එන්. එම්., කොල්වින්, විවියන්, පිලිප් හා  වික්‍රමසිංහලා 53 හර්තාලයට  සැබෑ නායකත්වය දුන්නා – කඩවුණු පොරොන්දුවලට එරෙහිව

78

සමසමාජ පක්‍ෂයේ මහ ලේකම් මහාචාර්ය  – තිස්ස විතාරණ

53 හර්තාලයේ  69 වැනි සංවත්සර  සැමරුම

1953 දී ඓතිහාසික හර්තාලයක් රට පුරා පවත්වා වමේ නායකයන් ජනතාවට අයිතීන් රැසක් දිනාදුන් බවත්, 1952 මහ මැතිවරණයේදී ඩඩ්ලි සේනානායක මහතා තමන් බලයේ සිටින තුරු ජනතාවට සහල් ශත 25 ට දෙන බවට පොරොන්දු වී බලය ගත් පසුව එය ශත 72 දක්වා වැඩි කරමින් පාසල් දරුවන්ගේ ආහාර වේල කපා දමමින් ජනතාවගේ සහන රැසක් අහෝසි කිරීමට එරෙහිව මුළු රටම සැබෑ අරගලයකට ගෙනයමින් එන්. එම්., කොල්වින්, විවියන්, පිලිප්, ඇස්. ඒ. වික්‍රමසිංහ වැනි නායකයන් සැබෑ නායකත්වයක් ලබාදුන් බව ලංකා සමසමාජ පක්‍ෂයේ ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවැසීය.

හර්තාලයේ 69 වැනි සංවත්සර සැමරුම නිමිත්තෙන් 53 හර්තාලය හා අද දවස මැයින් කොළඹ මහජන පුස්තකාලයේදී පසුගිය සිකුරාදා (12 දා) පැවැති සැමරුම් උළෙලේදී හෙතෙම එසේ කියා සිටියේය.

මේ වනවිට අප රටේ 20%කට වඩා වැඩි පිරිසකට මන්දපෝෂණය ඇතිවී ඇතැයි ද, සාමකාමී අරගලකරුවන් එතැනින් පැත්තකට වෙද්දී වමේ ව්‍යාපාරය ලෙස රටේ බහුතර ජනතාව ලෙස අප කුමක් කරනවාද? කියා විමසා බැලිය යුතු බවත්, ඒ සඳහා අප සටන් කරනවාද? මහ මැතිවරණයක් එනතුරු බලා සිටිනවාද? කියා කල්පනා කළ යුතුව ඇතැයි ද හෙතෙම කීය.

1947 දී වමේ නායකයන් නායකත්වය දෙමින් සමස්ත කම්කරු ජනතාවම එකට එක්වී මහා වැඩවර්ජනයක් පැවැත්වූ අතර, එහිදී කම්කරු පෙළපාලියක් යද්දී මිලිටරි වෙඩි ප්‍රහාරයෙන් කන්දසාමි සහෝදරයා මියගියා. එන්. එම්. සහෝදරයා තුවාල ලැබුවා. 1953 මහා හර්තලාය පූර්ව සූදානමක් ඇතිව ජනතාව දැනුවත් කරමින් කම්කරු පන්තියම, වැඩකරන ජනතාව එකට පෙළගස්වමින් දීප ව්‍යාප්තව ගෙනගිය හර්තාලය මතින් ආණ්ඩුවත් එහි ක්‍රියාකාරීත්වයත් අඩපණ කළා. දුම්රිය මාර්ගයේ ජනතාව කෑම පිසුවා. ගස් කපලා පාරට දැම්මා. අගමැති ඩඩ්ලි අගමැති ධුරය දාලා පැනලා ගියා. ඔහුට කැබිනට් මණ්ඩලය කැඳවන්න සිදුවුණේ මහ මුහුද මැද නැවක් ඇතුළේ.

සිරිමාවෝ මැතිනියගේ ආණ්ඩු කාලයේ එනම් 1972 දී දරුණු ආහාර හිඟයක් ආවා. එවක මුදල් ඇමැති එන්. එම්. සහෝදරයා මුදල් අමැතිවරයා ලෙස ආර්ථිකය නඟාසිටුවනු සඳහා ඩොලර් විදෙස් රටවලට යෑම පාලනය කළා. අපේ විදේශ විනිමය සංචිතය අත්‍යවශ්‍ය කටයුතු සඳහා ඩොලර් බිලියන 7.8 ක් තියා ගත්තා.

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපති ඩිව් ගුණසේකර මහතා

1953 හර්තාලයටත්, 2022 අරගලයටත් පාදක වුණේ ආර්ථික අර්බුදයයි. 1953 අයවැය විවාදයේදී හාල්, සීනි, පිටි මිල වැඩි වුණා. දරන්න බැරි ආර්ථිකය නිසා ජනතාව නැඟී සිටියා. ගාලුමුවදොර ඓතිහාසික රැලියක් තිබුණා. එවක විපක්‍ෂ නායක බණ්ඩාරනායක මහතා පාර්ලිමේන්තුවේ සිට ජනතාව කරපිටින් ගෙනාවා. ජනතා විරෝධතාවයකට කඳුළුගෑස් ප්‍රහාර එල්ල කිරීමේ පළමු ඇත්දැකීම අප ලැබුවේ එදායි. 1953 ජූලි මාසයේ සිට අගෝස්තු 12 වැනිදා දක්වා වමේ නායකයන්, ශිෂ්‍ය පරපුර, වෘත්තීය සමිති මගින් රටපුරා ජනතාව දැනුවත් කළා. ඒ වගේම ජනතාව දැනුවත් වුණා. වත්මන් ආර්ථික අර්බුදය ගැන ජනතාව වගේම වත්මන් පාර්ලිමේන්තුවත් දන්නේ නැහැ. ආණ්ඩු පක්‍ෂයත්, හර්තාලයේදී සැබෑ නායකත්වයක් තිබුණා.

නව වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ජී. ඩී. ඩී. තිලකසිරි මහතා

1953 හර්තාල් ව්‍යාපාරයේදී හදිසි නීතිය පනවමින්, වෙඩි තබමින්, කඳුළුගෑස් ගහමින්, ආණ්ඩුව කම්කරු පන්තියේ සටන්කාමීන් 11 දෙනකු ඝාතනය කළා. 499 දෙනකු අත්අඩංගුවට ගෙන නඩු දැම්මා. මෑතකදී ඇතිවූ අරගලයට ආදරයේ අරගලය කිව්වා. මුලින්ම නිර්පාක්‍ෂිකයි කිව්වා. ප්‍රචණ්ඩත්වය එක්ක අරගලය වෙනතකට ගියා. එතැන දේශපාලන පක්‍ෂ කීපයක් සිටියා. රනිල්ගේ ක්‍රියාත්මක භාවය ගැන සැක සහිතයි. සර්ව පක්‍ෂික ආණ්ඩුවක් ගැන ස්ථිර නැහැ. බඩු මිල ඉහළ යනවා. ජීවන වියදම ඉහළ යනවා. සැබෑ අරගලයක් සඳහා සූදානම් විය යුතුයි. ධනපතීන්ගෙන් බදු අය කරලා ජනතාවට සහන ලබාදිය යුතුයි.

1977 න් පසුව ජනතාව අධි පරිභෝජනයකට ගියා. අද තත්ත්වය වඩා උග්‍රයි. රටේ දේශීය නිෂ්පාදන නැතුව ගියා. බදු අහෝසි කළා. බදු සමාව දුන්නා. බදු වංචා කළා. ඩොලර්, රුපියල් නැති වුණාම ණය ගත්තා. කිසිදු ප්‍රයෝජනයක් නැති විදියට මුදල් ආයෝජනය කළා. අප ඉතිහාසය කතා කළ යුත්තේ වරදකරුවන් කවුද? සොයන්න නොවේ. වරද සොයාගන්න ඕනෑ. සමස්ත ලංකා ඒකාබද්ධ වෘත්තිය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු හේමා විල්බට් මහතා සැබෑ ජන අරගලයේදී කම්කරු ජනතාව, වෘත්තීය සමිති පමණක් නොවේ, පුළුල් ජන සහභාගිත්වයක් ඕනෑ. එලෙසම පැහැදිලි නායකත්වයක් ඕනෑ.

සටහන හා ඡායාරූප – ජූඩ් ඩෙන්සිල් පතිරාජ

advertistmentadvertistment
advertistmentadvertistment