එල්ලිලාද මැරුණේ, මරලද එල්ලූවේ… ප්‍රෙහෙලිකාව නෑනේ විසඳුණේ

1202

පනාමුර ගෝරනාඩුවේ ඇත්ත විස්තරේ…

ඇඹිලිපිටිය පනාමුරේ යළිත් වරක් ඉතා උණුසුම් විය. ඒ පසුගිය 17 වැනිදාය. එයට ප‍්‍රධාන හේතුව වූයේ පනාමුරේ පොලිසිය විසින් පසුගිය 16 වැනිදා රාත‍්‍රී කාලයේ අත්අඩංගුවට ගැනුණු පුද්ගලයෙකු එදින අලූයම් කාලයේදී පොලිස් ස්ථානය තුළදී මියයෑමේ සිද්ධියක් හේතුවෙනි. එම සිද්ධිය සැකවින් මෙසේය.

පනාමුරේ වැලි පොත ප‍්‍රදේශයේ පදිංචි ඉන්දික ජයරත්න තිදරු පියෙකි. වයස අවුරුදු 39කි. මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වී සිටි ඔහුට තම දරු තිදෙනා සහ බිරිඳ ගැන වැඩි තැකීමක් තිබුණේ නැත. ඔහුගේ එකම අරමුණ වූයේ දිනපතා භාවිතය සඳහා කෙලෙස හෝ මත්ද්‍රව්‍ය සහ මත් පැන් සොයා ගැනීමයි. ඒ සඳහා ඔහු නොකළ දෙයක් නොමැත.

මත්පැන් භාවිත කිරීමෙන් පසු ඉන්දික හැසිරුණේ විසඝෝර තිරිසන් සතකු මෙන්ය. එයින් වැඩිපුරම බැට කෑවේ බිරිඳ සහ අහිංසක දරු තිදෙනාය. නිරතුරුවම මොහු තම බිරිඳට වචනවලින් පමණක් නොව අතින් පයින් ද ඉතාමත් දරුණු ආකාරයට පහර දුන්නේය. දරුවන්ට ද එලෙසමය. එමනිසා තම පියා ජීවත්ව සිටියත් එම දරුවන් තිදෙනාට දන්නා කාලයක සිට පිය සෙනෙහස නොලැබුණි. අඩුම තරමේ එහි අරුතවත් ඔවුන් දැන සිටියේ නැත.

තම බේබදු ස්වාමිපුරුෂයාගෙන් කොතරම් හිරිහැර කරදර පැමිණියත් ඇය ඔහුව අතහැර ගියේ නැත. ඒ සියල්ල ඉවසාගෙන හැකි උපරිම අයුරින් තම දරු තිදෙනා උස්මහත් කිරීමට ඇය අපමණ උත්සාහයක නිරත වූවාය. ප‍්‍රදේශවාසීන්ද ඒ බව දැන සිටියහ.

ඥාති හිතමිත‍්‍රාදීන් කොතරම් අවවාද උපදෙස් ලබා දුන්නත් ඉන්දිකව යහමගට ගැනීමට නොහැකි වූහ. එන්න එන්නම ඔහු මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි විය. ඒ සමගම බිරිඳට සහ දරු දෙදෙනාට කරන කරදර ද වැඩිවන්නට පටන් ගත්තේය. ඉවසාගත නොහැකි අවස්ථාවල 2017 වර්ෂයේ සිට බිරිඳ ඔහුට විරුද්ධව විටින් විට පනාමුරේ පොලිසියේ පැමිණිලි දැමුවාය. සමහර පැමිණිලි අධිකරණය දක්වා දුරදිග ගියේය. අවස්ථා දෙකකදී මොහුට අධිකරණය විසින් තරයේ අවවාද පවා කර මුදාහැර තිබුණි. එහෙත් ඔහු යහමගට ගැනීමට පොලිසියට හෝ අධිකරණයට පවා නොහැකි විය. බිරිඳ සහ දරුවන් සමඟ රණ්ඩු සරුවල් කරමින් සුපුරුදු බේබදු ජීවිතයම ඔහු ගත කළේය.

දිනය පසුගිය දොළොස් වැනිදාය. එදින ඔහු නිවසට පැමිණියේ වෙනදාටත් වඩා බමන මතින්ය. ඔහු එන අවස්ථාවේ නිවසේ සිටියේ අවුරුදු දහහතරක් පමණ වයසැති වැඩිමහල් දියණිය පමණි. නිවසට ඇතුළු වූ සැණින් ඔහු තම දියණියගෙන් ඉතා සැර පරුෂ ලෙස මෙලෙස ඇසුවේය.

‘‘කෝ මහ ගෑනි.”

‘‘කවුද අම්මද තාත්තේ.”

‘‘ඔව් අම්මා තමයි හරි අම්මා තමයි ඔය ගෑනි. මගේ දෑහැට පෙන්නන්න බෑහැ. ඕකි නිසා තමයි මට මෙහෙම වුණේ. අද මං ඔය ගෑනිට හොඳ පාඩමක් උගන්නනවා.”

‘‘ඇයි තාත්තෙ ඔයා බීගෙන ඇවිත් හැමදාම අපිට කෑගහන්නෙ.”

‘‘උඹත් එනවද දැන් මට උපදෙස් දෙන්න හිටපිය උඹට…”

එල්ලිලාද මැරුණේ, මරලද එල්ලූවේ… ප්‍රෙහෙලිකාව නෑනේ විසඳුණේ

එලෙස පැවසූ සිත් පිත් නැති එම මිනිසා තම ලෙයින් ජනිත වූ දියණියට පරුෂ වචනයෙන් බැනවදිමින් පහරවල් කිහිපයක් එල්ල කළේය. ඒ සමගම එම දියණිය ‘‘අනේ තාත්තේ ගහන්න එපා” යැයි පැවසුවාය.

එයින් යළි උරණ වූ එම සිත් පිත් නැති මුර්ග වෙස් ගත් මිනිසා අසල තිබූ කොස්ස රැගෙන තවත් පහරවල් කීපයක් එම අහිංසක දියණියට එල්ල කළේය. එම පහරවල් දරාගත නොහැකිව ඇය බිම ඇද වැටුණාය. වේදනාව දරාගත නොහැකිව විලාප දුන්නා ය. එහෙත් එම සිත් පිත් නැති මුර්ග මිනිසා එය කනකටවත් ගත්තේ නැත. තම දියණියගේ අතක් කැඩෙන තුරුම කොස්සෙන් පහරදී යළිත් මත්පැන් පානය කිරීම සඳහා නිවසින් පිටව ගියේය.

මව නිවසට පැමිණෙන විට එම දැරිවිය වේදනාව ඉවසාගත නොහැකිව සාලයේ මුල්ලකට වී විලාප තබමින් සිටියාය. සිදු වූ දෙය එක් වරම සිතා ගැනීමට නොහැකි වූ ඇය තුෂ්නිම්භූතව තම දියණියගෙන් මෙලෙස විමසුවාය.

‘‘මගේ රත්තරන් දුවේ උඹට මොකද වුණේ.”

‘‘අනේ අම්මේ බීලා ඇවිත් තාත්තා ගැහුවා. මට හොඳටම අමාරුයි.” දියණියට පැවසීමට හැකිවූයේ එපමණකි. ඒ අනුව සිදුවී ඇති සියල්ල ඇය සිතා ගත්තාය. පළමුව ඇය තම දියණියව රෝහල වෙත රැගෙන ගියාය. ප‍්‍රතිකාර සඳහා දියණියව රෝහලේ නවත්වාගත් අතර ඉන්පසු පොලිසියට පැමිණි ඇය තම දියණියට පහරදීම සම්බන්ධයෙන් ඉන්දිකට විරුද්ධව පැමිණිල්ලක් දැමුවාය.

පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ පනාමුරේ පොලිසියේ නිලධාරීහු සැකකරු සොයා අවස්ථා කිහිපයකදීම නිවසට පැමිණියහ. එහෙත් ඔහු නිවසේ නොසිටියේය. තම බිරිඳ පොලිසියේ පැමිණිල්ලක් දමා ඇති බව දැනගත් ඔහු හොර රහසේම නිවසින් පැන සැඟවී ගියේය.

දින කිහිපයක් ඔහු පොලිසිය මග හරිමින් තැන් තැන් වල සිටියේය. වැඩි දිනක් ඔහුට එලෙස සිටීමට නොහැකි විය. පසුගිය දාසය වැනි දා සවස් යාමයේ අධික බමන මතින් ඔහු තම නිවස වෙත යළි පැමිණියේය. ඒ කාටත් හොර රහසේය.

ඉන්දික එලෙස පැමිණෙන අයුරු අසල්වාසියෙකු දුටුවේය. වහාම ඔහු ඒ පිළිබඳව පනාමුරේ පොලිසියට දැන්නුවේය. ලද තොරතුරට අනුව පොලිස් නිලධාරීහු ඉන්දිකව අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට පැමිණියහ. එලෙස පැමිණි පොලිස් නිලධාරීන් ඔහුව අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ගියේය. ඒ එදින රාත‍්‍රියේ 9:30 ට පමණය.

පසුදින උදාවිය. උදෑසනම පොලිස් නිලධාරීන් ඉන්දිකගේ බිරිඳට මෙලෙස පැවසුවේය.

‘‘ඔයාගේ සැමියා වන ඉන්දික ඊයේ රාත‍්‍රියේදී පොලිස් සිරමැදිරියේදී බෙල්ලේ වැල දාගෙන සියදිවි නසාගෙන තියෙනවා. අපි එයාව හොස්පිට්ල් අරං ගියා. එත් බේරගන්න බැරි වුණා. දැන් බොඩි එක ඇඹිලිපිටිය හොස්පිට්ල් එකේ තියෙනවා. ඇවිත් බලන්න.”

‘‘සර් මගේ මිනිහා බේබද්දෙක් තමයි. බීලා ඇවිත් අපිත් එක්ක රණ්ඩු සරුවල් කරලා ඇති. එහෙත් එල්ලිලා මැරෙන්න තරම් ප‍්‍රශ්නයක් එයාට තිබුණෙ නැහැ. සර්ලා තමයි එයාව ගහලා මරන්න ඇත්තෙ. මට ආරංචියි සර්ලා අල්ලං යනකොටත් එයාට හොඳටම ගැහුවා කියලා.”

‘‘මේ මොන අපරාධයක්ද. මගේ මිනිහව පොලිසියෙන් මරාගෙන. අපිට කවුරුත් නැද්ද උදව් කරන්න. මොන දෙවියන්ට මේ අවනඩුව මම කියන්නද.?”

කොතරම් අඩන්තේට්ටම් කළත් සැමියා ගැන එලෙස පුවතක් ඇසූ ඇය එක්වරම වික්ෂිප්ත වූවාය. එමනිසා ප‍්‍රදේශය දෙවනත්වන සේ හඬා වැටෙමින් ඇය එලෙස පැවසුවාය.

ඒ සමගම ඉන්දිකගේ මියයෑම ලැව් ගින්නක්සේ ප‍්‍රදේශය පුරා පැතිරෙන්නට පටන් ගත්තේය. එකා දෙන්නා ඉන්දිකගේ නිවසට එක් රොක් වූහ. පැය භාගයක් යන්නට මත්තෙන් දෙසීයකට තුන්සීයකට අධික පිරිසක් එම නිවස වටා එක්රොක් වූහ. පැමිණි සියල්ලම පැවසුවේ පොලිස් නිලධාරීන් විසින් ඉන්දික මරා දමා ඇති බවයි.

‘‘ඉන්දිකගේ නරක වැඩ පවුල් ආරවුල් අපිට වැඩක් නැහැ. දැන් මියගිය ඔහු වෙනුවෙන් අපි පෙනී සිටින්න ඕනා.” සියලූ දෙනාම එලෙස කතිකා කරගත්හ. ඒ අනුව පනාමුරේ පොලිසියට එරෙහිව විරෝධතාවක් දැක්වීමට ඔවුහු සූදානම් වූහ. අසල ගම් දනව්වලද මෙම ආරංචි පැතිර ගියේය. ඉන්දිකව ඇහැටවත් නොදැකපු පිරිස් ද පොලිසියට විරෝධය පෑමට පැමිණිය හ. කාන්තා පිරිමි වයස් භේදයකින් තොර හයසියක පමණ පිරිසක් පනාමුරේ පොලිසිය වටලා විවිධ සටන් පාඨ කියමින් දැඩි විරෝධතාවක නිරත වූහ. ඔවුන් සූදානම් වූයේ පොලිසියේ දේපළ විනාශ කර එම නිලධාරීන්ට පහර දීමටයි.

විරෝධතාවට පැමිණි ජනතාව වැඩි වීමත් සමග පනාමුරේ පොලිසියට තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූහ. ඒ අනුව අවට පොලිසිවල සහ අතිරේක පොලිස් බලඇණි තුනක්ද එම ස්ථානයට ගෙන්වීමට සිදුවිය. එලෙස අතිරේක පොලිස් නිලධාරීන්
ගෙන්වනවාත් සමගම විරෝධතාව දැක්වීමට පැමිණි පිරිසද වැඩිවන්නට පටන් ගත්හ. ඒ අනුව පොලිසිය සහ විරෝධතාව දැක්වූ ජනතාව අතර ඉතා උණුසුම් තත්ත්වයක් ඇතිවූහ. සමහරු පොලිස් නිලධාරීන්ට පහර දීමට පවා උත්සාහ කළහ.

පැය කීහිපයක්ම දාහකට අධික පිරිසක් පොලිස් නිලධාරීන්ට විරුද්ධව විවිධ සටන් පාඨ සහ පරුෂ වචන කියමින් බැන වැදුනහ. ඒ අතර තවත් පිරිසක් ඇඹිලිපිටිය – කොලොන්න ප‍්‍රධාන මාර්ගය හරස් කොට දර කොටන් සහ ටයර් ගිනි තබමින් විරෝධතාව පළ කළහ. පැය ගණනක් යනතුරු එම මාර්ගයේ කිසිවෙකුටත් ගමන් කිරීමට විරෝධතාකරුවන් ඉඩ දුන්නේ නැත. එයට අමතරව නගර කිහිපයකම කළු කොඩි ඔසවමින් සහ රතිඤ්ඤා පත්තුකරමින් තවත් පිරිසක් පොලිසියට එරෙහිව විරෝධය දැක්වූහ. ඇඹිලිපිටිය අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය පනාමුරේ පොලිසියට පැමිණ ස්ථානීය පරීක්ෂාව සිදු කොට ආපසු පොලිසියෙන් පිට වන අවස්ථාවේදී කුපිතව සිටි ජනතාව වතුර බෝතල් සහ වැලි පිරවූ බෝතල් වලින් ඇයටද ප‍්‍රහාර එල්ල කළහ. එහෙත් ඒ ප‍්‍රහාර සියල්ලම පාහේ වැදුණේ මහෙස්ත‍්‍රාත්වරියගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන්ටයි. එයින් නොනැවතී තවත් කුපිත වූ පිරිස් එය ආවරණය කිරීමට පැමිණි මාධ්‍යවේදීන්ට නිකරුනේ පහර දීමට උත්සාහ කළහ. එයද පොලිස් නිලධාරීන් මැදිහත් වී සමථයකට පත් කළේය.

තත්ත්වය එන්න එන්නම දරුණු අතට හැරුණි. කුපිත වූ ජනතාව පැය ගණනක් පොලිසියට විරෝධතාව දක්වමින් උද්ඝෝෂණවල නිරතවූහ. කුපිතව හැසිරුණු එතරම් විශාල ජන ගඟක් එක්වරම පොලිසියට පාලනය කර ගැනීමට නොහැකි විය. එහෙත් ඔවුන් උත්සාහය අතහැරියේ නැත. තමන්ට පුළුවන් උපරිම ආකාරයෙන් එය මැ`ඩපැවැත්වීමට උත්සාහ කළහ.

එල්ලිලාද මැරුණේ, මරලද එල්ලූවේ… ප්‍රෙහෙලිකාව නෑනේ විසඳුණේ

පසුව එම ස්ථානයට පැමිණි ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් මෙන්ඩිස් මහතා විරෝධතාකරුවන්ට” මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු හා සැරයන්වරයෙකුගේ වැඩ දැනටමත් තහනම් කර ඇති බවත් ඒ පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා යටතේ වෙනම පරීක්ෂණයක් සහ සහකාර පොලිස් අධිකාරිවරයා යටතේ තවත් පරීක්ෂණයක් ද සිදු කරන බව” පැවසීය. එය ඇසීමෙන් පසු උද්ඝෝෂණවල නිරත වූ පිරිස විටින් විට නිවෙස් බලා ගියහ. ඒ අනුව සවස් කාලය වන විට ප‍්‍රදේශයේ සාමකාමී තත්ත්වයක් දක්නට ලැබුණි.

උද්ඝෝෂණය එලෙස අවසන් වුවත් ඉන්දික ජයරත්නගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ, දරුවන්, ඥාතීන්, හිතමිතුරන් සහ ප‍්‍රදේශවාසීන් සෘජුවම චෝදනා එල්ල කරන්නේ පනාමුරේ පොලිස් නිලධාරීන්ටයි.

ඒ සම්බන්ධයෙන් මියගිය ඉන්දිකගේ ඥාති සහෝදරියක් අපට පැවැසුවේ මෙවැනි දෙයකි.

‘‘මිය ගිහිල්ලා ඉන්නේ මගේ ඥාති අයියා කෙනෙක්. එයාගේ පවුලේ ප‍්‍රශ්න තිබුණා. ඒ ප‍්‍රශ්න තිබුණා කියලා පොලිසිය මෙහෙම ගහලා මරණ එක හරිද?. බලන්න මේක මොන තරම් අපරාධයක් ද කියලා. දැන් දරුවන්ට තාත්තා කෙනෙක් නැහැ. කිසි වරදක් නොකරපු මගේ අයියව තමයි මේ විදිහට පොලිසියෙන් මරාගත්තේ.”

‘‘අයියව පොලිසියෙන් අරගෙන යනකොට මම හිටියේ අපේ ගේ ඇතුළේ. අනේ මට ගහන්න එපා මාව මරන්න එපා කියලා කෑගහන සද්දයක් ඇහුණා. ඒ කටහඩ අපේ අයියාගේ. මම එකපාරටම එලියට ආවා මොකක්ද වුණේ කියලා බලන්න. ඒ එනකොටම අයියව ජීප් එකට දාගෙන අරගෙන ගියා.”

‘‘පොලිසියට ගියාට පස්සේ හොඳටම ගහන්න ඇති. ඒ ගහපු ගැහිල්ලට තමයි අයියව මැරෙන්න ඇත්තේ. දැන් ඒගොල්ලෝ කියනවා අයියා එල්ලිලා මැරුණා කියලා. අපේ අයියට එහෙම කරගන්න කිසිම හේතුවක් තිබුණේ නෑහැ. එයා ටිකක් බීලා කෑගහනවා තමයි. ඒත් එයාට මැරෙන්න ඕන වුණේ නැහැ. මේ සිද්ධියට තනිකරම වග කියන්න ඕනේ පනාමුරේ පොලිසියේ නිලධාරීන්. ඒක නිසා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා විධිමත් පරීක්ෂණයක් සිදුකරලා අහිංසක අපිට සාධාරණයක් ඉටු කරන්න කියලා.”

ඇය පමණක් නොව ඉන්දිකගේ මරණය සම්බන්ධයෙන් බොහෝ පිරිසක් චෝදනා එල්ල කරන්නේ පනාමුරේ පොලිස් නිලධාරීන් වෙතටයි. පොලිසිය වෙත එලෙස චෝදනා එල්ල වෙද්දී එම පොලිස් නිලධාරීන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පවසන්නේ මෙවන් දෙයකි.

‘‘අපි මියගිය සැකකරුට පහර දුන්නේ නැහැ. අත්අඩංගුවට ගන්න යනකොට ඔහු සිටියේ අධික බීමතින්. එම නිසා අවම බලය පාවිච්චි කරමින් තමයි අපි ඔහුව අත්අඩංගුවට ගත්තේ.”

‘‘මියගිය අයගේ බිරිඳ අවස්ථා කිහිපයකදීම ඔහුගෙන් කරදර වෙනවා කියලා අපිට පැමිණිලි කරලා තියෙනවා. සමහර ඒවා උසාවිය දක්වා දුරදිග ගියා. මොහුට අවස්ථා දෙකකදී අධිකරණය විසින් තරයේ අවවාද පවා කර තිබෙනවා. එහෙත් ඔහු ඒවා ගණන් ගන්නේ නැතුව බිරිඳට සහ ළමයින්ට කරදර කරනවා.”

‘‘පසුගිය 12 වැනිදා මොහුට විරුද්ධව බිරිඳ යළිත් පැමිණිල්ලක් දැම්මා. ඒ බීමතින් පැමිණ තම දියණියට ඉතා අමානුෂික ලෙස පහරදුන් බව පවසා. අපි ඒ පැමිණිල්ල ලියාගෙන මොහු අත්අඩංගුවට ගන්න දවස් කිහිපයක් ගියා. එහෙත් සැකකරු හිටියේ නැහැ. මොහු අධික ලෙස මත්පැන් හා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයෙක් කියලත් ආරංචියි.”

‘‘පසුගිය දාසයවැනිදා මොහු පිළිබඳ අපට තොරතුරක් ලැබුණා. ලද තොරතුරට අනුව අපි ගිහින් මොහුව නිවසේදී අත්අඩංගුවට ගත්තා. එලෙස අත්අඩංගුවට ගෙන පොලිස් මැදිරිය තුළ රඳවා තිබුණා. ඒ පහුවෙනිදා උසාවියට ඉදිරිපත් කරන්න.”

‘‘ඒ ඉන්නකොට තමයි මොහු ඇඳගෙන සිටි කමිසයෙන් සිරමැදිරිය තුළ එල්ලිලා ඉඳලා තියෙන්නෙ. ඒ වෙලාවේ රාජකාරියේ සිටි අපේ නිලධාරීන් දෙදෙනෙක් ඒක දැකලා තියෙනවා. වහාම ඔවුන් දෙදෙනා මෙම සැකකරුව රෝහලට රැගෙන ගොස් තිබෙනවා. ඒ අතරතුරදී තමයි මොහු මිය ගිහින් තියෙන්නේ. ඇත්ත සිද්ධි එකයි.”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පවසන්නේ එවැනි දෙයකි. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නිහාල් තල්¥ව මහතාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් පැවසුවේ එවැනිම ආකාරයේ දෙයකි. පොලිසිය එසේ පවසද්දී මැති සබය තුළද මේ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරු කතා බස් කළහ. එහිදී විපක්ෂයේ සමහර මන්ත‍්‍රීවරුන් ජනතාවට පෙන්වීමට උත්සාහ කළේ පසුගියදා පැවැති සමගි ජනබලවේගයේ උද්ඝෝෂණයට සහභාගි වීමට පැමිණෙමින් සිටියදී එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන පහර දී ඝාතනය කළ බවයි. එහෙත් එය සාර්ථක වූයේ නැත. විපක්ෂයට පොට වැරදී ගියේය. දේශපාලන වාසි තකා රජයට හා සරත් වීරසේකරට එරෙහිව කර තබාගෙන කරළියට ගෙන එන්නට තෝරාගත් මෘතදේහය ඒ සඳහා සරිලන වස්තු බීජයක් නොවීය. ඉන්දික ජයරත්නගේ නම මැතිසබයේ රැව් දෙන තරමට විපක්ෂය හඬක් නැගුවත් ඉන්දික ජයරත්න යනු සැබෑ අහිංසක උපාසකයකු නොවන බව මුළු රටම දැනගන්නට වැඩි වේලාවක් ගියේ නැත. එනිසා ඉන්දිකගේ සිද්ධිය මැතිසබයේ රැව්දුන්නත් පිළිරැව් දෙන්නට තරම් සිද්ධිය ප‍්‍රබල නොවීය.

එසේ වූවා යැයි කියා මහජන ප‍්‍රසාදය පොලිසිය වෙත යොමු වූයේ ද නැත. ඒ මන්ද ගොරකා දඩ මස් කරන්නටත් නීතිය අවශ්‍ය තැන නිසි පරිදි නවන්නටත් අසමසම හැකියාවක් ඇති මේ රටේ පොලිසියේ කෙරුවාවල් ගැන ද මේ රටේ ජනතාව ඉතා හොඳින් දැන සිටින නිසාය. සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතානගේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශ කළේ මෙවැනි දෙයකි.

‘‘ඇත්ත වශයෙන්ම මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් වගකියන්න ඕනා පොලිසිය. පොලිස් සිර කූඩුවක් තුළ එහෙම මනුස්සයෙක් එල්ලිලා මැරෙන්නෙ කොහොමද කියන එක ලොකුම ප‍්‍රශ්නයක්. රාත‍්‍රි කාලයේ රාජකාරියේ නිරත වූ පොලිස් නිලධාරීන් මොකද කරලා තියෙන්නේ. මොහු එල්ලිලා මැරෙනකම් බලාගෙන ඉඳලා තියෙනවද. මේක සම්පූර්ණ බොරුවක්නේ. ජනතාව නොමඟ යවන්න ඔය වගේ බොරු කියන්න එපා. මේ මරණයට පොලිසිය විතරක් නෙමේ රජයත් වගකියන්න ඕනා. ඇඹිලිපිටියේ මීට පෙරත් ඔය වගේ මරණයක් සිද්ධ වුණා.”

හේශා විතානගේ මන්ත‍්‍රීවරයා එලෙස ප‍්‍රකාශ කරද්දි පොලිසිය බාර ඇමැති ආචාර්ය සරත් වීරසේකර මහතා මෙම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් මෙලෙස පැවසුවේය.

‘‘මියගිය තරුණයා බීමට ඇබ්බැහි වූ පුද්ගලයෙක්. මොහු නිතරම තම දරුවන්ට සහ බිරිඳට පහර දෙනවා. මොහුට විරුද්ධව පැමිණිලි රාශියක්ම පොලිසියේ තියෙනවා. මොහු අත්අඩංගුවට ගත් පසු පොලිස් සිර මැදිරිය තුළ දී ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා. ඒකට පොලිස් නිලධාරීන්ට කරන්න දෙයක් නැහැ.”

කවුරු කෙසේ පැවසුවත් පොලිස් අත්අඩංගුවට පත්වූ පසු සැකකරුවෙකු මියගොස් තිබේ. පොලිසිය පවසන ආකාරයට ඔහු මියගොස් තිබෙන්නේ ගෙල වැලලාගෙනයි. එහිදී ප‍්‍රශ්න කිහිපයක් අපට ද පැන නගති. එයින් එක් කරුණක් වනුයේ පොලිස් සිර මැදිරියක් තුළ කමිසයකින් ගෙල වැලලාගෙන මිය යෑමට තරම් ඉඩකඩ සහ පහසුකම් තිබේද යන්නයි. තවද එදින රාත‍්‍රියේ එම පොලිස් සිර මැදිරියේ සිටියේ මිය ගිය මෙම පුද්ගලයා පමණද යන්නත් විශාල ගැටලූවකි. එපමණක් නොව එදින රාත‍්‍රියේ රාජකාරියේ සිටි නිලධාරීන් හරියාකාරව තම සේවය ඉටු කළාද යන්න පිළිබඳවත් නැගෙන්නේ මහත් ගැටලූවකි. එලෙස නිසියාකාරව රාජකාරි කළා නම් සැකකරුවකුට පොලිස් සිර මැදිරිය තුළ ගෙල වැලලාගෙන මිය යෑමට අවස්ථාවක් නොමැත.

එවැනි තත්ත්වයක් උඩ ජනතාව කුපිත වී පොලිසියට විරෝධතාව දැක්වීම වරදක් ලෙස දැකිය නොහැකිය. එහෙත් ඔවුන් රජයේ නිලධාරීන්ට, මාධ්‍යවේදීන්ට සහ රජයේ දේපළවලට සිදුකළ හානි කිසිසේත් පිළිගත නොහැකිය. එය දඬුවම් ලබාදිය යුතු වරදකි.

තවද දෙයක් මතක් කළ යුතුව ඇත. පොලිස් අත්අඩංගුවට පත්වූ සැකකරුවන් මිනී පෙට්ටියෙන් ගෙදර ආ අවස්ථාද අතීතයේ අපිට දකින්නට අසන්නට ලැබුණි.

එවැනි සිද්ධි උදාහරණයට ගනිමින් කුපිත වූ ජනතාව පොලිසියට මෙම මරණය සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල කළත් අපට තවමත් එලෙස පැවසිය නොහැකිය. ඒ මන්දයත් මෙම ලිපිය ලියන මොහොත වනවිටත් මිය ගිය පුද්ගලයාගේ මරණ පරීක්ෂණය සිදු නොකර තිබූ නිසාය. මරණ පරීක්ෂණයට අනුව ඔහු මියගියේ කෙසේ ද යන්න පිළිබඳව දැනගැනීමට හැකිවනු ඇත. ඒ අනුව මෙම තරුණයා මිය ගියේ කෙසේද යන්න පිළිබඳ විධිමත් පරීක්ෂණයක් සිදුකර සත්‍ය රටට හෙළි කළ යුතුය. ජනතාව රැකීමට සිටින පොලිස් දෙපාර්තමේන්තුවේ නිසි වගකීම එයයි. අප මේ ගෙවා දමමින් සිටින්නේ ව්‍යසනකාරී යුගයකි. උද්ඝෝෂණ වැනි මහජන ඒකරාශිවීම් හේතුවෙන් යළි යළිත් කොරෝනා රට පුරා පැතිර යෑමේ අවදානම ගැන සෞඛ්‍ය අංශ පුන පුනා අනතුරු අඟවමින් සිටිති. කොරෝනා පතුරුවන්නට මග පාදමින් මහජන ඒකරාශි කිරීම සංවිධානය කර රජයේ කොරෝනා මර්දන ව්‍යාපෘති කඩාකප්පල් කරන්නට ව්‍යාපෘති ක‍්‍රියාත්මක කරන බොරදියේ මාළු බාන අවස්ථාවාදීන් ගැනද අප තොරතුරු නොදන්නවා නොවේ. ඒ බැව් දැන හෝ නොදැන හෝ හැඟීමක් නැතිව අද පනාමුරේ ප‍්‍රදේශවාසීන් ද තරුණ කොටස් ද පොලිසිය ඉදිරියේ සටන්කාමී වීර චරිත රඟපාන්නට පටන් ගෙන ඇති බව පැහැදිලිය. එහෙත් අන්තිමේ ඒ සියල්ලෝම අපහසුතාවට පත්වූයේ තම සැමියාගේ මෘත දේහයවත් ගෙදරට ගෙන එන්නට ඉන්දික ජයරත්න ගේ බිරිඳ හා දරුවන් සිය බලවත් අකැමැත්ත හා විරෝධය පළකර සිටින විටය.

එල්ලිලාද මැරුණේ, මරලද එල්ලූවේ… ප්‍රෙහෙලිකාව නෑනේ විසඳුණේ

දැන් වෙමුද දේහයේ භාරකරුවන් කවුද. හේෂා විතාරණ ද…. සටන්කාමී සමගි ජන බලවේගයේ මුජිබර් රහුමාන්ලා මරික්කාර්ලා කිරිඇල්ලලා ද….

ඕනෑම ගෙරිකුණක් රාජපක්ෂලාට එරෙහි සටනට තම තුරුම්පුවත් කරගන්නා විපක්ෂය මෙබඳු කාරණාවලදී වඩාත් කල්පනාකාරී විය යුතු යැයි අපි සිතමු.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment