එන්නත් කාඩ් නැත්නම් පොදු ස්ථාන තහනම්

339

කොවිඞ් ව්‍යාප්තිය වැළැක්වීමට එන්නත නොගත් පිරිසට පොදු ස්ථානවලට ඇතුළු වීම වැළැක්වීම සඳහා මේ වන විට ලබාගෙන ඇති නීති උපදෙස් සැලකිල්ලට ගෙන, ඉදිරියේදී පොදු ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් කාඞ්පත අනිවාර්යය කිරීමට කොවිඞ් කමිටුව තීරණය කර ඇත.

කොවිඞ් මර්දන විශේෂ කමිටුව පෙරේදා (10 දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ.

එළැඹෙන උත්සව සමයේදී කොවිඞ් ව්‍යාප්තිය පාලනය සඳහා අධි මාත‍්‍රා එන්නත හෙවත් බූස්ටර් එන්නත ලෙස ලබා දෙන ෆයිසර් එන්නත ඉදිරි දෙසතියේ ලබා දී අවසන් කරන්නැයි ද මෙහිදී ජනාධිපතිවරයා කොවිඞ් මර්දන විශේෂ කමිටු සාමාජිකයන්ට උපදෙස් දී ඇත.

දෙවන මාත‍්‍රාවද ලබා ගෙන මාස 03ක් සම්පූර්ණ කළ සියලූ දෙනා අධි මාත‍්‍රාව ලබාගැනීමට සුදුසුකම් සපුරයි. ඒ අනුව එන්නත ලබාදෙන ඕනෑම ස්ථානයකින් ඊයේ (11 දා) සිට දිනපතා අධි මාත‍්‍රාව ලෙස ෆයිසර් එන්නත ගැනීමට අවස්ථාව සැලසෙයි.

සිදුකළ නිරීක්ෂණයන්ට අනුව මේ දිනවල වාර්තා වන කොවිඞ් ආසාදිතයන්ගෙන් ඉහළ ප‍්‍රතිශතය එන්නත නොගත් අය වන බවත්, ඉන් බහුතරය තරුණ පිරිස බවත් සෞඛ්‍ය අංශ නිලධාරීහු පෙන්වා දෙති. කොවිඞ් ආසාදිතව අසාධ්‍ය වීම සහ මරණ සංඛ්‍යාව අවම කරගැනීමට එන්නත ලබාගැනීම අනිවාර්යයෙන් සිදු විය යුතු ය. මේ පිළිබඳ තරුණ පිරිස් දැනුවත් කර, කඩිනමින් එන්නත ලබාදීමට පියවර ගන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

වයස අවුරුදු 16 – 19ත් අතර දරුවන්ට දෙවැනි මාත‍්‍රාව සහ 12 – 15ත් අතර සියලූ දරුවන්ට පළමු මාත‍්‍රාව ලබාදීමට අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශය සමග සැලසුම් කොට එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන්නැයි ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ ගොස් තිබේ. ගුවන් සමාගම් ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩිකර ඇත. සංචාරක ව්‍යාපාරයේ පවතින ප‍්‍රවර්ධනය සැලකිල්ලට ගෙන, පනවා ඇති සීමා තවදුරටත් ලිහිල් කිරීමට පියවර
ගන්නා ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment