එදා නොගැයූ ස්වර්ණ ගීය

323

නිලම්බරේ කැළුම් පිරි සරා සඳ වගේ…
රංගන – ගායන ප්‍රතිභාවක රුක්මණී මතක

ඇයගේ සජීවී හඬ මැකී ගොසින්, දැන් වසර හතළිස් තුනක් ගතව තිබේ. එදා ඇයව ඉරණමානුකූල මරණය විසින් කැඳවාගෙන යද්දී, රංගන – ගායන ඈ කලා ක්‍ෂේත්‍රයන්හි, ඇය ඊට ආසන්න කාලයක් ගතකර තිබුණාය. එදා මෙදා තුර දිවයිනේ පහළ වූ එකම ‘නිළි – ගායිකාව’ ඇය වේ. තමන්ගේ රංගන ජවනිකා සඳහා, වැඩිම වාර ගණනක් තමන්ම, ගී හඬ මුසුකරගත්තී, ඇය ය. ඒ කරුණ ද ඇතුළු, සූරූපී දේහ ලාලිත්‍යයෙන් පරිපූර්ණ ඇය භාරතයේ චිර ප්‍රසිද්ධ බොලිවුඩ් ‘ෆිල්ම් ෆෙයාර්’ සඟරාවේ වර්ණ පිටකවරය සරසාලන්න සමත් වූ පළමු සහ එකම ලාංකේය සිනමා ගායන තරුව ද ඇය වේ.

70 දශකයේ මුල් භාගයේදී නැගී එන ගායන ශිල්පියෙකු හා සංගීතඥයෙකු වූ, වික්ටර් රත්නායක යොවුන් ගායන ශිල්පියාගේ ඇරයුම, එකසිතින් සුහදව පිළිගෙන, තමා වාසය කළ මීගමු පුරවරයේ සිට කොළාම්පුරය වෙත පැමිණ ‘නොසැළෙන් මළණුවනේ…..’ නම් වූ සුනිල් ආරියරත්නගේ ගී පද ගැයුවේ ඇයයි. ලත් ජනප්‍රසාදය හමුවේ, එම ගීතය, ගුවන් විදුලි ගී තැටියකටද ඇතුළත් විය.

ඇයව නිතර දැක ඇසුරුකළ ශිල්පීන් කියන ලෙස තමන්ට නියමිත ජවනිකාවේ පෙනීසිට රංගන වේදිකාව වෙතින් බැසයද්දී, ඊට හිස නමා වැඳ නමස්කාර කරමින් පිටව ගියේ ඇයයි. ලක්බිමේ වඩාත්ම ජනප්‍රිය රංගන ගායන තරුව ලෙස කිරුළු දරා සිටියදී පවා, කලා ක්ෂේත්‍රයේදී තමනට මුණගැසුනු ළාබාල යෞවනයන්ට ට පවා නිසිතැන දී ගරුසරු දක්වමින් ‘මිස්ටර්…..’ යනුවෙන් අමතු කුල කත ඇයයි. බාහිර මැදිරි පටිගත කිරීම් අවස්ථාවලදී අහඹු ලෙස මුණගැසුනු ගායන ක්ෂේත්‍රයේ ආධුනික ගායිකාවක්, සිය ගීතය පටිගත කරද්දී නැවතී ශ්‍රවණය කරමින් ඇය අමතා අගය කරමින් හෘදයාංගම ලෙස සුබ පැතූ සිරිකත ඇයයි.

ගීතයක් පුහුණුවන්නට ලද ඇරයුම හමුවේ නොපැකිළිව එය භාරගෙන මීගමුවේ සිට දුරු කතර ගෙවා නැසිගිය සංගීතඥ ස්ටැන්ලී පීරිස් දිවිගෙවූ කන්ද උඩරට ට’ ඔහුගේ නිවස වෙත පැමිණ සිනහ මුසු මුහුණින් ඒ කටයුත්තේ යෙදී ඔහුගේ උපදෙස් මගපෙන්වීම් අකුරට පිළිපදිමින් කීකරු වෙමින් ඒ කටයුත්තේ යෙදී පසුව ශ්‍රාවක සම්භනාවට පාත්‍ර වු ‘නිලම්බරේ කැළුම් පිරි සරා සඳ වගේ’ ගීතය ශිල්පී ෆීලික්ස් ඇන්ටන් සමග ගැයුවේ ඇයයි.

ක්‍ෂේත්‍රයට ආගන්තුක ආධුනිකයෙකු වූ ‘ඩෙරික් ද සිල්වා’ නම් වූ යොවුන් ගායකයා ගේ අනාගතය පිළිබඳව ගැඹුරින් සිතා ඔහුට අතහිත දෙන්නට ‘ඡායා මාවා පා සිනා………….’ යුග ගීතය ගයන්නට එකපයින් ඉදිරිපත් වූයේ ඇයයි.

පෙරකී ශ්‍රේෂ්ඨත්වය නිරහංකාරබව නිහතමානීත්වය හිසින් දරා තමා වටා රැඳෙන ලොකු කුඩා බලවත් – දුබල – දිළිඳු – ධනකූවේර සියල්ලන් වෙත සමීපව සොයුරියක සේ යෙහෙළියක සේ අල්ලප සල්ලාපයේ යෙදී ඔවුන් සනසා සිත් අංශූ මාත්‍රයකින් හෝ නොතැලූ සුර රැජිනිය ඇයයි.

ප්‍රිය රසිකය, ඔබ මෙලොවට පැමිණෙන එනවිට ඇය නික්ම ගොස් ඇතිවා වන්නට ඇත. එදාමෙදාතුර ඔබට ගායන – රංගන කලාවේ යෙදෙන්නියන් කොතෙකුත් මුණ ගැසෙන්නට ඇත. එහෙත් කිසිදිනක ඔබට ‘රුක්මණි දේවී’ එනම් ක්ෂේත්‍රයේ සමකාලීනයන් ඩේසි අක්කා නමින් ආදරණීයව ඇමතූ ඇය වැන්නියක හමු නොවනවා නිසැකය එපමණක්ද නොව, ඈ එදා මෙදා තුර තැබූ ඒ සොඳුරු ‘වාර්තා’ බිඳහෙළනට සමත් වන්නියක් හමු වේ යැයි සිතීම අසීරුය.

ඇය එදා ‘ස්වර්ණ ගී’ ප්‍රසංගයෙන් වේදිකාව වර්ණවත් කරන්නට සැදීපැහැදී සිටියාය. එහෙත් ඇයගේ දෛවය ඊට අවසර නොදුන්නේය. කම් නැත, මෙලොව විරළව පහළවන විරළව හමුවන, ඇය කවුරුන්දැයි ඉතා හොඳින් දැන හඳුනාගත් කෘතගුණ දත් කලා ශීල්පී ශිල්පිනියන් ඇය නික්ම ගිය යාමයේ එකාවන්ව ‘ස්වර්ණ ගී’ පෙළකින් තම සදාදරණීය ඩේසි අක්කා වෙත ප්‍රතිභා ප්‍රණාම පූජා පිරිනැමූහ.

ඇයගේ අකල් වියෝවින් ප්‍රකම්පිත වූ එදා සහෝදර කලාකලරුවන් රුව ගුණයෙන් අනූන සිය ආදරණිය ඩේසි අක්කා සිහිකරමින් ගී පදවැල් මාලාවන් ගෙතූහ. සමරු ගී එකක් දෙකක් නොව ගීත ඇල්බමයක් ම නිකුත් කරන්නට කටයුතු කළහ. ඇය ගේ නාමයෙන් සමරු ගී තැටියක් වෙළෙඳ පොළට නිකුත් කළේය. ඒ ලාංකීය රසිකයන් අදට වඩා ගීත උන්මාදයෙන් දැඩිව පෙළෙමින් සිටි යුගයකදීය. ඒ ගී තැටියේ සුවිශේෂීත්වය නම් ඇය ගැයූ ජනප්‍රිය ගී තනු ප්‍රතිනිර්මාණයෙන් එකී සමරු ගීත බිහිකරන්නට කටයුතු කිරීමයි.

ගීත රචක නැසීගිය අජන්තා රණසිංහයන් එක් එක් තනුවට යුහු යුහුව ගී පදවැල් ගෙතූවේය. නැසිගිය සරත් බාලසූරිය සංගීතවේදියාණන් ඇය ගැයූ අමයුරු ගී තනු පිරිපහදු කර දුන්නේය. ලාංකීය සිංහල සිනමා කලාවේ මුල් යුගයේදී ඇය හා රිදීතිරයේ පෙම් යුග ගීත ගැයූ අල්හාජ් මොහිදීන් බෙග් සහ ධර්මදස වල්පොළ ද සමගින් ඇය පියමං කළ ගී මාවතේ පිය නැගූ කලාශූරී ලතා වල්පොළ, සිසිර සේනාරත්න, ඉන්ද්‍රානි විජය බණ්ඩාර යුවළ ද ඇයගේ යුගයේ අනුප්‍රාප්තික ජනකාන්ත ගායන තාරකාවන් වූ ජෝති සහ ඇන්ජලීන් ගුණතිලක ද ඇය ගේ ගුණවයා සමරු ගී පුෂ්පෝහාරය දැක්විය.

ගීතයේ නිම් නාදෙන් උපන්..
රාජනීය රාජධානියේ කුසුම්
මාලිනියේ කැලෑ හඳේ හෙඵ සුසුම්….
තාම පාව ඒ නිරන්තරේ සෙමෙන්….
හෝ….. තාරක දිලි දිලි ගුවන් තලේ..
හෝ..සේපාලිකා මලින් පවන් සැලේ
මේ රාත්‍රියේ රාව දේ දුරින්..
ගීතයේ නිම් නාදෙන් උපන්….

රජනි රාජධානියේ උපන්…
ගායනා කෙරු උදාන ගී සුපෙම්…
හෝ…. තාරුක නිවි නිවි නිසංසලේ..
හෝ…සේපාලිකා මලින් සුසුම් නැගේ..

මේ රෑ නගී පාඵවෙ දුරින්…
රාජනීය රාජධානියේ කුසුම්
ඒ ගැයුව සෝක ගායන සුසුම්…

(රානි යන්කෝ නදී මපෙම්….) අනුකාරක හින්දි ගී තනුව අනුව ගැයේ. තනුව ඇතුළත් මුල් සිංහල ගීතය අඩංගු සිනමා පටය – අයිරාංගනී – (1954) නිෂ්පාදනය – මීගමුවේ මිනර්වා නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන් වූ රුක්මණි දේවි සහ එඩි ජයමාන්න යුවළ ඇතුළු දිවංගත බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න. මුල් සිංහල ගීතයේ ගැයුම – රුක්මණි දේවි සමග දිවංගත මොහිදීන් බෙග් සමග රුක්මණි දේවී මුල් ගී පද රචනය – දිවංගත ඒ ජේ ද සොයිසා ඉහත උපහාර ගීතය නිර්මාණය වසර – 1978 ජෙම්ටෝන් තැටි ලේබලය සේයාරුව – අවසාන යුග ගීතය ගැයීම නවක ශිල්පී දිවංගත ඩෙරික් ද සිල්වා සමග – 1978 සහ ස්වර්ණ ගී සමරු කලාපය – ඔක්තෝබර් 1978

‘අයිරාංගනී’ සිනමා තොරතුරු – උපුටාගැනීම –
සිංහල සිනමා ගීත පුස්තකය – මහාචාර්ය සුනිල් ආරියරත්න

ප්‍රභාත් රාජසූරිය

එදා නොගැයූ ස්වර්ණ ගීය

advertistmentadvertistment
advertistmentadvertistment