එල්ලා මරන්න ජනපතිගේ අත්සන නෑ – නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි

159

මහාධිකරණය විසින් මරණීය දණ්ඩනය නියම කර ඇති හෙරොයින් ජාවාරම්කරුවන් පිරිසක් එල්ලා මැරීමට හිටපු ජනාධිපති, මෛත්‍රිපාල සිරිසේන මහතා ගෙන තිබූ තීරණය ක්‍රියාත්මක කිරීමට හෝ වෙනත් කිසිවකුත් එල්ලා මැරීමට වර්තමාන ජනාධිපතිවරයා අත්සන් නොකරන බවට ජනාධිපති ලේකම්වරයා ලිඛිතව දැනුම් දී ඇතැයි,නීතිපතිවරයා ඊයේ (23දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

හිටපු ජනාධිපතිවරයා විසින් ගෙන තිබූ එල්ලා මැරීමේ තීරණයට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් 05 ක්, විජිත් මලල්ගොඩ, මූර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයිරාජා, ගාමිණි අමරසේකර හා ප්‍රියන්ත ප්‍රනාන්දු යන පංච පුද්ගල විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේ අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා එම ප්‍රතිඥාව ලබා දුන්නේය.

වර්තමාන ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති ලේකම්වරයා අධිකරණයට ලබාදුන් එම ප්‍රතිඥාව අනුව කටයුතු කරන්නේ නම් සිය පෙත්සම් ඉදිරියට පවත්වාගෙන නොගොස් ඉල්ලා අස්කර ගන්නා බව ආචාර්ය පාක්‍යසෝති සරවණමුත්තු මහතා ඇතුළු පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවසූහ.

කෙසේ නමුත් වර්තමාන ජනපතිවරයා අධිකරණයට ලබාදුන් මෙම ප්‍රතිඥාව උල්ලංඝනය කළහොත් සිය පෙත්සම් යළි ආරම්භ කිරීමට පියවර ගන්නා බව ද පෙත්සම්කරුවන්ගේ නීතිඥවරු අධිකරණයට වැඩිදුරටත් පැවසූහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment