එරබදු මල් පිපුණු කොහා නිරතුරැ කෑ ගහපු අපි අසිරිය වින්ද මේ , ඒ අලුත් අවුරුද්දමද?

632

සිංහල බෞද්ධ මෙන්ම දෙමළ හින්දු ජනයා බක් මහේදී නොඑසේ නම් අපේ‍්‍රල් මාසයේ දී මහත් උත්කර්ශවත් ලෙසත්, අභිමානයෙන් යුතුවත් සමරන සංස්කෘතික මංගල්‍ය වන අලූත් අවුරුද්ද නැතහොත් සූර්ය සංක‍්‍රාන්තියට තව ඇත්තේ දින කිහිපයකි. මුළු ලොවම එකම ගම්මානයක් වීමෙන් ලෝකය අපේ දෑස් ඉදිරියටත්, අපට ලෝකය වෙතටත් ගමන් කරන්නට ගත වන්නේ සුළු මොහොතකි. මෙවන් කලෙක ශ‍්‍රී ලාංකික අනන්‍යතාව, අපේකම, අපේ සංස්කෘතික උරුමයේ උජාරුව නව තාක්ෂණය ඔස්සේ ලොවට කියාපාන්නට අලූත් අවුරුද්දට හැකි වේ. එහෙත් වර්තමානය වන විට අපේ අනන්‍යතාව අලූත් අවුරුදු උළෙලක පවතී ද යන්න ගැටලූවකි. අපේ මෙන්ම අපේ නොවන බොහෝ සංස්කෘති සමග අද මෙය මිශ‍්‍ර වී ඇති බවක් දැකිය හැකිය.

එපමණක් නොව මෙකී සංස්කෘතික උරුමය දශක කිහිපයක සිට බහුජාතික සමාගම්වල වෙළෙඳ ප‍්‍රචාරණයෙහි උප්පරවැට්ටිවල ගොදුරක් බවට ද පත්වෙමින් තිබේ. පැරණි ජන සමාජයේ තිබුණු ජන ක‍්‍රීඩා වෙනුවට වෙළෙඳ සමාගම්වල ප‍්‍රචාරණයන් හා බැඳුණු නවීකරණය වූ ජන ක‍්‍රීඩා අද අවුරුදු උත්සවවල දැකිය හැකිය. සංස්කෘතිය වෙනස් වන්නකි.

ගෝලීයකරණය හේතුවෙන් මුළු ලෝකයම එකම සංස්කෘතියක ස්වරූපයන් නිරූපණය කරන බවක් දකින්නට ලැබේ. ඒ නිසාම අපේ රටට අනන්‍ය වූ සිරිත් විරිත්වල ද නවීකරණයන් මෙන්ම විකෘතිතා ද සිදු වෙමින් තිබේ. අලූත් අවුරුද්ද වර්තමාන වෙළෙඳ සමාජය විසින් සංකල්පීය ලෙස යොදා ගනු ලැබූව ද අපේ සාම්ප‍්‍රදායික ගැමි සමාජයේ සූර්ය සංක‍්‍රාන්තිය සමග බැඳුණු වත්පිළිවෙත් හා ක‍්‍රියාකාරකම්වල විද්‍යාත්මක මෙන්ම සමාජ සංස්කෘතික පසුබිමක් ද පැවතිණි. කුඹුරු පුරන් වෙමින් යද්දී කෘෂි කාර්මික ගැමි සමාජ සංස්කෘතික ක‍්‍රියා පිළිවෙත් ද අතුරුදන් වෙමින් තිබේ. එසේ හෙයින් අවුරුදු චාරිත‍්‍ර, සෙල්ලම් ආදිය ද අලූත් වෙමින්, වෙනස් වෙමින් තිබේ.

ශ‍්‍රී ලංකාව සෑම අතින්ම කෘෂිකර්මාන්තයට සරිලන කාලගුණික හා දේශගුණික තත්ත්වයන්ගෙන් සමන්විත වූ රටකි. මෙය සහලින් ස්වයංපෝෂණය කරන්නට පෙර රජ දරුවන්ට හැකි වූයේ ඔවුන්ගේ උත්සාහය සේම සොබාදහමෙන් ද නිසි සහායක් ඒ සඳහා උපරිම අයුරින් ලැබුණු බැවිනි. කුඹුර කොටා, පස පෙරළා, වාරි තාක්ෂණය ඊට ඈඳා ගනිමින් ගොයම අස්වද්දන තුරු එකල අනෝරා වැසි වැටුණේ නැත. ඒ සියලූ කාර්ය ආරම්භ කරන්නට මත්තෙන් ගංගා ඇළ දොළ දෝර ගලන්නට, වේළි පිරෙන්නට වැසි වැස්සේ අලූත් කන්නයේ වගාව උදෙසා ය. යල මහා දෙකන්නයන් වගා කරන්නට මේ සොබාදහමේ දායාදය මොනවට අවබෝධ කරගත් ගිරාපෝතක විභාග සංස්කෘතියක් නොවූ ඥානවන්ත, බුද්ධිවන්ත අතීත හෙළයෝ යස අපූරුවට තුන් වේල බත් කෑහ. බස්වලට ඉන්ධන නැති වූවාට ඔවුන් කුස ගින්නේ සිටියේ නැත. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් අදාළ වූයේම නැත. හේනේ කුඹුරේ දාඩිය හෙලූ සැමියාට කටට රසට ඇඟට ගුණට කෑම වේල උයාගෙන ගිය අපේ අතීත කාන්තාව අනාගත පරපුරක් දෑතින්ම පෝෂණය කළේ මහත් ධෛර්යයෙනි. එදා කුඹුරට බහින්නට මිනිස් සම්පත නොඅඩුව තිබිණි. පවුලක දරුවන් දහ දොළහක් වූයෙන් කුඹුරු කර්මාන්තයට එය ශක්තියක් වුණි. එදා ගැමි සමාජය සහලින් ස්වංපෝෂණය වූයේ මිනිස් ශ‍්‍රමයෙනි. අද අපේ සමාජය ලෝකය දෙස බලා බොහෝ සේ වෙනස් වී ඇත. මෙදා කාලගුණය ද වෙනස් වී තිබේ. ඒ මිනිස් ක‍්‍රියාකාරකම් හේතුවෙනි. අඩි දහයක් පයින් යන්න බැරි තරමට ක‍්‍රමාණුකූලව අලස කරවූ මිනිස් ශරීර මුහුදට දත නියවා බලා සිටින්නේ ගෑස්, තෙල්, හාල් නොව සකල සබ්බමනාවම නැව් මතින් එන තුරුය. මෙතෙක් ආ දුර ආපසු හැරී බැලූ කල දකින්නට ලැබෙන්නේ පුරන් වූ කුඹුරු ය. ගොඩ වූ කඩොලාන ය. වැව් හා ජලාශවල දිය සිඳ ඉටු කළ සංවර්ධන කාර්යන්ය. මේවා කාලයක් තිස්සේ සිදු කළ ඒවා මිස අද ඊයේ ක්ෂණිකව සිදු කළ දේවල් නම් නොවේ. එවන් සමාජ සංස්කෘතියක කල් ගෙවන අපට මහාචාර්ය ජේ. බී. දිසානායකයන් සූර්ය මංගල්‍යය ගැන අතීතාවර්ජනය කළේ ය.

”සිංහල බෞද්ධ ජනයා වගේම දෙමළ හින්දු ජනයා සෑම වසරකම බක් මාසයේ මැද සූර්ය සංක‍්‍රාන්තිය සමරනවා. සූර්යයා මීන රාශියේ ඉඳලා මේෂ රාශියට ගමන් කිරීම එදාට සිදු වෙනවා. සූර්යයා මීන රාශියේ අන්තිමට සිටි වෙලාව පරණ අවුරුද්ද යි. සූර්යයා මේෂ රාශියට පැමිණි වෙලාව අලූත් අවුරුද්ද යි. මීන රාශියෙන් මිදිලා මේෂ රාශියට ගමන් කිරීම සංක‍්‍රාන්තිය යි. මේ සංක‍්‍රාන්තියට වෙලාවක් නැහැ. ඒ නිසා නැකැත් නැහැ. නැකැත් නැති නිසා ‘නොනැකැත’ එහෙම නැත්නම් ‘නොනගත’ කියා කිව්වා. නැකැත් නැති නිසා මේ කාලය භයානකයි කියා සැලකුවා. ඒ කාලය පරෙස්සම් වියයුතු කාලයක් ලෙස සැලකුවා. ආරක්ෂක ස්ථානයක සියලූ දෙනා සිටිය යුතු යැයි කිව්වා. සිංහල බෞද්ධ ජනයාගේ ආරක්ෂක ස්ථානය වුණේ පන්සල යි. දෙමළ හින්දු ජනයාට ආරක්ෂාව සැලසුවේ කෝවිල යි. ඒ නිසා නොනගත කාලයේදී පන්සල්, කෝවිල් ගියා. නොනගතයේදී පන්සල්, කෝවිල් අනිවාර්යයෙන් යන්න කිව්වා. එදාට පන්සල් යන්නේ පවුලේ හැමෝම එක්ක යි. නොනගත වෙලාවේදී වැඩ කරන්න හොඳ නැහැ කිව්වා. ඒ නිසා වැඩ අත් හැරියා. වැඩ කරන්න බැරි නම් මොකද කරන්නේ.., සෙල්ලම් කරන්න කිව්වා. සාමාන්‍ය දවස්වලදී ළමයින්ට කිව්වේ සෙල්ලම් කර කර ඉන්නේ නැතුව පාඩම් කරන්න කියලා යි. ඒත් නොනගත වෙලාවේදී කියනවා පාඩම් කරන්නේ නැතුව සෙල්ලම් කරන්න කියලා. කෙල්ලෝ සාලේ සෙල්ලම් කළා. කොල්ලෝ මිදුලේ සෙල්ලම් කළා. ගේ ඇතුළේ සාලේ බිම තමයි සෙල්ලම් කළේ. ඇයි බිම වාඩි වෙලා සෙල්ලම් කළේ… බිම වාඩිවෙන්න හැමෝට ම පුළුවන් නිසා යි. ගෙදර උදවියට වගේම ගෙදර වැඩට උදව්වට ඉන්න අයටත් බිම වාඩිවෙලා එදාට සෙල්ලම් කරන්න පුළුවන් නිසා පංච දැමීම, ඔලිඳ කෙළිය වගේ සෙල්ලම් ගේ ඇතුළේ බිම වාඩිවෙලා කළා. කොල්ලෝ චක්ගුඩු, වළකජු වගේ සෙල්ලම් මිදුලේ ඉඳන් කළා. වැඩිහිටියෝ වෙල් එළියේ ඉඳන් සෙල්ලම් කළා. හැමෝම වැඩ නවත්තලා ඒ වෙලාවේ සෙල්ලම් කළා.

එරබදු මල් පිපුණු කොහා නිරතුරැ කෑ ගහපු අපි අසිරිය වින්ද මේ , ඒ අලුත් අවුරුද්දමද?

නැකතක් නැති නිසා සමහර දේවල් අල්ලන්න බැහැ. මනුස්ස ජීවිතයට අත්‍යවශ්‍ය දෙයක් වුණත් ඒ වෙලාවට ගින්දර අල්ලන්න එපා කිව්වා. ඒ නිසා නොනගතයට පෙර ළිප නිවා දැමුවා. නොනගතය අවසන් වෙලා නැකතක් එනතුරු ගින්දර ඇල්ලූවේ නැහැ. ඒ වගේම වතුර අල්ලන්නත් තහංචි යි. ඒ නිසා නොනගතයේදී වතුර ගේන්න ළිඳට යන්න බැහැ. අවශ්‍ය තරමට වතුර කලින් ගෙනල්ලා තියා ගත්තා. නැකතක් ආවා ම ළිඳට යමක් දාලා වතුර එකක් ගන්නවා. අඟුරු ළිඳට දැම්මා ම වතුර පිරිසිදු වෙන නිසා ඒ වෙලාවට අඟුරු කෑල්ලක් ළිඳට දැම්මා. තව ඒවා ළිඳට දැම්මා. නැකතට ගින්දරයි, වතුරයි ගත්තාට පස්සේ පාඩම් කරන්න පටන් ගන්නවා.

අලූත් අවුරුද්ද කියන්නේ හැම දෙයක්ම අලූත් වෙනවා කියන එක යි. නිතරම පරණ වෙන, අපිරිසිදු වෙන කුස්සිය අලූත් කරනවා. හැකියාවක් තියෙනවා නම් සාලේ බිත්තිත් අලූත් කරනවා. කැඩුණු වළං ඉවත් කරනවා. ලූණු පොල් කට්ට ළඟ ලූණු ගොඩ ගැහිලා අපිරිසිදු වෙනවා. ළිප ළඟ පිරිසිදු කරගන්නවා. ළිප් බැඳ ගිනි මොළවන්න කිව්වේ ඒකයි. නැතුව සාලේ මැද්දේ ළිප හදලා ගින්දර මොළවන එක නෙවෙයි. අලූත් කළ ළිපේ, අලූත් වළඳක්, අලූත් සහලින්, කිරිබතක් නැකතට උයනවා.

බාහිර දේ වගේම ශරීර අභ්‍යන්තරයත් නිරෝගි කර ගන්න අවශ්‍ය යි. නැකතට හිස තෙල් ගෑවේ ඒක යි. ඒ සඳහාම සැකසූ නානු
ගානවා. බොහෝ දද කුෂ්ඨ රෝගවලට ඒවා ප‍්‍රතිකාර වෙනවා. නැකතට හිස තෙල් ගාලා ළිඳට ගිහින් නානවා. වෙනදා ළිඳ ළඟ නෑවේ තනියම යි. ඒත් හිස තෙල් ගාලා ළිඳට යන්නේ අයියලා, අක්කලා, නංගිලා, මල්ලිලා, නෑනලා, මස්සිනාලා හැමෝම එක වෙලාවක යි. එතැනදී කතා බහ කරන්න ලැබෙනවා. විහිලූ තහලූ කරන්න ලැබෙනවා. ගත පිරිසිදු කළාට මදිනේ. අයියා නගාලා ළිඳ ළඟ හිනා වෙවී නාද්දි හිත් සතුටින් පිරෙනවා. ගත වගේම එයින් හිතත් අලූත් වෙලා පිරිසිදු වෙනවා. නාලා ඇවිත් අලූත් ඇඳුම් අඳිනවා. අවුරුද්දක් පුරා තරහා කොන්තර තිබුණා නම් ඒවා නැති වෙලා යන්න නෑදෑයින් බලන්න යනවා. බුලත් අතක් දීලා වැඳලා හිත නොහොඳ නිම කර ගන්නවා. මොන පළාතක හිටියත් එදාට අම්මා අප්පච්චි බලන්න දරුවෝ එනවා. අවුරුද්ද නිසා එනවා.

එරබදු මල් පිපුණු කොහා නිරතුරැ කෑ ගහපු අපි අසිරිය වින්ද මේ , ඒ අලුත් අවුරුද්දමද?

ඒ කාලේ තිබුණාට වඩා සමහර දේවල් අලූතෙන් එකතු වෙලා තියෙනවා. සමහර පරණ දේවල් තවමත් ඒ විදිහට ම තියෙනවා. සමහර දේවල් නැති වෙලා. අද කුඹුරු අඩුයි. අමුඬේ ගහලා කුඹුරට බහින ගොවියෝත් අඩුයි. අද ගොයම් කපන්න යන්ත‍්‍ර පාවිච්චි කරනවා. ඒ කාලේ කුඹුරු වැඩ කරද්දි කවි කිව්වා. අද සිංදුවක් අහන ගමන් ගොයම් කපන්නත් පුළුවන්. රෙද්ද හැට්ට හවඩි ඇඳලා කොණ්ඩය බැඳලා ඒ කාලේ ගොයම් කවි කිව්වාට අද කොණ්ඩය කපලා ගවුම් කලිසම් ඇඳන් ජන ගී කියන අය රූපවාහිනි තිරයෙන් දකින්න ලැබීම අරුමයක් නෙවෙයි. කාලයත් එක්ක වැඩ වෙනස් වෙලා. චර්යාවන් වෙනස් වෙලා. අඳින පළඳින හැටි වෙනස් වෙලා. සූර්ය මංගල්‍යයත් වෙනස් වෙලා. මොන දෙයක් වුණත් මධ්‍යම ප‍්‍රතිපදාවෙන් තියෙනවා නම් හොඳයි. ඉක්මවා යෑම නරකයි. පැරණි දේ රැක ගත යුතුයි. අලූත් සෙල්ලම් අවශ්‍ය යි. මම මේ නවීකරණයේ හෝ අතීතයේ හෝ වරදක් දකින්නේ නැහැ. සංස්කෘතිය නිතරම වෙනස් වෙනවා.”

මහාචාර්ය ජේ. බී. දිසානායකයන්ට අනුව මේ සියලූ දේ තිබිය යුතුය. අවුරුදු දෙකක් පමණ කොරෝනා වෛරසය නිසා ගෙවල්වලට සිර වුණු අය මොන දේ නැති වුණත් තමන්ට හැකි පරිදි අලූත් අවුරුද්ද සමරන්නට ළහි ළහියේ සූදානම් වනු දැකිය හැකිය. පුංචි තිරයේ අවුරුදු සෙල්ලම් දකිනු මිස අද කාලයේ දරුවන් අවුරුදු ක‍්‍රීඩාවල නිරත වනුයේ කලාතුරකිනි. ස්මාර්ට් ෆෝන් නිසා මිදුලේ සෙල්ලම් නැවතී ඇත. වෙල් ගොඩ කර ඇති නිසා වෙල් එළියේ සෙල්ලම් ද ටිකෙන් ටික නතර වෙමින් තිබේ. අවුරුද්ද පුරා ෂූටින් කළ නළු නිළියෝ අවුරුද්දට එකට එකතු වන්නේ පුංචි තිරයේ අවුරුදු සැනකෙළි උදෙසා ය. ඔවුන්ගේ හැකියාවන්වලට සරිලන්නට අවුරුදු ක‍්‍රීඩා අලූත් වී ඇත. වෙළෙඳ සමාගම්වල නිෂ්පාදන ප‍්‍රවර්ධනය සඳහා අලූත් අවුරුද්ද යොදා ගනී. සියලූ දේ වර්තමානයට අවැසි ලෙස වෙනස් වී තිබේ. අනාගතයේ ද එකී වෙනස සිදු වනු ඇත. සූර්ය මංගල්‍ය සතුටු වන්නට, විනෝද වන්නට, සෙල්ලම් කරන්නට සුදුසු කාලයක් මිස එය වෙසක් මංගල්‍යයක් නොවන බව මහාචාර්ය ජේ. බී. දිසානායක සිහි කළේ ය. එයින් අදහන් කළේ ඒ කාලයේ විනෝද වීම අවශ්‍ය බව යි. කොරෝනා තවමත් අවසන් නැති නිසා මොන දේ කළත් පරෙස්සමෙන් කළ යුතු බව අපි සිහි කරමු.

තුෂාරී කළුබෝවිල

advertistmentadvertistment
advertistmentadvertistment