එදා පාපන්දු දැවැන්තයන් වූ ශ‍්‍රී ලංකාව

700

දකුණු ආසියානු පාපන්දු තරගාවලිය මාලදිවයිනේදී පෙරේදා (01 වැනිදා) ආරම්භ වූයේ සුවහසක් පාපන්දු ලෝලීන්ගේ බලාපොරොත්තු මුදුන්පත් කරමිනි. කොරෝනා නිසා කල් දැමුණු පාපන්දු තරගාවලි අතර දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ද විය. එහෙත් එයට මාලදිවයිනේදී යළි පණ ලැබිණි.

ශී‍්‍ර ලංකාව අද පාපන්දු කී‍්‍රඩාව තුළින් පහළට වැටී සිටියද එදා එනම් 1995 වසර වන විට ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයෝ කලාපයේ ප‍්‍රබලයෝ වූහ.

1995 වසරේ දක්ෂිණ ආසියානු රටවල පාපන්දු ශූරයින් ලෙස කිරුළ දරමින් කලක් කලාපයේ බලවතෙකු සේ ශ‍්‍රී ලංකා පාපන්දුව දිස් විය. 1995 බ‍්‍රසීල ජාතික මාකෝස් පෙරෙයිරා මහතා සහ ඔහුගේ පුතුගේ සුසංයෝගයෙන් පිටියට පිවිසි සම්පත් පෙරේරාගේ නායකත්වයෙන් සැදුම්ලත් ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායම එවර අවසන් තරගයේ දී ප‍්‍රබල ඉන්දියාව පරදා ගෝල් 01 – 00 ක ජයග‍්‍රහණයක් සටහන් කර ගැනීමට සමත් විය.

ශ‍්‍රී ලාංකේය පාපන්දු ඉතිහාසය තුළ නොමැකෙන මතක සටහන් එක් කළ සුවිශේෂී තරගයක් ලෙස මෙම ජයග‍්‍රහණය හැඳින්වීම නිවැරදිය.

එම අවසන් තරගයේ දෙවන භාගයේ දී ඩබ්ලිව්. ඞී. සරත්ගේ හිසින් සටහන්වූ ‘‘රන් ගෝලය’’ ශ‍්‍රී ලංකාවේ පාපන්දු ජයග‍්‍රහණ අතර රන් අකුරින් එදින ලියැවුණි.

අතිරේක ක‍්‍රීඩකයෙකුව සිට පිටියට පිවිසි සරත් මෙම තරගයේ දී පන්දුව ස්පර්ශ කළ එකම අවස්ථාව ද මෙය වීම විශේෂත්වයකි. දකුණු අන්තයේ සිට මොහොමඞ් අමනුල්ලා ඉහළින් එල්ල කරන ලද පන්දු පහර මැනවින් ගෝලයක් බවට පරිවර්තනය කිරීමට එහිදී ඩබ්ලිව්. ඞී. සරත්ට හැකි විය.

එහි ප‍්‍රතිඵලයක් ලෙස පාපන්දු ඉතිහාසයේ පළමුවරට සාර්ක් රන් කුසලානය ශ‍්‍රී ලංකාව සතු විය.

තෙතබරිත සුගතදාස ක‍්‍රීඩාංගණය තුළ එදින ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් වෙතින් ප‍්‍රදර්ශනය වූ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මුසු පන්දු හුවමාරුව කැපී පෙනුණි. මෙම තරගාවලියේ දක්ෂතම ක‍්‍රීඩකයා ලෙස ශ‍්‍රී ලංකාව නියෝජනය කළ පෙර පෙළ ක‍්‍රීඩක මොහොමඞ් අමනුල්ලා නම් කෙරුණි. ලලිත් වීරසිංහ දක්ෂතම ගෝල් රකින්නා ලෙස සම්මාන ලැබීය.

ඉන් අනතුරුව මාලදිවයින ජාතික නිදහස් දින සැමරුම් පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගනිමින් පුනර්ජීවය ලැබූ බවක් ශ‍්‍රී ලංකා පිල වෙතින් දිස් විය. ඒ 1999 වසරේදීය. එහෙත්, ඊට පසුව සුපුරුදු ආක‍්‍රමණශීලී දක්ෂතා ශ‍්‍රී ලංකා පිල වෙතින් නිරන්තරයෙන් පෙනෙන්නට නොතිබීම හේතුවෙන් දකුණු ආසියාතික කලාපයේ ප‍්‍රබල ස්ථානයක් හිමි කර ගැනීමට පවා නොහැකි විය.

පරාජයේ අවමානයෙන් මිදීමේ උත්සාහයක නිරත වී සිටින ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනය පසු ගිය කාල සීමාව තුළ ක‍්‍රීඩකයින් බල ගන්වමින් ජාතික සංචිතය ක‍්‍රියාත්මක කිරීමට උත්සාහ ගත් බවක් පෙනෙන්නට තිබුණි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ද්විත්ව පුරවැසි භාවය හිමි පළපුරුදුම ක‍්‍රීඩකයින් කිහිප දෙනකුම ශ‍්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ගත්තේය. මොහොමඞ් වසීම් රාසික්, ඩිලන් සෙනන් ද සිල්වා, මර්වින් හැමිල්ටන් සහ එඩිසන් ෆිගරාඩෝ ඒ අනුව මෙවර ශ‍්‍රී ලංකා පිල ශක්තිමත් කරයි. ශ‍්‍රී ලංකාවේ දී සහ සෞදි අරාබියේ දී ලබාදුන් පුහුණුව තුළින් මෙවර තරගාවලිය තුළ පෙරළියක් සිදු කරනු ඇතැයි පාපන්දු ලෝලීන්ගේ අපේක්ෂාව බවට පත්ව තිබේ. කලක් මාලදිවයිනේ වෘත්තීය ක‍්‍රීඩකයෙකු ලෙස තරග කළ සුජාන් පෙරේරා මෙවර තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය සපයන අතර ඔහු මෙරට සිටින අංක එකේ පාපන්දු දැල රකින්නා ද වෙයි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment