එන්න… විඳගන්න… කඩුගන්නාව දුර්ගයේ සුන්දරත්වය හා අපූරුව

1031

ශ්‍රී ලංකාවේ ස්වභාව සෞන්දර්යය විඳින්නට පවතින හොඳම නැරඹුම් (වේදිකා) පළවල් (View Points) අතර කඩුගන්නාවට හිමිවන්නේ ඉහළම ස්ථානයකි. මහනුවර – කොළඹ පාරේ පිහිටි කඩුගන්නාව, ගිරි දුර්ගයකින් සමන්විත වීම හා එහි එක් පැත්තක් තෙර නොපෙනෙන කඳු යායක් දක්වා පැතිර පැවතීම මෙසේ කඩුගන්නාව ඉතා හොඳ නැරඹුම් වේදිකාවක් නිර්මාණය කිරීමට හේතුවී ඇත. සුද්දන් ශ්‍රී ලංකාව යටත් කරගන්නා තුරුම කඩුගන්නාව ඔස්සේ ප්‍රධාන මාවතක් වැටී නොතිබුණු අතර, දැනටත් පවතින සුද්දා විදපු ගල අසලින් මඳක් ඉහළට ගොස් දකුණු දිශානුගතව පල්ලම් බැසීමෙන් අළුත්නුවර විෂ්ණු දේවාලය හරහා පැරණි සීතාවක රාජධානිය දක්වා ගමන් ගත් මාර්ගය පමණක් එදා සෙංකඩගල දක්වා වැටී තිබුණු බව කියනු ලැබේ.

එනමුත්, පරංගී, ලන්දේසී හා ඉංග්‍රීසීහු එදා උඩරට යටත් කරගන්නට දත කන සෑම අවස්ථාවකදීම මෙම පැරණි සීතාවක මාර්ගයෙන් හා කඩුගන්නාව දුර්ගය ඔස්සේ පැමිණ සිංහල හමුදාවට හා සෙංකඩගල රැකවලුන්ට පහර දුන්හ. සැබවින්ම මේ තුන් ජාතියටම උඩරට රාජධානිය යටත් කරගන්නට තිබුණු ලොකුම “ඇණය” වූයේ කඩුගන්නාව යැයි කීවාට වරදක් නැත. එසේ වන්නට හේතුවක් වූයේ කඩුගන්නාව දුර්ගයේ රැකවල්ලා සිටි සිංහල බලඇණි සතුරන්ට සැඟවී සිට දරුණු ප්‍රහාර එල්ල කිරීමය. මේ සඳහා ඔවුහු විවිධ උපක්‍රමද භාවිතයට ගනු ලැබුහ. ගල් පෙරළීම, දුනු විදීම, ලෝදිය හැලීම, උගුල් ඇටවීම වැනි උපක්‍රම මගින් සතුරු හමුදා පරලොව හැරියේ වරක් දෙවරක් නොවේ. සත්‍ය වශයෙන්ම කඩුගන්නාව දුර්ගය ඔස්සේ සතුරු ආක්‍රමණවලට මුහුණට මුහුණ සටන් කළ අපගේ වීරෝදාර සිංහල හමුදාවෝ කඩුගන්නාවේදී අවස්ථා කිහිපයකදීම උඩරට රාජ්‍යයට ජයග්‍රහණ අත්පත්කර දුන්හ.

එන්න… විඳගන්න… කඩුගන්නාව දුර්ගයේ සුන්දරත්වය හා අපූරුව
සිංහ කට දුම්රිය දුර්ගය

මේ සඳහා සිංහල හමුදාව කඩුගන්නාවේ “බැලුම්ගල” නම් ස්ථානය ඔත්තු බැලීමේ කටයුතු සඳහා භාවිත කළ අතර, එහි “මහා බැලුම්ගල” හා “කුඩා බැලුම්ගල” ලෙස මුරපළ දෙකක් තිබූ බව අතීත තතු දත් අය කියයි. එසේම, සතුරන්ට මුහුණ දුන් ප්‍රධාන සිංහල හේවා කඳවුර හා තවත් ඔත්තු සේවා කඳවුරක් පිහිටා තිබුණේ කඩුගන්නාව දුර්ගයේ පසෙක බලන කපොල්ල තුළය. එය බලන බලකොටුව නම් විය. එනම්, කඩුගන්නාව දුර්ගයේ වැදගත් ප්‍රවිෂ්ට ස්ථාන සියල්ලක් ආවරණය වන පරිදි පුළුල් ප්‍රදේශයක සිංහල හමුදා තම ආරක්ෂාව තහවුරු කරගෙන සිට ඇත. බස් රථයකින් හෝ වෙනත් වාහනයකින් පහළ කඩුගන්නාව පසුකරගෙන, ඈත ක්ෂිතිජ ඉමේ පෙනෙන බතලේගල, ඌරාගල කඳු පන්තිය, අරණායක සාමසර කඳු පන්තිය, දෙවනගල පුදබිම හා එහි තුරු වදුලේ අසිරිය විඳගනිමින් ගමන් කරන අපිට අතීතයේ මේ දුර්ගය තුළ සිදුවූ ආක්‍රමණ, සටන්, එම සටන්වල තරම, ජය-පරාජ පිළිබඳ කිසිදු අදහසක් නැත. එසේම, කොළඹ-මහනුවර දුම්රියේ නැගී රඹුක්කන, කඩිගමුව, ඉහළ කෝට්ටේ, බලන දුම්රිය ස්ථාන පසුකර කඩුගන්නාව දුම්රිය ස්ථානය දක්වා භයංකාර දුර්ගයක අසිරිය විඳගනිමින් ගමන් ගන්නා අපට මේ දුර්ගය තුළ ඇති දෑ මෙන්ම, අතීතයේදී මේ තුළ සිදුවූ පෙර කී ත්‍රාසජනක සිද්ධීන් මතකයට එන්නේ නැත. හුදෙක් සෞන්දර්යය චාරිකාවක් පමණක්ම වන කඩුගන්නාව හරහා ගමන විඩා නිවන, මනස සුවපත් කරන අගනා දර්ශන තලයක් ලෙස සලකනවා පමණක් මිස අප එහි වටිනාකම් සොයා යන්නේ නැත. එනමුත්, දවසක් කඩුගන්නාවේ ගතකර, ඒ අවට ඇති සෞන්දර්යය ස්ථාන පමණක් නොව, ඉහත කී, පැරණි ස්මාරක මෙන්ම, වැදගත් නැරඹුම් ස්ථාන හා මුරපළ පිහිටි ස්ථානද දැකබලාගන්නට හැකිනම්, කඩුගන්නාව කිසිදා මතකයෙන් ඈත් නොවන සංචාරක පාරාදීසයක් (Tourist Destination) වනවා නොඅනුමානය. අප එසේ කියන්නේ කඩුගන්නාවේ දිනක් ගතකර අප විසින්ම ලැබූ අත්දැකීම් අනුවය.

මේ අත්දැකීම ලබන්නට පසුගියදා අප කඩුගන්නාවට බලා සංචාරය කළෙමු. සැබැවින්ම මේ ගමන දුම්රියෙන් යන්නට තිබුණානම් තවත් අපූරු අත්දැකීමක් වන්නට ඉඩ තිබුණද, එවන් දුම්රිය සංචාරයකට පසුවට ඉඩ තබා, “සංචාරේ” අපේ කණ්ඩායමට මාවනැල්ලේ උතුවන්කන්දටද යන්නට වුවමනාව තිබුණු නිසා මේ ගමන අපි ගියේ මෝටර් රථයකිනි. මේ ගමන හර්ෂණ ජයතිලකගේ මෝටර් රථයෙන් ගිය අතර, ගමන සඳහා හර්ෂණ සහ මට අමතරව විශ්‍රාමික හමුදා නිලධාරියකු වන චරිත් දෙමටම්පිටිය හා රවීද සිල්වා එකතු විය.

එන්න… විඳගන්න… කඩුගන්නාව දුර්ගයේ සුන්දරත්වය හා අපූරුව
මහ බැලුම්ගල

උතුවන්කන්දේ ගමන උදෙන්ම නිමා කරගත් අපි (එම ගමන ගැන පසුවට කතාකරමු) කඩුගන්නාවේ අසිරිය හා එහි සැඟව ඇති අතීත තතු සොයා චාරිකා කළෙමු. ඒ යන ගමනේ අපි පහළ කඩුගන්නාවේදී ඈතින් නැගෙනහිර දෙසින් පෙණෙන බතලේගල, සාමසර කන්ද, දෙවනගල ඌරාගල කඳු වළල්ලේ අසිරිය පමණක් නොව, ඈතින් දර්ශනය වන රම්බොඩ උමග පිහිටි දර්ශන තලයද කැමරාවට නගා ගත් අතර, පළමුව කළේ කඩුගන්නාව මුදුණේ නැවතී එහි ඇති “ඩෝසන් කුලුන” තරණය කිරීමය. මහනුවර-කොළඹ මාර්ගය ඉදිකිරීමේ ඉංජිනේරුවරයා වන කැප්ටන් ඩෝසන් සිහිකිරීම සඳහා මෙම කුලුන ඉංග්‍රීසීන් විසින් ඉදිකර ඇත්තේ 1832දීය. මාර්ගය සාදන විට ඔහු මැලේරියා රෝගයට ගොදුරුව 1829දී ශ්‍රී ලංකාවේදී මිය යෑම නිසාය.

එන්න… විඳගන්න… කඩුගන්නාව දුර්ගයේ සුන්දරත්වය හා අපූරුව
කඩුගන්නාව දුර්ගය

තනි කුඹ ගසක් වැනි ලීයක් භාවිත කර මෙහි තරප්පු පේලියද ලීයෙන් තනා ඇත. අඩි 60 ක් පමණ උසින් යුත් මෙම ඩෝසන් කුලුන මතට නැගුණු පසු කඩුගන්නාව නගරය, දුම්රිය ස්ථානය පමණක් නොව, කඩුගන්නාව දුර්ගය මැදින් වැටුණු දුම්රිය මාර්ගයත්, ඒ ඔස්සේ නයෙක් මෙන් පැමිණෙන දුම්රියත් ඉතා විචිත්‍රවත් ලෙස දැකගත හැකිය. අපූරු අත්දැකීමකින් පසු ඩෝසන් කුලුනෙන් බැසගත් අපි, දහවල් ආහාරය ඒ අසලම ඇති රජයේ තානායමෙන් භුක්ති වින්දෙමු. ඉන්පසු තීරණය කළේ එදා සිංහලයන් සතුරු හමුදා එන බව නිරීක්ෂණය කළ “බැලුම්ගල” බැලීම සඳහා යෑමටය. තානායම අසලින්ම දකුණු දෙසට වැටී ඇති ගම්පොල මාර්ගයෙන් ගොස් මෙම ස්ථානයට යා හැකි බව අප හා පැවසුවේ තානායම් පාලකවරයා විසිනි. ඒ අනුව කිලෝමීටර් 2-3 ක් පමණ ගෙවා අප තානායම වටකර ගොස් කඩුගන්නාව දුර්ගයේ දකුණු පසින් කඳු මුදුනකට ළඟා විය. එම ස්ථානය හරියටම ඇත්තේ ගල විදපු තැනට ඉහළිනි. එහි ඉදිරියට නෙරා ගිය කඳු සිඛර කිහිපයක් ඇති අතර, ඒ අතරිනුත් පහළ කඩුගන්නාව ඉතා හොඳින් දර්ශනය වන කඳු ගැට දෙකක් අතීතයේදී ඔත්තු බැලීම සඳහා යොදාගත් බව කියනු ලැබේ. දැන් ඒ බව සනාථ කිරීම සඳහා එහි කිසිදු භෞතික ඉදිකිරීමක් නැති නමුත්, “මහ බැලුම්ගල” හා “කුඩා බැලුම්ගල” ලෙස එම ස්ථාන අදටත් හඳුන්වනු ලබන බව ඒ අසල පදිංචි කරුවකු අප හා සමග පැවසීය. මෙම කඳු ප්‍රදේශය අද ජනාකීර්ණ වී ඇති අතර, බැලුම්ගලට එන මාර්ගය දෙපස නිවාස හා වෙනත් ගොඩනැගිලි හා දුරකථන සම්ප්‍රේෂණ කුලුනු යනාදිය ද ඉදිවී ඇත. බැලුම්ගල අද එම ප්‍රදේශයේ තරුණ, ළමා ළපටින්ගේ කෙළි බිමකි. අප එහි යනවිට මෙහි සිට සරුංගල් යවමින් ප්‍රීති වන්නන් රැසක්ම සිටියේ බැලුම්ගල අපූරු සුළං කපොල්ලක්ද වන නිසාය. බලන කොටුවට ගිය ගමන ලබන සතියේ…

එන්න… විඳගන්න… කඩුගන්නාව දුර්ගයේ සුන්දරත්වය හා අපූරුව
කඩුගන්නාව අම්බලම
එන්න… විඳගන්න… කඩුගන්නාව දුර්ගයේ සුන්දරත්වය හා අපූරුව
කඩුගන්නාව දුම්රිය බිංගෙය
එන්න… විඳගන්න… කඩුගන්නාව දුර්ගයේ සුන්දරත්වය හා අපූරුව
ඩෝසන් කුළුන
එන්න… විඳගන්න… කඩුගන්නාව දුර්ගයේ සුන්දරත්වය හා අපූරුව
බතලේගල දර්ශන තලය

ජගත් කණහැරආරච්චි

චාරිකා සහාය – හර්ෂණ ජයතිලක, රවී ද සිල්වා සහ චරිත් දෙමටම්පිටිය
ඡායාරූප – හෙරිටේජ් ලංකා Photography

එන්න… විඳගන්න… කඩුගන්නාව දුර්ගයේ සුන්දරත්වය හා අපූරුව

advertistmentadvertistment
advertistmentadvertistment