(එරෝෆ්ලොට් සිද්ධිය) – රයිට් සහෝදරයන්ට අපගේ විරෝධය

2196

රුසියාවේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණි එරොෆ්ලොට් ගුවන් සමාගම විසින් පරිහරණය කරනු ලබන A 330 වර්ගයේ මගී ගුවන් යානය මෙහි රඳවා ගැනීම නිසා ශ්‍රී ලංකාව බරපතළ රාජ්‍ය තාන්ත්‍රික ගැටලුවකට මැදිවී තිබේ. දැනගන්නට ඇති පරිදි මෙය ලීසිං වාරිකවලට අදාළ කේස් එකකි. ත්‍රීවීලරයක් හෝ කාර් එකක් එහෙම නැත්නම් බස් එකක් ලීස් කර වාරික ගෙවීම ප්‍රමාද වූ විට එම වාහනය මහ පාරේ නවත්වා රියැදුරුගේ බෙල්ලෙන් අල්ලා බිමට බස්සවා ඔහුගේ කනටත් කොන්දොස්තරගේ පස්සා පැත්තටත් පහර දී පලවා හැර අදාළ වාහනය සීස් කිරීම සීසර්ලාගේ සිරිතය. එහෙත් ගුවන් යානයක් ලීසිං වාරික ගෙවීම පමා කළ විට එම යානය අහසේ ගමන් කරමින් සිටියදී තවත් ගුවන් යානයකින් ගොස් ලීසිං වාරික ගෙවීම අතපසු වූ ගුවන් යානයේ පයිලට් එළියට ඇද කනට ගසා ගුවන් යානය සීස් කිරීමක් සිදුකරනු නොලැබේ. එවැනි විටක සිදුවන්නේ යානය කිසියම් ගුවන් තොටුපලකට බැස්ස වූ විට අදාළ රටේ උසාවියකින් වාරණ නියෝගයක් ලබාගෙන තවත් අධිකරණ ක්‍රියාවලීන් කිහිපයකින් පසු එම යානය ලීසිං සමාගම සන්තකයට ගැනීමය. දැනට කටුනායක නවත්වා තිබෙන එරෝෆ්ලොට් ගුවන් යානය අයර්ලන්තයේ ෂැනන් නගරයේ V14 AN 29 නමැති ස්ථානයේ පිහිටි CELESTIAL AVIATIOAN TRADING 8 LIMITED සමාගමේ ලීස් කරන ලද්දක් බව දැනගන්නට තිබේ. ලෝකය පුරා තිබෙන විශාල නැව්, විශාල කාර්මික වාහන, විශාල කර්මාන්ත ශාලා යනාදියෙන් සෑහෙන කොටසකට මේ ආයතනය ලීසිං පහසුකම් හෙවත් කල්බදු පහසුකම් පිරිනමා තිබේ.

තවදුරටත් දැනගැනීමට ඇති පරිදි එරෝෆ්ලොට් සමාගම ප්‍රශ්නගත ගුවන් යානයට මාස ගණනාවකින්ම කල්බදු වාරික ගෙවා නැත. සාමාන්‍යයෙන් මගී ගුවන් යානයක කල්බදු වාරිකය රුපියල් කෝටි 10 ඉක්මවයි. එවැනි වාරික 6 ක් ඇරියස් වූ විට එම මුදල ෆිනෑන්ස් කොම්පැනියට සැරට දැනෙන ඇරියස් එකක් බවට පත්වේ. මෙහිදී අදාළ වාහනය ඉස්සීම හැර වෙනත් විකල්පයක් නැත. ප්‍රශ්නගත ගුවන් යානය අහසේදී සීස් නොකිරීම ගැන CELESTIAL AVIATIOAN  සමාගමට අප ස්තුතිවන්ත විය යුතුය. එසේ උස්සන්නට ගියා නම් සිදුවිය හැකි ඛේදවාචකය ඉතා භයානකය. ප්‍රශ්නගත ගුවන්යානය රුසියන් සංචාරකයන් 191 ක් සහ 13 දෙනකුගෙන් යුතු කාර්ය මණ්ඩලයක් සමග මෙහි සැපත් වූවකි. ගුවන් යානයට එරෙහිව CELESTIAL AVIATIOAN සමාගම වාරණ නියෝගය ගැනීමත් සමගම එම යානයෙන් ආපසු යෑමට බලා සිටි රුසියන් සංචාරකයන් විශාල ප්‍රමාණයක් ගුවන්තොටුපළේ නන්නත්තාර වූහ. මෙය සමාන වන්නේ කුමකටද? මගීන් පුරවාගෙන පාරේ යමින් තිබූ ප්‍රයිවට් බස් එකක් ලීසිං සමාගමේ සීසර්ලා විසින් මග නවත්වා මගීන් බිමට බස්සවා පැහැරගෙන යෑමටය. එවිට මගීන් කරන්නේ ලීසිං කොම්පැනියටත් බස් එකේ අයිතිකරුටත් හෙණ ඉල්ලමින් ගමනේ ඉතිරි ටික පයින් හෝ වෙනත් බස් රියකින් යෑමය. එහෙත් ගුවන් යානයකට මේ අකරතැබ්බය වූ විට සිය රට බලා පයින් යෑමේ අවස්ථාවක් ගුවන් මගීන්ට ලැබෙන්නේ නැත. එවැනි විටක අදාළ ගුවන් සමාගම කරන්නේ ප්‍රශ්නගත ගුවන්යානයේ ගමන් කිරීමට සිටි ගුවන් මගීන් ගුවන්තොටුපළට යාබද තරු හෝටල්වල නවත්වා නොමිලයේ කෑම බීම සපයමින් සුදුසු ගුවන් යානයක් පැමිණ ඔවුන් රැගෙන යන තෙක් බලා සිටීමය. මෙය එම ගුවන් සමාගමට විශාල පාඩුවකි.

එරොෆ්ලොට් ගුවන් යානය කටුනායක ගුවන්තොටුපළේ රඳවාගෙන ඇත්තේ කොළඹ වානිජ මහාධිකරණය දුන් වාරණ නියෝගයකට අනුව බව කියනු ලැබේ. මේ පිළිබඳ ප්‍රවෘත්තිවලද මතභේදයක් පවතී. එවැනි වාරණ නියෝගයක් නිකුත් කර නැති බවටද කතාවක් තිබේ. තවත් තැනක කියවෙන්නේ වාරණ නියෝගයේ පිටපතක් රැගත් පිස්කල් රාළහාමි කෙනෙක් යානයට ඇතුළු වී යානය නොසොල්වන ලෙසට පයිලට්ලාට තර්ජනය කළ බවකි. මෙහිදී අපි අධිකරණයට ගරු කරමු. අධිකරණය විවේචනය කිරීමෙන්ද වළකිමු. ගරු අධිකරණයක් වාරණ නියෝගයක් නිකුත් කරන්නේ සාධාරණ වාස්තවික තත්ත්වයන්ට අනුවය. එසේම අධිකරණය විවේචනය කිරීමට ගියොත් ගස් යෑමට අපට සිදුවේ.

කෙසේ හෝ වේවා එරොෆ්ලොට් ගුවන් යානයේ සිද්ධිය නිසා ශ්‍රී ලංකාව සහ රුසියාව අතර රාජතාන්ත්‍රික අර්බුදයක් මතුවී තිබේ. රුසියාවෙන් ශ්‍රී ලංකාවට එන ගුවන් යානයක් කිසිදු හේතුවක් මත රඳවා නොගන්නා බවට ලක් රජය රුසියාවට සහතික වී ඇත. මේ සහතිකය ලැබී ඇත්තේ රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය පටන් ගැනීමත් සමගය. යුරෝපයේ රටවල් ගණනාවක් රුසියාවට අයත් නැව් සහ සුඛෝපභෝගී මගී යාත්‍රා කිහිපයක් මේ වන විටත් තම තමන්ගේ මුහුදු සීමාවල රඳවාගෙන ඇත. ඔවුන් එසේ කර ඇත්තේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට එරෙහිවය. රුසියන් යුක්රේන් යුද්ධයේදී රුසියාවට එරෙහිව ඇඟිල්ලක් එසවීමට බටහිර ලෝකයේ අධිරාජ්‍යවාදී ගැන්සියට හැකිවී නැත. ඔවුන්ට කිරීමට පුළුවන් වී ඇති එකම දේ වන්නේ තම රටවල තිබෙන රුසියන් දේපළ රාජසන්තක කිරීම හෝ රඳවා ගැනීම මගින් රුසියාව දිහාට චූටි චූටි ගල් වීසි කිරීමය. කිසියම් විටක බටහිර ලෝකයෙන් ලොකු ගල් පහරක් රුසියාවට ආවොත් රුසියාව ඒ ක්ෂණයකින් අදාළ රටට න්‍යෂ්ටික මිසයිලයක් එවීමට ඉඩ තිබේ. එවිට එම රට සමතලා වනු ඇත. රුසියන් යානාව මේ රට තුළ රඳවා ගැනීම නිසා ශ්‍රී ලංකාවට ඉතා නරක පළිගැනීම්වලට මුහුණ දීමට සිදුවනවා ඇත. රුසියාව යනු ශ්‍රී ලංකාවේ හොඳම තේ ගැනුම්කරුවෙකි. එසේම ඕනෑම වෙලාවක රුසියාවෙන් අත මාරුවක් කරගැනීමටද ලංකාවට පුළුවන. ඕනෑම සංග්‍රාමික තත්ත්වයක් තුළදී රුසියාවේ උදව් ලංකාවට ලැබේ. එසේ තිබියදී රුසියාව තරහ කරගැනීම වහ කෑවා හා සමාන වන්නේය. මේ සිදුවූ විපත සම්බන්ධයෙන් වගකීම ඇමරිකාවේ රයිට් සහෝදරයන්ට පැවරීමට අපි අවසන් වශයෙන් තීරණය කළෙමු. ලොව පළමු ගුවන් යානය නිෂ්පාදනය කර ගුවන්ගත කරන ලද්දේ ඕවල් රයිට් සහ විල්බර් රයිට් සහෝදරයන් දෙදෙනා විසිනි. ඔවුන් එදා ගුවන් යානය හැදුවේ නැත්නම් එරොෆ්ලොට් ගුවන් යානයක් කටුනායකට එන්නේද නැත. එම යානය රඳවා ගැනීමට උසාවි නියෝගයක් නිකුත් වන්නේද නැත. ඒ නිසා රුසියාව අප සමග තරහ වන්නේද නැත.

advertistmentadvertistment
advertistmentadvertistment