එල් එන් ජී ආයෝජනය අත්හිටුවයි

320

එල්.එන්.ජී. (ස්වභාවික ද්‍රව වායු) සැපයුම සඳහා ඇමරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ තිබුණු යෝජිත ආයෝජනය රජය විසින් අත්හිටුවා ඇතැයි වාර්තා වේ. එවකට මුදල් ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා මෙම සමාගම සමඟ ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් දුන් කැබිනට් තීරණය පසුගිය රජයේ ඇමැතිවරුන් පිරිසක් විසින් අභියෝගයට ලක්කිරීමෙන් පසු මෙම ආයෝජන ව්‍යාපෘතිය මතභේදයට තුඩු දුන්නේය. කෙසේ වෙතත් ශ්‍රේෂ්ඨාධිකරණය එම පෙත්සම් ප්‍රතික්‍ෂේප කළේය.

කෙසේ වෙතත් නව රජය එම ආයෝජන යෝජනාව පිළිබඳව අදාළ සමාගම සමඟ නැවත සමාලෝචනය කිරීමට තීරණය කර තිබුණි. මේ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා මාධ්‍යයට පවසා තිබුණේ තමාට කිව හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ නව රජයේ ප්‍රතිපත්තියට අනුව එම ව්‍යාපෘතිය සමාලෝචනයට ලක්කරන බව පමණක් බවයි.

එල්එන්ජී බලශක්ති උත්පාදනයට සම්බන්ධ ඇමෙරිකාවේ නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම නිව් ෆ්‍රෝට්‍රස් ආයෝජනය සඳහා වෙස්ට් කෝස්ට් පවර් ලිමිටඩ් හරහා නිශ්චිත ගිවිසුමක් ක්‍රියාත්මක කළ බව ගිය වසරේදී නිවේදනය කරන ලදි.

මෙගාවොට් 310 කින් සමන්විත කෙරවළපිටිය යුගදනවි බලාගාරයත් අලුතින් ඉදිකිරීමට නියමිත ස්වභාවික ද්‍රව වායු (LNG) බලාගාරයට අයත් පර්යන්තය සංවර්ධනය කිරීමටත් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම සමඟ ගිවිසුමට එළැඹ තිබිණි. දැනට යුගදනවි බලාගාරයෙන් නිපදවන මෙගාවොට් 310 ට අමතරව තවත් මෙගාවොට් 700 ක් අලුතින් නිපදවීමට යෝජනා කරන තිබිණි. එම මෙගාවොට් 700 න් මෙගාවොට් 350 ක් 2023 වනවිට ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණු බව ද අදාළ සමාගමේ වෙබ් අඩවියේ සඳහන්ව තිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment