපාලි විජයවර්ධන මහතා

1981 ඔක්තෝබර් 04 වැනිදා ශ්‍රී ලාංකික පුවත්පත් සමාජයට එක්වූ දිවයින ඉරිදා සංග්‍රහය මොන අතින් බැලුවත් මෙරටේ සාම්ප්‍රදායික පුවත්පත් කලාව සමතික්‍රමණය කළ විප්ලවවාදී පුවත්පතකි. ඒ වූ කලී මෙරටේ වාමාංශික ව්‍යාපාරය ප්‍රමුඛ වමේ කඳවුර දැඩි නාය යෑමකට ලක්වූ මෙන්ම දක්ෂිණාංශික දේශපාලනයේ කූටප්‍රාප්තිය ලෙස හැඳින්විය හැකි ජේ. ආර්. ජයවර්ධනගේ එ. ජා. ප. ආණ්ඩුවේ සමාජ දේශපාලනයේ සමාරම්භක යුගය ද විය. ජයවර්ධන විසින් හඳුන්වා දෙන ලද විධායක ජනාධිපති ක්‍රමයෙහි සෙවනැල්ල මුළු මහත් සමාජය මත පතිතව තිබුණු අතර ප්‍රජාතන්ත්‍රවාදයේ කට හඬ ද දුබලව තිබුණි. එයට එක් හේතුවක් වූයේ 70-77 කාලය තුළ සමගි පෙරමුණ ආණ්ඩුව පුවත්පත් සම්බන්ධයෙන් අනුගමනය කළ පිළිවෙත කිසිදු ආකාරයකින් වෙනස් නො කිරීමත් ලේක්හවුස් ආයතනය එජාප උපකරණයක් ලෙස යොදා ගැනීමත්ය. (මෙය වෙනම සාකච්ඡා කළ යුත්තකි)

කෙසේ හෝ මෙරටේ බිහිවූ ජ්‍යෙෂ්ඨ හා විශිෂ්ට පුවත්පත් කලාවේදීන් දෙදෙනකු වූ එඩ්මන්ඩ් රණසිංහ හා දයාසේන ගුණසිංහ සුසංයෝගය අභිනව පුවත්පතට පදනම දැමූ සිංහ සුසංයෝගයකි. එඩ්මන්ඩ් රණසිංහ ජාත්‍යන්තර ආර්ථිකය හා දේශපාලන ප්‍රවණතාවන් පිළිබඳ ප්‍රාමාණිකයකු වූ අතර දයාසේන ගුණසිංහ ද එබඳුම ජාත්‍යන්තර නව දැනුමෙන් සුපෝෂණය වූ සාහිත්‍ය කලාවට හා කවියට වඩාත් සමීප වූ සහෘදයකු ද විය. ඔව්හු ද්විභාෂික පරපුරකට අයත් වූවෝය.

ලේක්හවුස් ආයතනයෙහි ස්වර්ණමය යුගයක, රාජ්‍ය සේවය පවා අතහැර පුවත්පත් කලාව තෝරා ගත් ඔවුන් තුළ ඒ වනවිට රාජ්‍ය ආයතනයක් බවට පත්ව තිබුණු ලේක් හවුස් ගැන කලකිරීම් ද තිබුණි. දේශපාලනයේ අනුහසින් මුල් පුටුවලට එක්වූ ඇතැම් කෙනෙක් මාධ්‍ය මෙහෙයවීම ද ඔව්හු නො ඉවසූහ. උපාලිගේ පුවත්පතට එක්වීමට ඔවුන් යන බව එවක ලේක් හවුස් පාලනයට ද වාර්තා වී තිබිණි. එහෙත් ඔවුන් රඳවා ගැනීමට ඒ පාලකයන්ට නො හැකි විය. සැබැවින්ම ඔව්හු ඒ වනවිටත් පුවත්පත් කලාවේ දිසාපාමොක්වරු ලෙස අත්දැකීමෙන් හා දැනුමෙන් ද පරිපූර්ණ වී සිටියහ. පුවත්පත් කලාවේ පුරෝගාමියකු වූ ජෝසප් පුල්ට්සර්ගේ ප්‍රකාශ හා අත්දැකීම් පිළිබඳව ද ඒ දිනවල අපට බොහෝ දේ ඉගැන්වූයේ ද දෙදෙනා විසිනි.

එදා දිවයින ඉරිදා සංග්‍රහය මෙලෙස බිහිවිය!

පුවත්පත හැමවිට ම යුක්තිය හා ප්‍රතිශෝධනය උදෙසා සටන් කරන අතර අසාධාරණය හා වරප්‍රසාද ලාභීන් වෙනුවෙන් පෙනී නො සිටියි යන ආදර්ශපාඨය එදා අපට ලැබුණි. වැඩි පිරිසක් සඳහා කරන වැඩි ම හොඳ දේ පුවත් පතකින් කළ යුතු බව ද අප උගත්තෙමු. පුවත්පත මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රකාශන අයිතිය උදෙසා කොන්දේසි විරහිතව පෙනී සිටිය යුතු බව ද අප මනසෙහි තදින් කාවැදී තිබුණි. ස්වාර්ථය සඳහා බලය ඒකරාශිවීම වෙනුවට පොදු ජන යහපත සඳහා ඒ බලය භාවිත විය යුතුය යන්න ද අපි එදා උගත්තෙමු.

ශ්‍රී ලංකාවේ පුවත්පත් පාඨකයන් අතර බහුතරය පොදු පාඨකයන් වුවත් ඔවුන්ට ද අලුතින් සිතීමේ හා සමාජ නිරීක්‍ෂණයෙහි අවකාශය විවරකර දිය යුතු බව දිවයින ඉරිදා සංග්‍රහය පිළිගෙන තිබුණි. කියවන්නට මෙන්ම හිතන්නට ද යමක් පුවත්පතකින් ලබා දියයුතු බව දිවයින ඉරිදා පුවත්පතෙහි ආස්ථානය විය. ඇත්ත වසයෙන්ම පුවත්පතක් යනු සමාජ දේශපාලනයේ ගමන් මග සමග ඇදෙන තවලමක් නොව, මානව සමාජයක ප්‍රබුද්ධ ආලෝකධාරාවක් වියයුතු බව දිවයින පසක් කරගෙන තිබුණි. ජනතාව සමග යන ගමනක් වුවද අවශ්‍යතාව අනුව ඒ ගමන විවේචනය කිරීම අප අනුදත් මග බව දිවයින ඉරිදා සංග්‍රහය මුල් කලාපයේ සිට ම අපි කීවෙමු.

එදා ජයවර්ධන පාලනයේම හොරණෑ බවට පත්ව තිබුණු පුවත්පත මෙන්ම ගුවන් විදුලිය ද පාඨක හා ශ්‍රාවක විශ්වාසයෙන් බෙහෙවින් දුරස් විය. (රූපවාහිනිය ඒ වනවිට අරඹා නො තිබුණි) මේ නිසා අලුත් පුවත්පත පාලකයන්ගේ තිගැස්මට හේතු විය. අප ජනතාවට පැවසුවේ නිදහස් අදීන සමාජ උල්පත් පාදා ගැනීම රටක සංවර්ධනයට දායක වන බවය. එසේම අප ජනතාවගේ ස්වාමිවරුන් නො වන්නාක් සේම ඔවුන්ට එරෙහි වන ඕනෑම අධිපතිවාදයක් පෙරළා දැමීමේ ඥානාලෝකය ලබාදීමට අපි ජනතාව සමග සිටින බවට ද සපථ කළෙමු. පුද්ගල අභිවාදනය, ප්‍රතිරූප ගොඩ නැංවීම සඳහා මාධ්‍ය භාවිත කිරීම වෙනුවට ජනතාවාදී පුවත්පතක් එළිදැක්වීම සඳහා

අපගේ අප්‍රමාණ කැපවීම වුවමනා බව ද අපේ සමාරම්භක කතුවරු නිරන්තරව ම අවධාරණය කළහ.

එදා දිවයින ඉරිදා සංග්‍රහය මෙලෙස බිහිවිය!

1981 ඔක්තෝබර් 04 වැනිදා දිවයින ඉරිදා සංග්‍රහය ජනගත වූයේ දේශපාලන බලය වෙනුවෙන් භාවිත කර පසුව මුල්ලකට වීසිකර දැමුණු සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංචා මහා බලවේගය පූජාසනය මත තබමින්ය. අසූවේ මහා වැඩ වර්ජනයෙන් මගට වැටුණු හතළිස් දහසක රාජ්‍ය සේවකයන් ගැන ඒ පළමු පත්‍රයෙහිම දැඩි අවධානයක් යොමු කර තිබුණි. හතළිස් දහසකගේ ඛේදවාචකය නමින් එදා පළවූ ලිපිය ජයවර්ධන පාලනයෙහි නායකයන් කුප්පවන සුළු විය. ආණ්ඩුවේ සංවර්ධන ඝෝෂාවෙන් වසා දැවුණු පොදු ජනතාවගේ හද ගැහෙනා දුක් සුසුම් ද අමිහිරි වේදනාවන් ද ඒ මුල් කලාපයෙහිම පිටු අතර රැඳවීමට අප සියල්ලෝම වෙහෙසවීමු. එසේම බාහිරව අපට ලැබුණු ලිපි රැසක්ම යළි ලිවීමටත්, ඇතැම් ලිපි පෝෂණය කිරීමටත් ගුණසිංහ මහතාට අවශ්‍ය විය. නන්දසේන සූරියාරච්චිත්, සුනිල් මාධව හා ගාමිණි සුමනසේකර ඒ කාර්ය සඳහා ගුණසිංහ මහතා විසින් යෙද වූ ආකාරය මට සිහිපත් වෙයි.

දිවයින ඉරිදා සංග්‍රහයට විජේසෝම විසින් අඳින ලද කාටුන් චිත්‍රය පළවූයේ කඩතිර හරිමින” යන සිරස් තලය ද සමගය. ඒ කාටුන් චිත්‍රය එකල තිබුණු දේශාපලනය පිළිබඳ අර්ථ පූර්ණ ප්‍රකාශනයක් වැන්න. විජේසෝමගේ පින්සලය එදා ඇතැම් බලවතුන්ට දැනුනේ ඉඳිකටු තුඩක් මෙනි.

වතුකම්කරුවන්ගේ අසමසම නායකයා ලෙස පත්ව සිටි සෞම්‍යමූර්ති තොණඩමන් විසින් ඒ අසරණයන්ගේ ජීවිත ආණ්ඩුවලට උකස් කළ ආකරය ගැන ද එදා අපි කතා කළෙමු. “උඩරට කඳුකර සිරියා පරදන රතැඟලි දිගුකර තේ දලු නෙළන ඒ කම්කරු ලියන්ටත් ඇඟිලි කැපී තිබෙන හෙයින් ඔවුන්ට කතිරය ගැසීමට පැන්සල අල්ලෙන් අල්ලා ගැනීමට වූ බවට අප පළකළ අදහස ගැන ආණ්ඩුව කෙසේ වෙතත් විද්වත් පාඨකයන්ගෙන් නම් පැසසුම් ලැබුණි. මෙබඳු සංවේදී සිදුවීම් අප්‍රමාණව මගේ සිහියට නැඟුණත් ඒවා මෙවන් සංක්ෂිප්ත ලිපියක කෙසේ ඇතුළත් කරම් ද ඇත්තට ම දිවයින ඉරිදා සංග්‍රහය මෙරටේ ප්‍රබුද්ධ සංවාද මණ්ඩපයක් මෙන්ම නූතන සමාජ දේශපාලන සංස්කෘතික වටිනාකම් උඩු යටිකුරු කරමින් පාඨක සමාජයට බුද්ධිමය ආලෝකයක් සැපයූ බව ද නිසැකව ම සඳහන් කළ යුතුය.

අසූව දසකය වනවිට මෙරටේ බිහි වෙමින් තිබුණු සමාජ ආර්ථික දේශපාලනයත් එයින් විකෘති වී ගිය සංස්කෘතික වටිනාකම් පිළිබඳවත් දිවයින ඉරිදා සංග්‍රහය මතු කළ සංවාදයට මෙරටේ විද්වතුන්, බුද්ධිමතුන් පමණක් නොව, වෙනත් ක්‍ෂේත්‍රවල අය දැක්වූ අදහස් මතවාද ජනතාවට ඉදිරිපත් වූයේ ද අප පුවත් පත මගිනි. දේශපාලනය ධනෝපායන මගක් කරගත් සුළුතරයක් ව්‍යාජ ප්‍රභූවරුන් ලෙස පෙනී සිටි ආකාරය ද දිවයින නිර්දය ලෙස හෙළි කළේය. එදා ආචාර්ය කුමාරි ජයවර්ධන වැනි ප්‍රාමාණික විද්වතුන් ගේ නොයෙක් අනාවරණයන් ද දිවයින මගින් සිදු විය. දේශපාලනය, මූල්‍ය වටිනාකම් එක් රැස් කෙරෙන උපකරණයක මට්ටමට බාල්දු වී ගිය ආකාරය දිවයින සාක්‍ෂි සහිතව ජනතාවට මෙන්ම ප්‍රබුද්ධ සමාජ ක්‍රියාකාරීන්ට ද පෙන්වා දී ඇත. දිවයින ඉරිදා පුවත්පතට වසර හතළිස් එකක් ලබනවිට මේ මුග්ධ අල්පශ්‍රැත දේශපාලනයේ ව්‍යාජ පැලැන්තිය කොතරම් බලවත් වී සිටිත් ද?

මෙරටේ අද තිබෙන්නේ හොරකම, බොරුව, වංචාව, නාස්තිය හා අල්ලස වැනි දුෂ්පිළිවෙත්වලින් කිළිටි වී ගිය සමාජයක් බව ජගත් විශේෂඥයන් විසින් ද පෙන්වා දෙනු ලැබ ඇත. ඉකුත් දසක හතර මුළුල්ලේ දිවයින පුවත්පත් මේ පිළිබඳව කෙතරම් අනාවරණයන් කර තිබේද ඒ වෙනුවෙන් දිවයින අපේ සගයන්ට නොයෙක් අයුරින් වන්දි ගෙවීමට ද සිදු විය.

දිවයින ඉරිදා සංග්‍රහය මෙරටේ පුවත්පත් කලාවට විශිෂ්ට සම්ප්‍රදානයන් එක් කළ බව මේ ලිපිය ආරම්භයේදීම සඳහන් කර ඇත. දිවයින ඉරිදා සංග්‍රහයේ දෙටු සොහොයුරා ලෙස දිනපතා දිවයින ද එක්ව ඒ සමාජ මෙහෙවර සවිබල ගැන්වීම ඉකුත් දසක හතර පුරා සිදුවූ බව ද සිහිපත් කළ යුතුය. එකල මෙරටේ ප්‍රථම ජනාධිපතිවරයා වූ ජේ. ආර්ට දිවයින හිමිකාරත්වය සමග සමීප බැඳීම් තිබුණි. එහෙත් දිවයින හිමිකාරත්වය කිසිවිටෙක දිවයින මාණ්ඩලිකයන්ගේ පෑන්වලට සීමා පැනවීම් නොකිරීම ද මේ පුවත්පතෙහි විශ්වාසය හා ආකර්ෂණය වර්ධනය වීමට ද හේතු විය.

එදා දිවයින ඉරිදා සංග්‍රහය මෙලෙස බිහිවිය!

දිවයින ඉරිදා සංග්‍රහය සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික කලා භාෂා සාහිත්‍ය දර්ශන ආදී ක්‍ෂේත්‍ර ගණනාවක් සඳහා වෙන්වූ සංකථනයන්ට ද විවිධ අර්ථවත් මැදිහත්වීම් කළ ආකාරය ඒ හතළිස් වසක ගමන් මග විචිත්‍ර කළ ප්‍රබල හේතුවක් විය. දයාසේන ගුණසිංහ ගේ තීරු ලිපිවලට අමතරව දිවයිනට එක්වූ පසු කාලීනයන් ගණනාවක්ම ඒ සඳහා යොමු වූහ. දිවයිනට භාෂා සාහිත්‍ය ගුරුකුල නොවූ අතර විවිධ ලේඛකයන්ගෙන් නොයෙක් භාෂා රිද්ම රටා දිවයින අලංකාර කළ බවද සඳහන් කළ මනාය. දිවයිනෙන් මාධ්‍ය කලාව අත්පොත් ලැබ සෑහෙන සංඛ්‍යාවක් ද සිටිති. සැබැවින්ම ඒ ලේඛකයන් ගේ නාමාවලියක් හෝ මෙතෙක් සම්පාදනය වී නැත. එසේම දිවයින පිළිබඳ ආරංචි මාත්‍රයෙන් අසා කළ ඇතැම් විකෘතීන්ද දැකගත හැකිය. එහි ප්‍රාරම්භක කතුමඬුල්ලට එක්වූ දයාසේන ගුණසිංහ දයාරත්න රණසිංහ, විජේසෝම, මෙරිල් පෙරේරා, සුනිල් මාධව, ධර්මරත්න මේ වනවිට ජීවිතයෙන් ද සමුගෙන ගොස් සිටිති. දිවයිනට ඡායාරූප ශිල්පියකු ලෙස මුලින්ම එක්වූ විමල් සුරේන්ද්‍රත් මියගොස් ඇත. එසේම මේ සිව් දසකය තුළ තවත් පිරිසක් වියෝගයට පත්වූහ. ඊට අමතරව නිෂ්පාදන හා දැන්වීම් හා ප්‍රවාහන අංශවල සෑහෙන පිරිසක් ද මේ හතළිස් වසරක කාලය තුළ දිවයින සමග වූහ.

උපාලි සමූහ ව්‍යාපාර ආයතනයේ සභාපති වූ දොස්තර සීවලි රත්වත්ත මැතිඳුන්ගේ අභාවයෙන් පසු දිවයින පුවත්පත් සමූහය මෙන්ම ඒ සියලු කාර්ය මණ්ඩල අප්‍රමාණ දයාවෙන් හා ආදරයෙන් රැක බලා ගත් ලක්මණි ආර්. වෙල්ගම මැතිනිය (සභාපතිනි) නිමල් වෙල්ගම (සමූහ කළමනාකාර අධ්‍යක්‍ෂ) අප සියල්ලන්ට ම සමාන සුඛදුක්ඛ හා අනුකම්පික මිත්‍ර හා පීතෘ ගුණ සමුදායෙන් දිරි දුන්නාහු වෙති. දිවයිනට ලැබුණු කිත් පැසසුම් මෙන්ම අවමන් ගැරහුම්වලදීත් ඔව්හු අප රැක බලා ගත්හ. දිවයින මෙරටේ ජාතික සංස්කෘතික වටිනාකම් සුරකිමින් ද පොදු ජන අභිලාෂයන්හි ප්‍රාර්ථනා මුදුන්පත් කරවීමෙහිලා ඇප කැප වෙමින් ද ඉටු කළ හා ඉටු කෙරෙන තුඟු මෙහෙවර හෙට ලියැවෙන ඉතිහාසයේ ස්වර්ණමය සටහන් අතර රැඳෙනු ඒකාන්තය.

ගාමිණි සුමනසේකර
හිටපු ප්‍රධාන කර්තෘ හා කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ

advertistmentadvertistment
advertistmentadvertistment