එදා වතු කම්කරුවන්ට හඬක් නඟන්නට සිංහල ඒබ්‍රහම්ටත් නායකත්වය දුන් අපූර්ව මිනිසා!

326

අද බොහෝ විට වතු කම්කරු අරගල ගැන කතා කරන විට නිනැතින්ම සිහියට එනුයේ දමිළ වතු කම්කරුවන් ගැන විය යුතුය. එහෙත් මේ රටේ වතු කම්කරු අරගලවලට සිංහලයන් දිවි පිදු ඉතිහාසයක් ද තිබේ. සිංහල ඉන්දියානු හා මෙරට දමිළ සෙසු ජාතීන් ද එදා එකාවන්ව වතු කම්කරු අරගලවලට එක්වූහ. ජීවිත කැප කළහ.

වතු කම්කරු වෘත්තීය සමිති අරගල ඉතිහාසයේ ප්‍රථම වතාවට සිංහලයකු දිවි පිදූ වතු කම්කරු වෘත්තීය අයිතීන් දිනා ගැනීම උදෙසා වූ අරගලයට එදා නායකත්වය දුන්නේ ඔහුය. ඔහුගේ ක්‍රියාකාරිකයකු වූ ඒබ්‍රහම් සිංඤ්ඤෝ නමැත්තෙක් එදා ආගරපතනේදී පොලිස් වෙඩි පහරකින් ජීවිතක්ෂයට පත්වීම නිසා උද්ගත වූ තත්ත්වය පාලනය කිරීමට එදා බලධාරීහු මහත් උත්සාහයක් ද ගත්හ. වතු කම්කරු ක්‍රියාකාරිකයාගේ දේහය රැගත් පෙළපාලියේ ඔහු ගමන් කළේ දහස් සංඛ්‍යාත ජන ගංඟාවක් ද සමගිනි.

1943 වර්ෂයේ දිනක කොළඹ අලුත්කඩේ උසාවියේ පෙනී සිටි නඩුවක විත්තිකරුවකු විය. බ්‍රිතාන්‍ය රජයට එරෙහිව කැරලි ගැසීම් සිදුකරන අන්දමේ කතාවක් පැවැත්වීම ඔහුට විරුද්ධව වූ චෝදනාව විය. ජූරි සභාව ඔහු නිවැරැදිකරු බවට තීන්දු කළේය. බ්‍රිතාන්‍ය ජාතික විනිසුරුවරයා තම තීන්දුව ප්‍රකාශ කර සිටියේ තිත්ත බෙහෙතක් බොන්නාක් මෙන් දැඩි අකමැත්තෙනි.

1959 බළන්ගොඩ පිහිටි පිටියාගල වත්තට බලහත්කාරයෙන් ඇතුළුවීම පිළිබඳව ඔහුට නඩු පැවරුණි. මහෙස්ත්‍රාත් නඩු විභාගයේදී ඔහු ඇතුළු අනෙක් අය මාස දෙකක් බන්ධනාගාරගත කිරීමට නියෝග කෙරිණි. එම තීන්දුවට එරෙහිව ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක් පවා ඉදිරිපත් කළ මුත් එය නිෂ්ප්‍රභ කෙරිණි. සිර දඬුවම් ස්ථිර විය. පසුව ඔහු එම තීන්දුවට විරුද්ධව ලන්ඩන් ප්‍රීවි කවුන්සලයට ඇපෑලක් ඉදිරිපත් කළේය. ඩිල්හෝන් නමැති විනිශ්චයකාරවරයා ඇපෑලට ඉඩ දෙමින් සිර දඬුවම අවලංගු කළේය.

මෙරට වතු කම්කරු වෘත්තීය අයිතීන් ලබාදීමේ හා ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම උදෙසා වූ අරගලයේදී ‘අබ්දුල් අසීස්’ නම් වූ විශිෂ්ට මිනිසාගේ භූමිකාව එවන් අනන්ත වූ සිදුවීම්වලින් යුක්ත වූවකි.

ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමා ජන්ම ලාභය ලැබූ පොර්බන්දර් නගරයේ දීම 1912 ඔක්තෝබර් 06 වැනිදා ඔහු ද උපත ලැබීය. අසීස්ගේ පියා වූයේ ගුලාන් හුසේන් රෙයිමු මහතා ය. මෙරට කලක් ප්‍රකටව පැවැති රේමු සන්ස් ව්‍යාපාරය ඔහුට අයත්ව තිබිණි. ඉන්දියාවේ ප්‍රකට මහන මැෂින් හා සෙසු විද්‍යුත් උපාංග ‘ඌෂා’ නම් වෙළෙඳ ජාලයේ මෙරට පළමු කර්මාන්ත ශාලාව හා ව්‍යාපාරය ඇරඹුවේ ඔහු විසිනි. අබ්දුල් අසීස් මහතා කරච්චියේදී ද්විතීක අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය කරච්චියේදී හා බොම්බායේදී හැදෑරීය. බොම්බාය විශ්වවිද්‍යාලයේදී වාණිජ පිළිබඳ උපාධිය ද හෙතෙම ලැබීය.

ඔහු ද්විතියික අධ්‍යාපනය ලබන කාලයේදී ශිෂ්‍යයන්ගේ සමිතියක් පිහිටුවා ගනු ලැබීය. එහි අරමුණ වූයේ අසරණුන්ට පොත් මිලදී ගැනීමට හා පාසල් ගාස්තු ගෙවීමට සහාය වීමයි.

තම පියාගේ ව්‍යාපාර කටයුතුවලට සහාය වීමට අබ්දුල් අසීස් මහතා මෙරටට පැමිණියේය. මෙරට වතු කම්කරු ජනතාවගේ විමුක්ති අරගලයට ඔහු තම නායකත්වය ලබාදුන්නේ සුඛෝපභෝගී ධනවත් ජීවිතයකට උරුම වූ සැප සම්පත් පවා පසෙකට විසි කර දමමිනි. අධිරාජ්‍යවාදී පාලනය හමුවේ සූරාකෑමට හා තාඩන පීඩනයන්ට ගොදුරු වී සිටි වතු කම්කරු ජනතාව ඉන් බේරාගෙන ඔවුන්ගේ ජීවිත උසස් තලයකට ගෙන ඒමට හෙතෙම තම ජීවිතයම කැප කළේය.

එදා වතු කම්කරුවන්ට හඬක් නඟන්නට සිංහල ඒබ්‍රහම්ටත් නායකත්වය දුන් අපූර්ව මිනිසා!

අසීස්ගේ ‘ජවසම්පන්න’ නායකත්වයට අධිරාජ්‍යවාදී නායකයන් මෙන්ම වතු හිමිකරුවන් ද බිහි වූහ. කුමන හෝ වරදක් මත ඔහුට චෝදනා ගොනු කොට සිරගත කරලීමට පාලකයන් ප්‍රයන්ත ගත් අවස්ථා අපමණය. එහෙත් එම කිසිදු මර්දනයකින් අසීස් නිහඬ කළ නොහැකි විය.

ඔහුගේ පුරෝගාමීත්වය ඇතිව 1939 ඇරඹුණු ලංකා ඉන්දියානු කම්කරු සංගමය වාර්ෂික සැසිය ඇමතීමට ඔහුට සිදු විය. 1943 මාර්තු මාසයේ බදුල්ලේ පැවැති එම සැසියේදී ඔහු කළ කතාව මහ රජතුමාට විරුද්ධව අපකීර්තිමත් මෙන්ම කැරලි ගැසීමට තුඩු දෙන බව පවසමින් එම කතාව නඩු භාණ්ඩයක් ලෙස උසාවියට ඉදිරිපත් කෙරිණි. එම නඩුවේ ජූරිය බ්‍රිතාන්‍ය වැවිලිකරුවන් ගෙන් සමන්විත වුවහොත් තමාට ස්ථිරවම දඬුවම් ලැබෙන බව තේරුම් ගත් ඔහු දෙමළ භාෂාව කතා කරන ජූරි සභාවක් ද ඉල්ලා සිටියේය. ඔහුගේ එම ඉල්ලීම ඉටු කරන්නට සිදුවිය. ඒ අනුව පත් කෙරුණු හත් දෙනකුගෙන් යුත් ජූරි සභාව විත්තිකරු නිදහස් කොට නිදහස් කළේය.

මේ සුවිශේෂ පුද්ගලයා ඉන්දියාවේ සිට මෙරටට විත් ශ්‍රී ලාංකීය භූමිය තුළ වතු කම්කරු විමුක්ති අරගලයට අතීත නායකත්වයක් සැපයූ 1939 දී මෙරට ඇරඹුණු ලංකා ඉන්දියානු වතු කම්කරු කොංග්‍රසයේ නිර්මාතෘවරයා වූ අබ්දුල් අසීස් මහතාය. ඉනික්බිතිව ඔහු හා ලංකා ඉන්දියානු වතු කම්කරු කොංග්‍රසයට එක්ව සිටි ආර්. තොන්ඩමන් මහතා පසු කලෙක ඉන් ඉවත්ව ලංකා කම්කරු කොංග්‍රසයට නායකත්වය දුන්නේය. අබ්දුල් අසීස් මහතාගේ ජ්‍යෙෂ්ඨ පුතණුවන් වන අශ්රොෆ් අසීස් මහතා අද තම පියා ඇරැඹූ සංවිධානයේ අසීස් ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු කොංග්‍රසයේ වත්මන් නායකත්වය හොබවයි. අබ්දුල් අසීස් නමැති සුවිශේෂ විප්ලවවාදී චරිතය පිළිබඳ අශ්රොෆ් අසීස් කළ හෙළිදරව්වකි මේ.

“මහත්මා ගාන්ධිතුමා උපත ලද පොර්බන්දර් ගම්මානයෙන් ජන්ම ලාභය ලැබූ තම පියාට මහත්මා ගාන්ධිතුමා වරෙක හමු වූ අපූර්ව සිද්ධිය ද අසීස් මහතා මෙම පිළිසඳරේ දී අපට හෙළි කළේය.

මගේ පියා ලංකාවට විත් මෙරට ඉන්දියානු වතු කම්කරු ජනතාවගේ විමුක්ති අරගලයට දායක වූ සමයේ විටින්විට ඉන්දියාවට ගිහින් තම උපන්ගම් පළාතේ සංචාරය කළා. එහෙම ඉන්න විට පියාට ඕන වුණා ගාන්ධිතුමා හමුවන්න. එහෙත් ගාන්ධිතුමා හමුවන්න එහෙම වෙලාවක් ගන්න එක අමාරු කටයුත්තක් වුණා. එහෙත් එතුමාගේ අනුගාමිකයන් කියා තිබෙනවා මහත්මා ගාන්ධිතුමා ඇවිදින්න යනවිට ඔබත් ඇවිදින්න ආවොත් එසේ යන ගමන් කතා කළ හැකියි කියලා. ඒ අනුව ගාන්ධිතුමා ඇවිදින්න යනවිට පියාත් එතුමා සමග ඇවිදින්න ගියා. යනවිට පියා තමා ඉන්දයාවේ සිට ලංකාවට ගිහින් කරන සටන ගැන ගාන්ධිතුමාට කියා තිබෙනවා.

එදා වතු කම්කරුවන්ට හඬක් නඟන්නට සිංහල ඒබ්‍රහම්ටත් නායකත්වය දුන් අපූර්ව මිනිසා!

ලංකාවේ නිදහස් සටන කොහොමද? ඉන්දියානුවන්ට රටේ සැලකිල්ල කෙබඳු ද යන ප්‍රශ්න ගාන්ධිතුමා තාත්තාගෙන් අසා තිබෙනවා. පියා ඒවාට උත්තර දෙනවිට ගාන්ධිතුමා ඉතා වැදගත් ප්‍රශ්නයක් පියාගෙන් පෙරළා අසා තිබෙනවා. ඒ වනවිට ඉන්දියානු නිදහස් අරගලයත් ප්‍රබල ලෙස තිබුණා. ගාන්ධිතුමා පියාගෙන් ඇසූ ප්‍රශ්නයට පියා විමතියට පත් වුණා.

ඔබ ජවහර්ලාල් නේරුතුමා ගැන දන්නවා ද? ගාන්ධිතුමා ඇසූවිට පියා “ඔව් දන්නවා” කීවේ කිසිවක් හිතා ගන්න ද බැරිවය. ඔහු ඉන්දියාවේ අගමැති කරන්නයි අපේ සූදානම. ඊට ඔහු සුදුසු ද? ගාන්ධිතුමා අසා තිබෙනවා.

මා වැන්නකුගෙන් එවැන්නක් අහන්නේ ඇයි? පියා විමතියෙන් ගාන්ධිතුමාගෙන් පෙරළා අසා තිබෙනවා. ශ්‍රී ලංකාවේ සිටින ඔබ වැනි අය නේරුතුමා ගැන දක්වන ආකල්පය අපට ඉතා වැදගත්.”

ගාන්ධිතුමා ඇසූ ප්‍රශ්නයට පියා පිළිතුරු දී ඇත්තේ “නේරුතුමාට වඩා සුදුස්සෙක් ඊට නැති බව අපේ හැඟීමයි. නේරුතුමා ගැන තමා දරන ආකල්පය ද ශ්‍රී ලාංකීය ජනතාවගේ හැඟීම් ද ගාන්ධිතුමාට පළ කර තිබෙනවා. පියා තම ජීවිතයේ හැමදාම මේ අපූර්ව හමුව සිහිපත් කළා.”

1959 ජනවාරි වනවිට රටේ අග්‍රාමාත්‍යවරයාව සිටියේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතායි. බණ්ඩාරනායක මහතා සහ එම මැතිනිය අපේ පවුලෙ අය එදා ළඟින්ම ඇසුරු කළා. තාත්තත් බණ්ඩාරනායක මහතා සමග දැඩි මිත්‍රත්වයකින් කටයුතු කළා. එකල ඒබ්‍රහම් සිංඤ්ඤෝ ඝාතනය වීමෙන් පසු වතුකරය පුරාම ආන්දෝලනයක් හට ගත්තා. අගමැති බණ්ඩාරනායක මහතා මැදිහත් වී සාකච්ඡාවක් ද ලබා දුන්නා. එහෙත් පියාගේ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු සංගමය පිළිගැනීමට වෘත්තීය සමිතියක් තුළ සංවිධාන වීමට වතු හාම්පුතුන් කැමති වුණේ නැහැ. කම්කරුවන් පොලිසිය ලවා මර්දනය කරවීම වතු හාම්පුතුන්ගේ පිළිවෙත වුණා. එදා ඒබ්‍රහම් සිංඤ්ඤෝගේ අවමඟුලට 50,000කට අධික ජන ගඟක සහභාගි වුණා. සමසමාජ නායකයන් වූ ඇන්. ඇම්. පෙරේරා, කොල්වින් ආර්. ද සිල්වා ඇතුළු වමේ නායකයන් ද අවමඟුලට එක්වුණා. වතු පාලකයන්ට අන්තිමේ වතු කම්කරුවන්ට සංවිධානය වීමට හා වෘත්තීය සමිතියක පිළිගැනීමකට එකඟ වීමට සිදුවුණේ එම දිවි පිදූ කම්කරු සහෝදරයාගේ මළගම දවසෙයි. බණ්ඩාරනායක අගමැතිවරයාත් ඊට මැදිහත් වීම උපරිම ලෙස කළ බවයි අපේ හැඟීම. එම අවුරුද්දේම බණ්ඩාරනායක අගමැතිතුමත් ඝාතනය වුණා. අධිරාජ්‍යවාදී කඳවුරු තුළින් අප මාතෘ භූමිය මුදා ගැනීමේ අරගලයට අසීස් දැක්වූ කැපවීම ගැන සිහිපත් කළ අශ්රොෆ් අසීස් “තාත්තා හැමවිටම අවධාරණය කළේ පළමු අප රටට නිදහස ලබාදිය යුතු බවයි. සෝල්බරි කොමිසම සමග පවා තාත්තා දැඩිව කීවේ පළමුව අප රටට නිදහස දෙන්න. අපට අවශ්‍ය ආණ්ඩු ක්‍රමයකට ඉඩ දෙන්න. අපි සිංහල ජනතාව කෙරෙහි විශ්වාසය තබනවා. අපේ ප්‍රශ්න අප දෙවනුව විසඳා
ගන්නම්” යන්නයි.

1952 මුල් භාගයේ දිනෙක කොළඹ 11 කෙලින් වීදියේ ස්ථානයකින් ඇරඹුණු දහසකට අධික ජන සහභාගිත්වයක් දැරූ පෙළපාලිය කොල්ලුපිටිය අරලියගහ මන්දිරය (අගමැති නිවස) කරා ගමන් ගැනීම ඇරඹුණි. මද දුරක් යද්දී කොළඹ කොටුව ප්‍රදේශයේදී පොලිසිය ඔවුන්ගේ ගමන නවත්වන්නට උත්සාහ කළ නිසා පෙළපාලියේ ගමන් ගත්තවුන් සත්‍යග්‍රහයක යෙදෙන්නට පටන් ගත්හ. බැටන් පොලු ප්‍රහාර එල්ල කර අශ්වාරෝහක කණ්ඩායම්වල ද සහායෙන් විරෝධතාව මැඬ පැවැත්වීය. ජනතාවට නායකත්වය දෙමින් සිටි අසිස් සහ ආර්. තොණ්ඩමන් අල්ලාගෙන වෑන් රථයක නංවාගෙන සැතපුම් 25ක් පමණ ඈත ප්‍රදේශයක දමා ගියා. මේ දෙදෙනා හඳුනාගත් එම ප්‍රදේශයේ පිරිස් ඔවුන්ට සත්කාරකොට කොළඹ බලා පිටත් කර යවා තිබෙනවා. ලංකා ඉන්දියානු කම්කරු සංගමය ඊළඟට රැස්වී ගත යුතු පියවර සාකච්ඡා කරන්නට වුණා. අනතුරුව අගමැති කාර්යාලයට නුදුරින් පිහිටි භූමියක දින පහක් නිරාහාර විරෝධතාවක යෙදෙන්න තීරණය වුණා. වතු කම්කරුවන් 500ක් පමණ ඊට එක්ව සිටියා. එසේ වුව ද රටවැසි භාවය නොදීම හා සර්ව ජන ඡන්ද බලය නොදීම එලෙසම ක්‍රියාත්මක වුණා. දීර්ඝ සටනක් අවසානයේ සංගමයේ නියෝජිත පිරිසක් ඉන්දියානු අගමැති ලෙස පත් වූ ජවහර්ලාල් නේරු හමුවීමට කටයුතු කළා. ඒ පිළිබඳව පැවසූ අශ්රොෆ් අසීස් එදා නේරු අගමැතිතුමා හමුවීමට ගිය පිරිසේ තාත්තත් ඇතුළත් වුණා යැයි කීය. ඒ අනුව පැවැති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස දෙරටේ අගමැතිවරුන් වූ නේරු සහ අප රටේ අගමැතිව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල අතර ගිවිසුම මගින් රටවැසි භාවය ඉල්ලා තිබූ අයැදුම්පත් පිළිබඳ සලකා බැලීම ඉක්මන් වුණා. ලංකාවේ පදිංචිව සිටි ඉන්දියානු අය සඳහා ආසන 4ක වෙන් කිරීමට පියවර ගත්තා. මැයි දිනය, සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය ද වැවිලි කර්මාන්තයේ නිරත කම්කරු පන්තියට වැටුප් සහිත නිවාඩු දින බවට පත් කරන්නට ඔහු ද සටනේ පෙරමුණෙහි සිටියේය.

ඔහු නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තුවේ මහජන මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළේය. අබ්දුල් අසීස් මහතා වතු කම්කරු ජනතාවට කළ මෙහෙවර අගයමින් 1970 දී බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය තම රජයේ පත් කළ මන්ත්‍රීවරයකු ලෙස ද අසීස් මහතාව පත් කරනු ලැබීය. මේ රටේ ස්වෛරීවත්වය පළමුව පතමින් තම ජනතාවගේ විමුක්තිය උදෙසා ජීවිතය කැප කළ අබ්දුල් අසීස් මහතා 1990 අප්‍රේල් 29 වැනිදා අභාවප්‍රාප්ත විය.

නාරද නිශ්ශංක

advertistmentadvertistment
advertistmentadvertistment