එල්පීඑල් ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවට පහසුවක් නොවේ හිසරදයක්

163

මේ තරගාවලියෙන් අපේ නවකයන් පරිණත වෙනවා
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතා
රටට සෘජුව සහ වක්‍රව විශාල දායකත්වයක් ලැබෙනවා

ලෝක ක්‍රිකට් පිටියේ ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රිකට් දැන් ජනප්‍රිය මාතෘකාවකි. යන්තම් පිත්තක් පන්දුවක් අතට ගත් කාලයේ සිට රටේ ජාතික කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමට කුඩා කාලයේ සිට සිහින මැවූ ක්‍රීඩකයන් එම අරමුණ ඉටු වූවාට පසු කෙසේ හෝ බලන්නේ ෆ්‍රැන්චයිස් ලීග් ක්‍රීඩා කිරීමට ය. ඇතැම් ක්‍රීඩකයන්ට ජාතික කණ්ඩායමේ දොරටු විවර වීමටත් පෙරම ෆ්‍රැන්චයිස් ලීග් සඳහා අවස්ථාව උදාවේ. ඒ සඳහා උදාහරණ දැන් ඕනෑ තරම්ය. ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ්, ඉන්දියාවේ අයිපීඑල්, බටහිර ඉන්දීය කොදෙව් දේශයේ සීපීඑල් ආදිය අද ලෝකයේ ජනප්‍රිය ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීග වේ.
ඒ අනුව යමින් මෙරට එල්පීඑල් ආරම්භ විය. ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් එල්පීඑල් ලෙස හැඳින්වෙන එම තරගාවලියේ තරග අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ තරග කමිටු සභාපති සමන්ත දොඩන්වෙල මහතාය. එල්පීඑල් තරගාවලිය සහ ඊට අදාළ කරුණු කිහිපයක් සාකච්ඡා කිරීම සඳහා අපි ඒ මහතා සම්බන්ධ කර ගත්තෙමු. පහත දැක්වෙන්නේ එම සාකච්ඡාවේ සටහනයි.

ප්‍රශ්නය – ලෝකයේ දැන් හැමතැනම ෆ්‍රැන්චයිස් ලීග් පැවැත් වෙනවා. ඒක දැන් ක්‍රිකට් පිටියේ ස්ටයිල් එකක් වෙලා. එල්පීඑල් තරගාවලිය පටන් ගත්තේ ලෝකයේ වෙනත් අය කරන නිසා අපිත් මොකක් හරි කරන්න ඕන කියලා හිතාගෙනද? නැත්නම් මේ පිටුපස වෙනත් සැබෑ අරමුණක් තිබුණා ද?

පිළිතුර – එල්පීඑල් ගහන්නන් වාලේ ගහන තරගාවලියක් නොවෙයි. හොඳ සැලැස්මක් සහ අරමුණක් ඇතිව විධිමත් ක්‍රමවේදයකට තමයි අපි එල්පීඑල් පටන් ගත්තේ. දැන් එහි තෙවන අදියරයි ක්‍රියාත්මක වෙන්නේ. ඕනෑම කෙනකුට තේරෙනවා මේ තරගාවලිය කොතරම් හොඳට පැවැත්වෙනවා ද කියලා. ලෝකයේ ප්‍රධාන පෙළේ ෆ්‍රැන්චයිස් ලීග් තරගාවලිවල තිබෙන ගුණාත්මකභාවය එල්පීඑල් වලත් තිබෙනවා. ඒ වගේම අපි එල්පීඑල් පටන් ගත්තේ හොඳ අරමුණක් වෙනුවෙන්. ඒක තමයි නවක ක්‍රීඩකයන් සොයාගැනීම. ඔබට පෙනෙනවා ඇති මේ තරගාවලියේදීත් නවක ක්‍රීඩකයන් කිහිප දෙනකුගේ නම් ඉස්සරහට එමින් පවතිනවා. ඒ අතරින් තනුක දාබරේ, නුවනිඳු ප්‍රනාන්දු, විජයකාන්ත් වියස්කාන්ත් ආදී ක්‍රීඩකයන් ඉදිරියෙන් සිටිනවා. එසේ අපට පළමු එල්පීඑල් තරගාවලියේදී හමුවූ හොඳ ක්‍රීඩකයෙක් තමයි අද ජාත්‍යන්තරයේ නමක් දිනාගෙන සිටින මහීෂ් තීක්ෂණ. මෙහෙම යනකොට තීක්ෂණ වැන්නන් අපිට ඉදිරියටත් හමුවෙයි. පසුගිය වතාවේ වනිඳු හසරංග ක්‍රීඩා කළේ යාපනය කණ්ඩායමට. ඔහු මෙවර නුවර කණ්ඩායමේ. ඒත් වනිඳු නැති අඩුව වියස්කාන්ත් සම්පූර්ණ කර තිබෙනවා. ඒ වගේම අවිශ්ක ප්‍රනාන්දු මේ තරගාවලිය සමග සුපුරුදු රිද්මයට ඇවිත් තිබෙනවා. එල්පීඑල් ජාතික තේරීම් කමිටුවට පහසුවක් නොවේ හොඳ හිසරදයක් වෙලා. මෙහෙම බලනවිට කණ්ඩායමට කාවද තෝරා ගන්නේ කියලා ජාතික තේරීම් කමිටුව ලොකු ප්‍රශ්නයකට මුහුණ දෙනවා. ඇත්තටම ඒක තමයි වෙන්න ඕනා. කණ්ඩායමට ඇතුළත් වීම සඳහා ක්‍රීඩකයන් අතරත් දැන් ලොකු තරගයක් ඇති වෙලා තිබෙනවා. එක්කෙනෙක්වත් ෆේල් වෙන්න කැමැති නැහැ. ආබාධවලට ලක් වෙලාවත් එළියට ගියොත් ආයෙත් කණ්ඩායම ඇතුළට එන්න අමාරුයි. ඉන්දියාවේ ඔස්ට්‍රේලියාවේ තිබෙන එම තත්ත්වය එල්පීඑල් හරහා ලංකාවෙත් උදා වෙලා. ක්‍රීඩකයන් අතර ඒ වගේ තරගයක් නිර්මාණය වෙනකොට කණ්ඩායම ඉබේම දියුණු වෙනවා.

ප්‍රශ්නය – නවක ක්‍රීඩකයන් සොයා ගැනීම අරමුණ වුවත් අපට පෙනෙන්න තිබෙනවා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදුන් ක්‍රීඩකයන් පවා මේ තරගාවලියට ක්‍රීඩා කරනවා. එය තවත් නවක ක්‍රීඩකයකුගේ අවස්ථාවක් උදුරා ගැනීමක් නේද?

පිළිතුර – නවක ක්‍රීඩකයන් කියන්නේ හැමතිස්සෙම දෙයක් ඉගෙන ගන්න අය. ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් හා නවක ක්‍රීඩකයන් යන දෙපාර්ශ්වයම කණ්ඩායමක සිටින විට අලුත් ක්‍රීඩකයන්ට ජ්‍යෙඨයන්ගෙන් ලබාගත හැකි දැනුම සහ අත්දැකීම් බොහෝයි. ඒවා මිල කරන්න බැහැ. උදාහරණයක් ලෙස පකිස්ථානයේ ශොයිබ් මලික් ගත්තොත් ඔහු ක්‍රිකට් පිටියේ පුරාවෘත්තයක්. අත්දැකීම්, පළපුරුද්ද සහ ජ්‍යෙෂ්ඨත්වය පිරි දැනුම් ගබඩාවක් ලෙස ඔහු හඳුන්වන්න පුළුවන්. මම දැකලා තියෙනවා ඔහු අපේ නවක ක්‍රීඩකයන් සමඟ වැඩකරන ආකාරය. ක්‍රීඩා පිටිය තුළ මෙන්ම ක්‍රීඩාගාරයේදීත් ඔහු අපේ තරුණ ක්‍රීඩකයන්ට දැනමුතුකම් සහ උපදෙස් ලබා දෙනවා. ක්‍රීඩා සමාජ තරගාවලියකදී මේ අත්දැකීම් ලබා ගන්න බැහැ. තරගයක ඒ ඒ අවස්ථාව අනුව ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා ජ්‍යෙෂ්ඨයන්ගෙන් ඔවුන් ඉගෙන ගන්නවා. කාලොස් බ්‍රැත්වයිට්, තිසර පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස් ඔවුන් ලෝක කුසලාන දිනූ ක්‍රීඩකයන්. ඒ වගේම වහබ් රියාස්, සුරංග ලක්මාල් මේ වගේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් එක්ක ආධුනික ක්‍රීඩකයකුට ක්‍රීඩා කරන්න ලැබෙනවා කියන්නේ ඒක විශාල ජයග්‍රහණයක්. ඒ අවස්ථාව උදා කරගත් ක්‍රීඩකයා පසුව ජාතික කණ්ඩායමට එන්නේ පරිණත පිරිපුන් ක්‍රීඩකයෙක් විදිහට.

ප්‍රශ්නය – මෙවර තරගාවලියේ පළමු සහ දෙවන අදියරයේ තරග හම්බන්තොට සහ මහනුවර පැවැත්වූවා. දැන් තරගාවලිය කොළඹට පැමිණ තිබෙනවා. එලෙස නගර කිහිපයක තරගාවලිය පැවැත්වූයේ ඇයි?

පිළිතුර – ක්‍රිකට් හොඳ කොළඹට විතරද? අපේ ක්‍රිකට් එක රට පුරාවටම ගෙනියන්න ඕනා. ඒ වගේම හම්බන්තොට සහ මහනුවරත් ප්‍රේක්ෂකයෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. විශේෂයෙන් මහනුවරදී ඒ සඳහා විශාල උනන්දුවක් තිබුණා. හැබැයි තරගාවලිය හම්බන්තොටදී පවත්වන්න හදනකොට සමාරම්භක උත්සවයත් ක්‍රීඩාංගණයේ පවත්වන්න පුළුවන් වෙයි කියලා විශ්වාසයක් තිබුණේ නැහැ. ඒ තරමටම ඒ දවස් ටිකේ හම්බන්තොටට වැස්සා. අන්තිමට එක තරගයකටවත් වර්ෂාවෙන් බාධා වුණේ නැහැ. ඒ වගේම තමයි නුවරත්. නුවරටත් තරගාවලිය පැවැත්වීමට පෙර දවස් කීපයේ වර්ෂාව පතිත වී තිබුණා. ඒත් අපිට බාධා වුණේ නැහැ. දැන් මම විශ්වාසයෙන් කියනවා කොළඹ තරගවලටත් වැස්ස හරස් වෙන එකක් නැහැ. ඒ වගේම තරගාවලි සංවිධායකවරයා ලෙස මම කැමතියි මේ තරගාවලිය පුළුවන් නම් යාපනයටත් ගෙනියන්න. හැබැයි අපිට සුදුසු ක්‍රීඩාංගණයක් යාපනයේ නැහැ.

ප්‍රශ්නය – අපේ රටේ ක්‍රිකට් විනිසුරුවරුන් ඕනෑ තරම් සිටියදී ඔබ මේ තරගාවලිය සඳහා විදෙස් විනිසුරුවරුන් දෙදෙනකු සම්බන්ධ කර ගත්තා. අපේ අයට තිබෙන අවස්ථාවක් නේද මේ මගින් ගිලිහුණේ?

පිළිතුර – අපේ අයගේ අවස්ථාවක් ගිලිහුණා නෙවෙයි අපේ අයට ජාත්‍යන්තරයේ අවස්ථාවක් නිර්මාණය වුණ එක තමයි එයින් වුණේ. මොකද අපේ තරගාවලියකට පිටරට විනිසුරුවරුන් එනවා කියන්නේ ලංකාවෙ අයටත් ඒ රටවල අවස්ථාවක් උදා වන එකයි. ඒ වගේම විදෙස් විනිසුරුවන් පැමිණීමෙන් තරගාවලියේ ගුණාත්මකභාවයත් ඉහළ යනවා. තවදුරටත් තරගාවලිය ජාත්‍යන්තරයට ගමන් කරනවා.

