එදා ‘සුද්දගේ බද්ද’ ගහපු හැටි

139

සිරිලක් වැසියන් අද දවසේ මුහුණ දී සිටින්නේ බලවත් අභාග්‍ය සම්පන්න තත්ත්වයකටය. එදිනෙදා ජීවනය ගෙනයෑම කෙසේ වෙතත් තම පණනල ගැටගසා ගැනීමට දැඩි සටනක් කිරීමට ඔවුනට සිදුව තිබේ. එසේ තිබියදී ගහෙන් වැටුන ිමිනිහාට ගොනාත් ඇන්න පසුව අවට සුනඛයන් වට වී පසු පාද ඔසවා සුළු දියපහ කරනවා වැනි අවලම් ක්‍රියාද සිදු කෙරෙමින් පවතී. ඒ විවිධිකාර වූ හා විවිධ නාම ඇති බදු වර්ගවලින් රජය, ජනතාව රිදවීමෙන්ය. ඉන් ජනතාව පීඩාවට, ගේඩාවට, විඩාවට පත්වී නට්ටන් වී සිටිති. එවන් ආර්ථික පීඩාවන් නිසාම කායික, මානසික පීඩනයන් උසුලන රටක ජනතාව තම 75 වැනි නිදහස් දිනය කෙසේ නම් නිදහසේ සමරනු ඇතිද?

කෙසේ වෙතත් රටක, ආර්ථික ස්ථාවරත්වයක් උදෙසා යම් පමණක බදු දායකත්වයක් ජනතාව දැරිය යුතු වනු ඇත. එහි වරද ඇත්තේ අසාධාරණ හා අයිති නොමනා බදු අය කිරීමයි.

පුරාතනයේ සිට රජ කාලයේත් ඉන් අනතුරුවත් යටත් විජිත යුගයේදීත් බදු අයකළ බව අපි දනිමු. එය යළි ස්මරණය කිරීම උචිතයයි හැඟේ.

අභාවප්‍රාප්ත මගේ දයාබර මෑණියන් කුඩාකල මා හට කියා දුන් කතාවක් තාමත් මගේ මතකයේ රැඳී තිබේ. ඒ අසාධාරණ බදු අය කිරීමක් සම්බන්ධවයි.

ගැමි ගොවියෙක් තම හේනේ වැවුණු වම්බටු ගෙඩි 08 ක් රැගෙන වෙළඳපොළට ගියේ ඒවා විකුණා මුදලක් හොයාගැනීම පිණිසය. ඔහු බටු ගෙඩි 08 ලේන්සුවක් මත තබා විකිණීමට සූදානම් වූවා පමණි. රැවුල කැරකැවු චන්ඩි බදු අය කරන්නා පැමිණ “කෝ ගනින් සුංගම් නමයක්” කියා ගැමියාට සැර කළේය. බිය වූ ගැමියා සුංගම් නමයක් දුන්නේය. ගැමියාගේ මුවින් පිට වූයේ

“අනේ රාළේ – මුනේ කාලේ”

අට වම්බටු – නව සුංගම්”

කියාය.

එදා කාලයේ බදු අය කිරීමේත්, අද දවසේ බදු අය කිරීමේත් වෙනසක් නැතුවා සේය.

සුදු අධිරාජ්‍යවාදීන්ට අප ජාතිය යට වී තැලී පොඩි වී සිටි සමයේදී අපට දැඩි හා වේදනාකාරි පීඩාකාරි බදු ගැසීම්වලට යටත් වීමට සිදු වී තිබිණි.

අදින් වසර 101 ට පෙරාතුව 1922 දී ලියන ලද තඹරොබුවේ පුංචි රාළ නම් වූ ගම් ආරච්චිලාගේ දින පොත මෙය සඳහා මනා ලිඛිත සාක්ෂි සපයයි. (උපකාර කළ තඹරොබුවේ ජිනදාස ගැමියාට තුති පුදමි.)

2-3-22

පළාතේ ඇවිද පාර බද්දෙන් නිදහස් වීමට සිටින උදවියට 10 වැනිදා උදේම නිකවැරටියට පැමිණෙන හැටියට දැනුම් දී ගමට ආවා. ත : පුංචිරාළ

10-03-22

උදේ නිකවැරටියට පැමිණ පාර බද්දෙන් නිදහස් වීමට සිටින අයවලුන්ට ලැයිස්තුව සාදා මහා දිසා හාමුදුරුවෝ ඉදිරියට පැමිණ එම රාජකාරිය ඉවර වුණායින් පසු සවස නිකවැරටියේ සිටියා.

11-03-22

එසේම රාජකාරි සම්බන්ධව නිකවැරටියේ සිටියා

14-03-22

මොරගොල්ලේ තිස්බඹ පාරවල් බෙදා දුන්නා

18-03-22

දල්පොත ගමකට ගොස් මග පාරවල් හා තිස් බඹ පාරවල් ඉලි කරන්නට සියලුදෙනාට බෙදා දුන්නා

24-03-22

ගමේ සිටලා පාර බද්ද අය කරා

25-03-22

එසේම පාර බද්ද අය කළා

26-03-22

ගමේ සිටලා පාර බද්ද අය කළා

27-03-22

එසේම ගමේ සිටලා පාර බද්ද අය කළා

22-03-22

ගමේ සිටගන ඇග බදු අය කළා

31-03-22

ගමේ සිටලා ඇග බදු අය කළා

01-04-22

ගමේ සිටගෙන ඇග බදු අයකළා

04-04-22

නොම්බර 51 දරන කුදරවාදියේ පළාතේ මිනිස්සු 92 කුගෙන් අය කළ පාර බදු මුදල රුපියල් 138 ක් නිකවැරටියෙන් තැපැල් කන්තෝරුවට භාර දී නොම්බර 09005 දරන මනිඕඩරය සහ බල්ලන් පස් දෙනකුගෙන් අය කළ මුදල රුපියල් 02 ශත 50 ක් තැපැල් කන්තෝරුවට භාරදී නොම්බර 09006 දරන මනිඕඩරය රැගෙන එම මනිඕඩර් දෙක මගේ රපොර්තු දෙකක් සමග කුරුණෑගල කච්චේරියට ලැබෙන ලෙස තැපැල් කර හවස ගමට ආවා.

06-04-22

මොන්නෑකුලමේ ඉස්කෝලයට ගොස් නඩු තිබීමට හිඟ ලැයිස්තු සාදා තිබෙනවද කියා ගුරුවරයාගෙන් අසා නැති නිසා ගමට ආවා.

06-05-22

උතුමාණන් වහන්සේ මහවට යහපත් වීම ගැන තොරන් බැඳීමට මහවට ගියා

27-06-22

උදේ බස් එකේ කුරුණෑගලට රැගෙන කච්චේරියට ගොස් ඇග බදු ගනම් පියවා කොමිස් ලබාගෙන සවස කුරුණෑගල සිටියා.

මිනිසෙකුගේ සිරුරට (ඇගට) බදු මුදලක් අය කොට තවත් මිනිසෙකුට ඉන් කොමිස් මුදලක් ලබා දීම සුද්දාගේ නීච ක්‍රියාවක් බව පැවසිය යුතුමයි.

වත්මනයේ රජයට තවත් බදු මුදල් ඇවසි නම් “සුද්දාගේ” ක්‍රමය භාවිත කළ හැකිය. එනම් ඇගටත් බල්ලන්ටත් බද්දක් පමණක් නොව බළලුන්ට, හරකුන්ට, කුකුළන්ටත් බදු පනවා මුදල් ඉපයීමය.

මේ සිද්ධ වේගෙන යන හැටියට නම් එයද සිදු නොකරේවි යැයි විශ්වාස කළ නොහේ.

ටෙරන්ස් වනිගසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment