එදා පාඩු ලැබූ සතොස අද ලාභ ලබනවා – ඇමැති බන්දුල ගුණවර්ධන

256

වසර ගණනකට පසු පසුගිය දෙසැම්බර් මාසය තුළදී පමණක් සතොස රුපියල් මිලියන 45 ක ශුද්ධ ලාභයක් ලබා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එමෙන්ම සතොස මේ වසරේදී බිලියන  43 ක වාර්තා ගත වාර්ෂික ආදායමක් ලබා ඇති බව පැවසූ ඇමැතිවරයා පාඩු ලබමින් තිබූ සතොස ජනතාවට සහන මිලට භාණ්ඩ සපයමින් ලාබ ලබන තත්ත්වයට පත්කිරීමට හැකි වූ බවත් පැවසීය.

පසුගිය පාලන කාලයේ සතොස රුපියල් බිලියන 20 ක අලාභයක් ලබා තිබූ බවත්, සැපයුම්කරුවන්ට ගෙවීමට තිබූ රුපියල් බිලියන 8 ක් සමඟ රුපියල් බිලියන 28 ක අලාභයක් ලබා තිබූ බවත් පැවසීය.

මෙම ආයතනය භාරගෙන ඉතා කෙටි කාලයක් තුළ ලාබ ලබමින් සේවකයන්ට මේ වසරේදී වාර්ෂික ප‍්‍රසාද දීමනා ලබාදීමට හැකි වූ බවත් සඳහන් කළේය. මෙවර සතොස ලාබ ලැබූ නිසා සියලූ සේවකයන්ට රුපියල් 30,000 බැගින් වාර්ෂික ප‍්‍රසාද දීමනා ලබාදීමට හැකි වූ බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

වසර ගණනක් පාඩු ලබමින් තිබූ ආයතනයක් අද ලාබ ලබන තත්ත්වයට පත්කිරීමට හැකිවීම අප ලැබූ ජයග‍්‍රහණයක් බවත් පැවසූ ඇමැතිවරයා සතොස පවත්වාගෙන යන්නේ සාමාන්‍ය ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ සහනදායී මිලට සැපයීමට බවත් පැවසීය. සතොස ලැබූ දල අලාභය පසුගිය වසරට වඩා මේ වසරේ සියයට 56 කින් අඩුකර ගැනීමට හැකි වූ බවත් සඳහන් කළේය.

අනුර බාලසූරිය
 

advertistmentadvertistment
advertistmentadvertistment