ප්‍රශ්නය – ක්‍රීඩකයන් ඉස්මතු කර ගන්නවාට අමතරව මෙවැනි තරගාවලිවල ප්‍රධාන අරමුණක් තමයි ආදායම් ඉපයීම. ඒ අංශයෙන් ගත්තහම අපි මොන තරම් දියුණුවක් ලබලා තියෙනවද?

පිළිතුර – ඇත්තටම රට ඩොලර් හිඟයකින් පීඩාවට පත්ව තිබෙන මෙවැනි අවස්ථාවක යන්තමින් හෝ ඒ සඳහා දායකත්වයක් මෙවැනි තරගාවලියකින් අපට ලබාදීමට හැකිවීම ගැන සතුටුයි. මේ තරගාවලියට සමගාමීව රටේ ලොකු හෝටලයේ සිට පාරේ තැඹිලි විකුණන මනුස්සයා දක්වා අතට මුදලක් ලැබෙනවා. එක කණ්ඩායමකට ක්‍රීඩකයන් 20ක් සහ සහාය කාර්ය මණ්ඩලය 10ක් සමග හෝටල් කාමර 30ක් අපි වෙන් කරනවා. එතකොට නිකම්ම හෝටල් කාමර 150ක් පිරෙනවා. ඒ ප්‍රතිලාභය යන්නේ හෝටලයට පමණක් නොවෙයි. එම ක්ෂේත්‍රය සහ සම්බන්ධ තවත් අංශ ගණනාවකට එහි ප්‍රතිලාභ ගමන් කරනවා. කොටින්ම රටට සෘජුව සහ වක්‍රව විශාල ආදායමක් මෙමගින් ලැබෙනවා. හොඳ ක්‍රීඩකයකුට මිලියන විස්සකට වැඩි මුදලක් තරගාවලියෙන් හිමිවෙනවා. තරගාවලියේ විකාශන අයිතීන් ලබාදීම වෙනුවෙන් ඩොලර් මිලියන 2.1ක මුදලක් අපට හිමිවෙනවා. ඒ කියන්නේ රුපියල් මිලියන 750කට ආසන්න මුදලක්.

ප්‍රශ්නය – තරගාවලියේ තෙවන අදියර වන විට විකාශන අයිතීන් ලබා දීම වෙනුවෙන් ලැබෙන මුදල් ප්‍රමාණයේ වර්ධනයක් තිබෙනවා ද?

පිළිතුර – ඔව්. පළමු අදියරයේදී අපට හිමි වුණේ ඩොලර් මිලියන 1.6 යි. දෙවන අදියරේ දී අපට ඩොලර් මිලියන 1.8 ක් ලැබුණා. ඒ ආකාරයේ වර්ධනයක් අපට ලැබිලා තිබෙන්නේ අපි එල්පීඑල් එක හොඳට කරන නිසයි. තරගාවලිය ජාත්‍යන්තරය වැළඳගෙන තිබෙන නිසයි. කණ්ඩායම් මිලදී ගැනීම සඳහා මෙවර ජාත්‍යන්තර සමාගම් කිහිපයක් ලොකු උනන්දුවක් දැක්වූවා. පහුගිය තරග කීපය මම දැක්කා සමහර සයිට්ස්වල මිලියන 60 – 70 තරම් පිරිසක් එල්පීඑල් නරඹලා තිබෙනවා. අපේ බලාපොරොත්තුව ලබන වසරේදී කණ්ඩායම් හයක් පමණ තරගාවලියට සම්බන්ධ කර ගැනීමයි. ඒ වගේම තව වසර දෙක තුනකින් කණ්ඩායම් අටක් ලෙස තරගාවලිය පැවැත්වීමත් අරමුණක්. මේ හැමදේටම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් විශාල දායකත්වයක් ලැබෙනවා. මොකද ක්‍රිකට් කියන්නේ හැමෝම එකතු වෙලා සාමූහිකව කරන්න ඕනා ක්‍රීඩාවක් වගේම පරිපාලනය කියන්නේත් සාමූහිකව යා යුතු ගමනක්. එක එක්කෙනාට වෙන වෙනම න්‍යාය පත්‍ර තිබුණොත් මේ ගමන යන්න බැහැ. අපේ සාර්ථකත්වය පිටුපස රහස එයයි.

සාකච්ඡා කළේ
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment