එන්නත් කි‍්‍රයාවලියට ගොම බිඳු දමන්නෝ

186

කොරෝනා එන්නත් ලබා ගැනීමට පැමිණි පිරිසක් ගුටිබැට හුවමාරුවක නිරත වූ බව ආණමඩුවෙන් වාර්තා වෙයි. ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ පැවති මෙම එන්නත්කරණ වැඩසටහනට කඩාවැදුණු 5000 ක පමණ පිරිසක් මෙසේ කලහකාරී ලෙස හැසිරී ඇත. මෙය ඉතාමත් ශෝචනීය පහත් කි‍්‍රයාවකි. මුළු රටම කොරෝනා භීතියෙන් ඇලළෙද්දී කොරෝනා එන්නත ලබාදෙන ස්ථාන කොරෝනා පොකුරු නිර්මාණය කරන තැන් බවට පත් නොකර ගැනීමේ වගකීම ජනතාව සතුය. කොරෝනා එන්නත් ලබාදෙන ස්ථානයක යම් අඩුපාඩුවක් සිදුවුණත් මුග්ධ ලෙස හැසිරීමට කවුරුන් හෝ කි‍්‍රයාකරන්නේ නම් එය අප කිසිසේත් අනුමත කරන්නේ නැත.

ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ වයස අවුරුදු හැටට වැඩි සහ ගැබිනි මව්වරුන්ට ලබාදීම සඳහා කොරෝනා එන්නත් දස දහසක් ලබාදී ඇති බව වාර්තා වෙයි. එම එන්නත් ආණමඩුව, කොට්ටුකච්චිය, ගල්ගස්වැව සහ මහ කුඹුක්කඩවල යන ප‍්‍රදේශවලට එන්නත් 2500 බැගින් ලබාදීමට ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රවි අබේරත්න මහතා කටයුතු කර තිබුණු බවද වාර්තා වෙයි. කෙසේ වෙතත් වැඩිහිටියන්ට එන්නත් ලබාදීමෙන් අනතුරුව ඉතිරි වූ සුළු එන්නත් ප‍්‍රමාණයක් අවුරුදු තිහට වැඩි පිරිසකට ලබාදීමට යෑමේදී ඇතිවූ බහින් බස්වීම ගුටිබැට හුවමාරුවක් දක්වා දුරදිග ගිය බව පොලිසිය කියයි. ඉතිරි වූ එන්නත් ප‍්‍රමාණය ජනතාවට ලබාදීමේ වරදක් නොවුණත් විශාල පිරිසක් එන්නත බලාපොරොත්තුවෙන් සිටි ස්ථානයක මීට වඩා ප‍්‍රඥාගෝචරව කි‍්‍රයා කිරීමට අදාළ සෞඛ්‍ය බලධාරීන් කි‍්‍රයා කළේ නම් මෙවැනි කලබැගෑනියක් සිදුවන්නේ නැත.

මේ මොහොතේ මුළු රටේම ජනතාව සිටිනුයේ දැඩි තැතිගැන්මකිනි. එනිසා කොරෝනාවෙන් ගැලවීම සඳහා ඇති හොඳම විකල්පය වන එන්නත ලබා ගැනීම සඳහා ජනතාව තුළ ඇතිවී තිබෙන උනන්දුව නිසි ලෙස කළමනාකරණය කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමකි. කොරෝනා එන්නත් පෝලිම් නොහදා අදාළ එන්නත ලබා ගැනීමට නිශ්චිත දිනයක් වේලාවක් ලබා දෙන්නේ නම් එන්නත් පෝලිම් සෑදෙන්නේ නැත.

මේ අතර හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත් කොක්කාවිල රජයේ විද්‍යාලයේදී එන්නත්කරණය සිදුකරන අවස්ථාවේදී නීති විරෝධී ලෙස නියමිත වයස් කාණ්ඩයට අයත් නොවන අය සඳහා එන්නත් ලබා දීමක් පිළිබඳව හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ද වාර්තා වෙයි. මෙම එන්නත්කරණ වැඩසටහන පසුගිය 25 වැනිදා පැවැති අතර එහිදී ගැබිනි මව්වරුන්ට සහ වයස අවුරුදු තිහට වැඩි අය සඳහා ෆයිසර් එන්නත ලබා දීමට පියවර ගෙන තිබිණි. අදාළ එන්නත ලබා ගැනීම සඳහා විශාල පිරිසක් දිගු පෝලිමේ රැඳී සිටියදී පුද්ගලයන් කීපදෙනකු එන්නත් ලබාදුන් මධ්‍යස්ථානයේ පිටුපස වැටෙන් රිංගා පැමිණ එන්නත් ලබාගත් බවට ජනතාවගෙන් චෝදනා එල්ල විය. ඒ සඳහා සහයෝගය ලබාදුන් පවුල් සෞඛ්‍ය සේවිකාවකට හා වෛද්‍යවරයකුට ස්ථාන මාරුවීම් ලබාදී ඇති බවද පැවසේ.

වැටෙන් රිංගා එන්නත් ලබා ගැනීමට පැමිණ ඇත්තේ බස්නාහිර සහ උතුරු මැද පළාතේ පිරිසක් බවට අනාවරණය වී ඇත. මෙම පිරිස වෛද්‍යවරයකුගේ සමීපතයන් බවද පැවසේ.

මේ හා සමාන සිද්ධියක් පසුගිය කාලයේදී ගාල්ලෙන්ද වාර්තා විය. එහිදී කොළඹ දිස්ති‍්‍රක්කයේ පිරිසක් සංචරණ සීමාද උල්ලංඝණය කරමින් ගාල්ලට ගොස් තිබුණේ ඇස්ට‍්‍රාසෙනිකා එන්නත ලබාගැනීම සඳහාය. එම අවස්ථාවේදී ඇස්ට‍්‍රාසෙනිකා දෙවැනි එන්නත ලබාගැනීම පිළිබඳව විශාල ගැටලූවක් පැවති අවස්ථාවක මෙම අයථා කි‍්‍රයාව සිදුවී තිබිණි. මේ වනවිට රජය කොරෝනා එන්නත ලබාදීමේ

කි‍්‍රයාවලිය වේගවත් කරමින් ජනතාව කොරෝනා මාරයාගෙන් මුදාගැනීමේ මෙහෙයුමක නිරතව සිටින බවද සිහිපත් කළ යුතුව ඇත. එහිදී සෞඛ්‍ය අංශ මෙන්ම හමුදාවට සම්බන්ධ වෛද්‍ය අංශ එන්නත් ලබාදීමේ කි‍්‍රයාවලිය දිවා ? නොබලා වෙහෙසෙන අයුරුද අපට දැකගත හැකිය. තත්ත්වය එසේ තිබියදී ඉහත සඳහන් කළ සිදුවීම් කිරි කලයට ගොම බිංදුවක් දැමීම වැනිය. එනිසාම රටේ සමස්ත ජනතාව එකම වසංගතයක, එකම ගොදුරු බවට පත්ව ඇති මොහොතක කවුරුන් හෝ දීන කි‍්‍රයාවක යෙදෙන්නේ නම් අප එය කිසිසේත් අනුමත කරන්නේ නැත. මෙවැනි සිදුවීම් යළි සිදු නොවීමට අදාළ බලධාරීන් නොපමාව කටයුතු කළ යුතු බවද අවධාරණය කරනු කැමැත්තෙමු.

advertistmentadvertistment
advertistmentadvertistment