එපා කියලා කෑගසද්දි OIC මට ලිංගික හිංසන කළා – මීට පෙරත් වැඩ තහනමට ලක් වෙලා

1732

* දේශපාලක මැදිහත් වීමකින් පුටුවට ඇවිත්

ආධුනික පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගන්දර පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක නලින්ද අරවින්ද අර්ජුන විජේසිංහ නමැත්තා හෙට (28 දා) දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහෙස්ත‍්‍රාත්වරයා පෙරේදා (25 දා) නියෝග කළේය.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසු ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබිණි. පොලිස් ස්ථානාධිපතිවරයාගේ අතවරයට ලක්වූ බව කියන ආධුනික පොලිස් කොස්තාපල්වරිය තමන් මුහුණ දුන් අමිහිරි අත්දැකීම පොලිස් ප‍්‍රශ්න කිරීම් හමුවේ මෙසේ ප‍්‍රකාශ කර ඇත.

මං රාජකාරි ඉවර කරලා භට නිවාසේ ළඟ වැලේ රෙදි වන වන ඉන්න කොට ඕඅයිසී මහත්තයා එයාගේ නිල නිවාසය ළඟ ඉඳගෙන කතා කළා.

මං හිතුවා රාජකාරි කටයුත්තකට කියලා. ඕඅයිසී මහත්තයා මට කාමරේ ඇතුළට එන්න කියලා ලිංගික හිරිහැර කරන්න පටන් ගත්තා.

මං එපා කියලා කෑ ගැහුවා. ඕඅයිසී මහත්තයගෙන් බේරාලි යන්න හැදුවා. ටික වෙලාවකට පස්සේ මං කාමරෙන් පැන ගත්තා. මම මේ වන විට ලිංගික හිරිහැර ගැන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරියකට පැමිණිලි කළා.

විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට මෙම පොලිස් කොස්තාපල්වරිය ඇගේ මුල්ම පත්වීම ලෙස ගන්දර පොලිසිය වෙත පැමිණ ඇත්තේ මීට මාස කීපයකට පෙරය.

පෙරේදා (25 දා* උදෑසන මෙම නිලධාරිනිය සිය රාජකාරි නිමකර ඇය නවාතැන් ගෙන සිටින පොලිස් භට නිවාසය වෙත ගොස් ඇඳුම් කීපයක් අව්වට දැමීමට පැමිණ ඇත.

මෙම නිලධාරිනියන් නවාතැන් ගෙන සිටින භට නිවාසයට යාබදව පොලිස් ස්ථානාධිපතිවරයාගේ නිල නිවස පිහිටා ඇත. ඒ අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා සිය නිල නිවසේ සිට ආධුනික පොලිස් කොස්තාපල්වරියට කතා කර තිබේ.

එහිදී එම නිලධාරිනිය ස්ථානාධිපතිවරයා නවාතැන් ගෙන සිටින නිල නිවස අසලට ගොස් ඇති අතර එකවරම ස්ථානාධිපතිවරයා ඇය සිය ග‍්‍රහණයට ගෙන ඇත.

එහිදී ස්ථානාධිපතිවරයා ආධුනික නිලධාරිනිය සිප වැළඳ ගනිමින් ස්පර්ශ කරමින් ඇයට විවිධ ලිංගික හිරිහැර සිදුකර ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

සුළු වේලාවකට පසුව එම නිලධාරිනිය ස්ථානාධිපතිවරයාගේ ග‍්‍රහණයෙන් මිදී පළාගොස් ඇති අතර ඇය ගන්දර පොලිසියේම රාජකාරි කරන ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂකවරියකට මේ පිළිබඳව පැමිණිලි කර ඇත.

පසුව එම නිලධාරිනිය විසින් මේ පිළිබඳව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා මහතාට දැනුම්දී තිබේ.

ඒ අනුව අතවරයට ලක්වූ නිලධාරිනිය සහ ඇය සමග රාජකාරි කළ තවත් නිලධාරිනියන් දෙදෙනකු මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත කැඳවා ප‍්‍රකාශ ලබා ගැනීමට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු කර ඇත. පසුව විශේෂ විමර්ශන කණ්ඩායමක් යොදවා ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ගන්දර පොලිස් ස්ථානාධිපතිවරයා මීට පෙරද පොලිස් ස්ථාන කීපයකම රාජකාරි කරද්දී විවිධ චෝදනාවන්ට ලක්වූ අයෙකි.

මීට පෙරද වැඩ තහනමට ලක්ව සිටි මෙම නිලධාරියා ගන්දර පොලිස් ස්ථානාධිපති ධුරය ලබාගෙන ඇත්තේ දකුණු පළාතේ තරුණ දේශපාලනඥයකුගේ මැදිහත්වීම මත බවද හෙළිවී ඇත. තම පියාගේ අඩි පාරේ යමින් දේශපාලනයට පිවිසි මෙම තරුණ දේශපාලනඥයා තම අභිමතය පරිදි මෙම නිලධාරියා ගන්දර පොලිස් ස්ථානාධිපති ධුරය සඳහා පත්කරගෙන ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම නිලධාරියාට ගන්දර ස්ථානාධිපති ධුරය ලබාදීමට පොලිස්පතිවරයා විරෝධය පළකර ඇතත් තරුණ ඇමැතිවරයාගේ බලපෑම මත ඔහුට එම තනතුර ලැබී ඇති බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් පැවැසීය.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රාජිත ශී‍්‍ර දමින්ද සහ මාතර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි නිශාන්ත සොයිසා යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් මේ පිළිබඳ විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment