එන්න, වැඩවසම් තාප්පය බිඳිමු

90

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන දේශපාලන පක්ෂවලට ආරාධනා කර, ඔවුන්ගේ සහභාගිත්වයෙන් ”වර්තමාන අර්බුදයට විසඳුම කුමක්ද?” යන තේමාව යටතේ ප‍්‍රසිද්ධ සංවාදයක් ජනවාරි මස 7 වන සිකුරාදා දින කොළඹදී පැවැත්වීමට අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලය කටයුතු සංවිධානය කර තිබුණි. එහෙත් ඇරයුම් කර තිබූ ප‍්‍රධානම පාර්ශ්වයන් කිහිපයක් සහභාගීත්වය තහවුරු නොකිරීම හේතුවෙන්, එය අවසන් මොහොතේ දින නියමයක් නොමැතිව කල් දැමීමට තීන්දු කර ඇත. සමගි ජන බලවේගය ඒ ඇරයුම පිළිගෙන තිබුණි.

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මෙවැනි සංවාදයක් පැවැත්වීමට ගෙන ඇති තීන්දුව ඇත්තෙන්ම අගය කළ යුතුය. මෙය හොඳ ආරම්භයකි. හුදු ශිෂ්‍ය ප‍්‍රශ්නවලට පමණක් කොටුවී නොසිට, රටේත් ලෝකයේත් ප‍්‍රශ්න ගැන ඔවුන් මේ අයුරින් ක‍්‍රියාකාරීවීම අපේ රටේ ශිෂ්‍ය ව්‍යාපාරයේ නව ආරම්භයක් ලෙස මම දකින්නෙමි. විවිධ පැති කෝණවලින් අදහස් ඉදිරිපත් කිරීම්වලට ඉඩ සැලසීම, ඒ සැමට ඇහුම්කන්දීම, සාමකාමී ලෙසින් සාකච්ඡාවනට අවකාශ සැලසීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී ලෝකයේ පිළිගත් විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍ය සංගම් ක‍්‍රියාකාරීත්වය තුළ දැකිය හැක්කකී. ලන්ඩනයේ L.S.E සරසවිය, ඔක්ස්ෆර්ඞ් සරසවිය ඇතුළු විශ්වවිද්‍යාලයන්හි ශිෂ්‍ය සංගම් මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙවන් සංවාදයනට කීර්තිමත් ඉතිහාසයක් පවතී.

ලෝක ඉතිහාසය මෙන්ම වර්තමානය ගත්තද, ලෝකයේ ආර්ථික අතින් ඉදිරියට ගොස් ඇති රටවල් එලෙස ඉදිරියට ගොස් ඇත්තේ එකම න්‍යාය ධර්මයක, එකම සංකල්පයක, එකම චින්තනයක කොටුවී, අනම්‍යව සිටිමින් නොවන බව හොඳින් විමසා බලන කල පැහැදිලි වන කරුණක්. එබැවින් ඒ සියලූ පැති ගැන විවෘත මනසින් බැලීමට ලබාදෙන අවකාශයන් ඉතා වැදගත්ය.

මුළුමනින්ම ලිබරල් වූ හෝ මුළුමනින්ම ධනවාදී වූ හෝ මුළුමනින්ම මාක්ස්වාදී ලෙසින් හෝ මුළුමනින්ම කොමියුනිස්ට්වාදී ලෙසින් හෝ හැඳින්වෙන, ඕනෑම රටක ආර්ථික ගමනේ සාර්ථකත්වය විමසන කල, ඒ රටවල ගමන් මාර්ගයන් ප‍්‍රායෝගික අවශ්‍යතාවන් උඩ නම්‍යශීලීව වෙනස්වී තිබීම දැක ගන්නට පුළුවන.

වෙළෙඳපොළ ආර්ථික ක‍්‍රමයන්හි පවතින බව කියන ස්කැන්ඩිනේවියානු රටවල්, ජර්මනිය වැනි රටවල් අද සමාජ වෙළෙඳපොළ අර්ථක‍්‍රමයක් ගැන කථා කරමින් වෙන නැඹුරුවක් ගෙන ඇත. තරගකාරී අර්ථක‍්‍රමයක් තුළ පසුබාන ජනකොටස් රැකබලා ගනුවස් සමාජවාදී ක‍්‍රමයේ යහපත් ලක්ෂණ එකතු කරගැන්ම මෙහිදී දැකිය හැක.

මින් ඔබ්බට යමින්, පසුගිය වසර කිහිපය තුළ ජර්මනියේ අන්ත දක්ෂිණාංශය සහ වම එක්ව සෑහෙන කාලයක් සන්ධානගත වී, විවිධ ජාත්‍යන්තර අර්බුද මධ්‍යයේ ජර්මනියේ ආර්ථිකය ස්ථාවරභාවයකට ගෙන ඒම අපට දකින්නට තිබුණා. රට ඉදිරි ගමනකට යොමුකිරීම ඒ තුළින් සිදුවුණා.

මෙහිදී ලෝකයේ දක්ෂිණාංශික පක්ෂවල ජාත්‍යන්තර සන්ධානයට සම්බන්ධ ජර්මනියේ ක‍්‍රිස්තියානි ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ (C.D.C) නායිකා මර්කල් රාජ්‍ය නායක ධුරයේ (චාන්සලර් ලෙස) කටයුතු කරද්දී, ජර්මනියේ වාමාංශික පක්ෂය වන (S.D.P) සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ නායක ඔලාෆ් ෂොල්ට්ස් නියෝජ්‍ය රාජ්‍ය නායකයා ලෙස (නියෝජ්‍ය චාන්සලර් ලෙස) කටයුතු කිරීම සිදුවුණා. දැන් මෙම වාමාංශික පක්ෂයේ නායකයා, මර්කල්ගේ දීර්ඝ පාලන කාලයෙන් පසු ජර්මනියේ රාජ්‍ය නායකයා ලෙස පත්ව සිටිනවා.

මේ අයුරින්ම කොමියුනිස්ට් චීනය සහ කොමියුනිස්ට් වියට්නාමය ද එක්තරා ආකාරයක විප්ලවීය ගමනකට නොඑසේ නම් වෙනස් මගකට ප‍්‍රවේශවී තිබෙනවා. මාක්ස්වාදී සිද්ධාන්තයනට අනුව ”දාස් කැපිටාල්” ග‍්‍රන්ථය ”ලාභය” හඳුන්වන්නේ ”සූරා කෑම” ලෙසිනි. ඒ අනුව ලාභය ”තහනම් වචනයකි.” එසේ වුවද අද ”ලාභය” අරමුණු කරගත් ධනවත් සමාගම්වලට කොමියුනිස්ට් චීනය මෙන්ම කොමියුනිස්ට් වියට්නාමය දොරටු විවෘත කර තිබෙනවා. ඒ අනුව ඩෙං ෂියා වෝ පෙංග්ගේ චීනය තුළත්, හෝ චිමින්ගේ වියට්නාමය තුළත් අද අපි දකින්නේ, මාක්ස්වාදී සිද්ධාන්තවල අනම්‍ය ලෙසින් කොටුවී සිටිමින් යන ගමනක් නොවේ. ප‍්‍රායෝගික තත්ත්වයන් තේරුම් ගනිමින්, නම්‍යශීලී ලෙසින්, ක‍්‍රමානුකූලව වෙනස් වෙමින් ඉදිරියට යන ගමනක්. තමන්ගේ ජනතාවගේ දිළිඳුකම ජය ගනිමින්, ඔවුනට පොහොසත්කම ලබාදෙමින්, ලෝකය පුරා ”ලාභය” හඹා යන ගමනක චීනය යෙදී සිටීම දකින්නට තිබෙනවා. රාජ්‍ය අංශය කෙරෙහි වැඩි අවධානය යොමුකරමින් සමාජවාදී ගමනක යෙදී සිටි ජවහර්ලාල් නේරුගේ ඉන්දියාව, නරසිම්හ රාවෝගෙන් පසු ඒ ගමන වෙනස් කර දැන් මේ කලාපයේ පමණක් නොව ලෝකයාගේත් අවධානය යොමුකරගත්, ශක්තිමත් ආර්ථික ගමනක යෙදී සිටිනවා.

මේ අනුව බලන කල සාර්ථක ප‍්‍රතිපත්තීන් පිළිබඳව හෝ, ප‍්‍රඥාව පිළිබඳව ඒකාධිකාරයක් ඇත්තේ ”අපේ චින්තනයටයි” නැත්නම්, ”අපේ න්‍යාය ධර්මයන්ටයි” යනුවෙන් කිවහැකි තනි අයිතියක් ප‍්‍රකාශ කරන්නට කිසිදු කඳවුරකට පුළුවන්කමක් නැහැ. ශ‍්‍රී ලංකාව ගත් කල, ”පක්ෂයක් හැටියට හෝ දර්ශනයක් හැටියට ප‍්‍රශ්න සියල්ලට පිළිතුරු ඇත්තේ අපේ න්‍යාය ධර්මවල පමණි” යනුවෙන් හෝ, ”අපේ කඳවුර තුළ පමණි” යයි කියන්නට කිසිවෙකුටත් පුළුවන්කමක් නැහැ.

කොටු නොවී, පටු නොවී, විවෘත මනසින් සියලූ අදහස්වලට අවකාශ සැලසීම ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජයක අනිවාර්ය කරුණක්. ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ක‍්‍රමය, අද අපේ රටේ අභියෝගයට ලක්වී තිබෙනවා. ජනාධිපති පිළිසඳරේදී ජනපති දුන් පොරොන්දු ඉටු නොකිරීම ගැන මාධ්‍යයට කරුණු කී මීමුරේ ජනතාව වෙතින් පොලිසිය ප‍්‍රශ්න කිරීම මාධ්‍ය විසින් හෙළිකර තිබෙනවා. ජනාධිපති ක‍්‍රියා කලාපය විවේචනය කළ සමාජ ජාලා ක‍්‍රියාකාරීන් පොලිසිවලට කැඳවා බියගැන්වීම් ගැන ද පළවී තිබෙනවා. මාධ්‍ය කාර්යාලවලට යමින් කර්තෘවරුන් ද ප‍්‍රශ්නකිරීම්වලට ලක් කිරීම් අප දකිනවා. නිවැරදි දැක්මක් නැතිව ඉබාගාතේ යන පාලනයක් මෙන්ම ජනතා ප‍්‍රශ්නවලට විසඳුම් දී ගත නොහැකි පාලනයක් විවේචනයට බියවීමයි, අප දකින්නේ.

”වර්තමාන අර්බුදයනට විසඳුම කුමක්ද?” යන තේමාව යටතේ සංවාදශීලී හමුවට පැමිණ විශ්වවිද්‍යාල සිසුනට උත්තර බඳින ලෙස කියන විට එය මගහැර යන පාලනයක් අද රටේ පවතින්නේ. ජනතා ප‍්‍රශ්න උග‍්‍රවෙද්දී පාර්ලිමේන්තුවට දොරගුළු දමන පාලනයක් අද පවතින්නේ. හොරකම්, දූෂණ, වංචාවන් පාර්ලිමේන්තු කාරක සභාවලින් හෙළිදරව් කරද්දී ඒ කාරක සභා අහෝසි කර, වෙනත් පත්වීම් කිරීමට ලක ලැහැස්ති වන පාලනයක් අද පවතින්නේ.

ජනතාවගේ ජීවත්වීමේ අරගලය උච්චස්ථානයකට පැමිණ ඇත. ජනතාවට වගවීම් නැත. ජනතාවට උත්තර බැඳීම් නැත. පාලනයේ පිළිතුර මර්දනය පමණක් වී ඇත. මෙවන් පාලනයක් වෙනස් කළ හැක්කේ කාටද? සිතන්න.

advertistmentadvertistment
advertistmentadvertistment