එයාර් ෆ්ලොට් නඩුව ඉදිරියට ගෙනියන්න උසාවියට බලය නෑ නඩුව නිශ්ප්‍රභ කෙරේ  

121

අයර්ලන්ත ලීසිං සමාගමක් විසින් මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් රුසියානු එයාර් ෆ්ලොට් ගුවන් සමාගමට එරෙහිව පවරා ඇති නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ නීතිමය බලයක් සිය අධිකරණයට නොමැති බවට නිගමනය කළ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු සුමිත් අරුණ පෙරේරා මහතා එම නඩුව ගාස්තුවට යටත්ව ඊයේ (15 දා) නිශ්ප්‍රභ කළේය.

නඩුවට පාදක වූ ගුවන් යානය මේ වනවිට කොළඹ වාණිජ මහාධිකරණ බල ප්‍රදේශයෙන් එනම් ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බැවින් එම නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යෑමේ නීතිමය බලයක් නොමැති බව එම නඩුවේ දෙවැනි වගඋත්තරකරු වන කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් සංකීර්ණ සේවා ප්‍රධානී නිසාල් චන්දිම අබේවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධන මහතා ඇතුළු වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරුන් කළ කරුණු දැක්වීම සලකා බැලූ විනිසුරුවරයා එම නියෝගය කළේය.

එම නඩුවට අදාළව සිය අධිකරණය විසින් මින් පෙර නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය ද විනිසුරුවරයා එහිදී ප්‍රතික්‍ෂේප කළේය.

පූර්වගාමී වාණිජ මහාධිකරණ විනිසුරුවරයා විසින් පසුගිය ජුනි 2 වැනිදා නිකුත් කළ එම අතුරු තහනම් නියෝගය අනුව මගීන් 191ක් රැගත් එස්. යූ. 289 අංකය දරන ගුවන් යානයට ශ්‍රී ලංකාවෙන් පිටව යෑමට නොහැකි වීමෙන් මගීන්ට අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා අතිවිශාල මුදලක් වැය කිරීමට රුසියානු ගුවන් සමාගමට සිදුවී ඇති බැවින් පැමිණිලිකාර අයර්ලන්ත සමාගමෙන් ඇමරිකානු ඩොලර් මිලිය 10ක වන්දියක් අයකර ගැනීමට නෛතික පියවර ගන්නා බවද වගඋත්තරකාර ගුවන් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ මහාචාර්ය ලසන්ත හෙට්ටිආරච්චි මහතා අධිකරණයට පැවසීය.

එම ඉල්ලීමට පැමිණිලිකාර අයර්ලන්ත සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය විරුද්ධත්වය දැක්වූ නමුත් අදාළ පාඩුව ලේඛන ගතකොට අධිකරණයට ඉදිරිපත් කිරීමට රුසියානු ගුවන් සමාගමට විනිසුරුවරයා අවසර ලබාදුන්නේය.

රජයේ අධිනීතිඥ සේපාලිකා තිරණාගම මහත්මියගේ උපදෙස් මත රජයේ අධිනීතිඥ පියුමි ජයවික්‍රම, රජයේ අධිනීතිඥ ෂෙහාන් සොයිසා යන නීතිඥ මණ්ඩලය සමග අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා නීතිපතිවරයා නියෝජනය කළේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment