එල්.ටි.ටී.ඊ යේ රුපියල් බිලියන ගණනක දේපළ රාජසන්තකයි…

1571

● තමිල්නාඩුවේ දී හයදෙනෙකුගෙන් යුත් කොටි කල්ලියක් අත්අඩංගුවට

● මනෝ ගනේෂන් ඇමරිකානු තානාපතිනිය හමුවී දේශසීමා රහිත ප්‍රජා කවුන්සිලයක් ඉල්ලයි

● ඩෙන්මාර්කය සහ ස්විට්සර්ලන්තයේ කොටි ජාත්‍යන්තරය සතු ඩොලර් කෝටි ගණනක මුදල් ඇතිබව හෙළිවේ.

● රජීව් ගාන්ධි ඝාතනය මෙහෙය වූ රගු හෙවත් කන්නන්ගේ දියණි ශර්මිලා වර්ධරාජා බ්‍රිතාන්‍යය නගර සභාවකට තරග කරයි

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනිය ජූලි චුන් දැන් ඍජුව මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වී ඇත. රඹුක්කන දී පොලිසිය සිදුකළ වෙඩිතැබීම ගැන විනිවිද භාවයෙන් යුත් පරීක්‍ෂණයක් අවශ්‍ය බව ඇය ප්‍රකාශ කර තිබේ. පොලිසිය සිදුකළ මුල්ම වෙඩිතැබීම රඹුක්කන සිද්ධිය නොවේ. පේරාදෙණියේ දී වීරසූරිය සිසුවාගේ සිට පාතාල කල්ලි නායකයන් යැයි හඳුන්වන අයවලුන්ට වෙඩි තබා මරා දැමීමට පොලිසිය ක්‍රියාකර ඇත. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පසුගිය දිනෙක ප්‍රකාශයට පත්කළ වාර්තාවෙන් ද මේ වෙඩි තැබීමේ සිදුවීම් හෙළිදරව් කර තිබුණි. මෙවන් පසුබිමක් මැද ඇමරිකානු තානාපතිනිය ශ්‍රී ලංකාවේ අර්බුදකාරී සිදුවීමට මැදිහත්වීම ගැන විදේශ ලේකම්වරයා නිහඬ විය.

එහෙත් ඇමරිකාවේ පොලිසිය ක්‍රියාකරන්නේ කෙසේද යන්න විමර්ශනය කළයුතුයි. 2020 දී සිවිල් වැසියන් 455ක් ද 2021 දී 212ක් ද 2022 මාර්තු වනවිට 22ක් ද පොලිස් වෙඩි තැබීමෙන් ඝාතනය වී ඇත.

එල්.ටි.ටී.ඊ යේ රුපියල් බිලියන ගණනක දේපළ රාජසන්තකයි…

එසේම ඇමරිකානු වාර්තාවලට අනුව 2015 සිට මේ දක්වා පොලිස් වෙඩිතැබීමෙන් මරුමුවට පත් සංඛ්‍යාව 6303කි. ඊට අමතරව කාන්තාවන් 294ක් ද මියගොස් තිබේ.

එසේ වුවත් තානාපතිනි ජූලිචුන් ඇමරිකාවේ සිදුවූ පොලිස් වෙඩි තැබීම්වලින් මරුමුවට පත් පිරිස වෙනුවෙන් විනිවිද පරීක්‍ෂණ පැවැත්වූ බව කියන්නේ නැත.

ජෝර්ජ් ප්ලොයිඩ් නැමැති කළු ජාතිකයා මරාදමන ලද්දේ ඔහුගේ බෙල්ල පාගාගෙන සිටීමෙනි. ඇමරිකානු යූ එස් ඒ ටුඩේ අඩවිය පසුගිය වසරේ ජුනි 21 දා හෙළිකළේ ඇමරිකානු පොලිසිය වසරකට දහසකට පමණ වෙඩි තබන බවයි.

එහෙත් ඇමරිකානු තානාපතිනිය ප්‍රමුඛ කොළඹ ඇමරිකානු තානාපති කාර්යාල බලධාරීන් සිතන්නේ මෙරට මාධ්‍ය පාර්ශ්ව මේ ගැන නොදන්නා බවයි. ඇමරිකානු පොලිසිය සිදුකරන මෙම මිනිස් ඝාතන අපහැර වෙනත් මාධ්‍ය හෙළිකරන්නේ නැත.

මේ වසරේ මාර්තු 24 වනවිට සිවිල් වැසියන් 249ක් පොලිසිය ඝාතනය කර ඇත. එය දිනකට තුන බැගිනි.

ඇමරිකාවේ සිදුවන මෙම බිහිසුණු පොලිස් ක්‍රියාදාමය ගැන මෙරට ජනතාව නොදනී. එසේම ඉන්දියාව තුළ පොලිසිය සිදුකළ වෙඩිතැබීමෙන් 1731ක් මරුමුවට පත්වී ඇති අතර බ්‍රිතාන්‍යයේදී පොලිසිය තිදෙනකු මරාදමා ඇත.

මේ අතර ස්විස් පොලිසිය විරෝධතාකරුවන් මර්දනය කරන්නේ ජල ප්‍රහාර සහ ගම්මිරිස් ප්‍රහාර එල්ල කිරීමෙන් බවත් වරක් ජිනීවා මානව හිමිකම් සමුළුවකට පැමිණි ආචාර්ය ප්‍රතිභා මහානාම පවසා ඇත.

එහෙත් අතේ ආයුධයත් තිබුණේ නම් ස්විස් පොලිසිය ගම්මිරිස් ප්‍රහාර එල්ල කරන්නේ නැත. අප වරක් ස්විට්සර්ලන්තයේ සිටිය දී සුබ්‍රමනියම් නැමැති ශ්‍රී ලාංකික ද්‍රවිඩයාට ස්විස් පොලිසිය වෙඩි තබා මරාදැමීය.

මේ අතර පසුගිය මාර්තු 22 දා මෙරට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දේශපාලන කටයුතු පිළිබඳ ලේකම්වරිය වූ වික්ටෝරියා නූලන්ඩ් සමග සහකාර ලේකම් ඩොනල්ඩ්ලු මෙරටට සම්ප්‍රාප්ත විය.

මොහුට එරෙහිව හිටපු පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් බරපතළ කළ චෝදනාවක් කර තිබුණි. ඒ ඉම්රාන් ඔහුට එරෙහිව ඉදිරිපත්වී ඇති විශ්වාසභංග යෝජනාවෙන් ගැලවුණත් ප්‍රතිවිපාකවලින් නොගැළවෙන බව ඇමරිකාවේ සිටින පාකිස්තාන් තානාපති ඉස්ලාම් මජිඩ් වෙත පැවැසීමයි. එසේම ඉම්රාන් තවදුරටත් පැවසුවේ තෙහෙරික් ඉන්සාන් නැමැති සිය පක්‍ෂයේ හිටපු පිරිසක් ඉස්ලාම්බාද්හි ඇමරිකානු තානාපති කාර්යාලයට යන බවය.

හිටපු පාකිස්තාන් අගමැතිට එරෙහිවීමට ඇමරිකාව ක්‍රියාකළේ ඔහු මොස්කව් බලධාරීන් හමුවීමට තීරණය කිරීම නිසා සහ රුසියානු හමුදාව විසින් යුක්රේනයට එරෙහි යුද්ධය හෙළාදැමීම ප්‍රතික්‍ෂේප කිරීමට ක්‍රියාකිරීම නිසා යැයි අනාවරණය විය.

මේ පසුබිම මැද ඩොනල්ඩ්ලු ශ්‍රී ලංකාව සම්බන්ධව යම් අබිරහසක් මෙහෙයුමක් දියත් කළේ ද යන බරපතළ ප්‍රශ්නය මතුවී ඇත.

එසේම මෙරට ඇමරිකානු තානාපතිවරිය කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ පැවැති ඉන්දු – ශාන්තිකර ඒකාබද්ධ දෘෂ්ටිය නැමැති සමුළුවට ද සහභාගිවී තිබේ. එම සමුළුව අමතමින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්‍ෂ ඩොනල්ඩ් ලූ ද ප්‍රකාශයක් කරමින් ඉන්දු ශාන්තිකර කලාපය නිදහස්ව තිබිය යුතු යැයි ප්‍රකාශ කර තිබේ.

එසේම තානාපතිනි චුන් පවසා ඇත්තේ නැව්මාර්ග සමීපයේ පිහිටි උපාය මාර්ගික කේන්ද්‍රස්ථානයක් නිසා ශ්‍රී ලංකාව ඊට නායකත්වය ගතයුතු බවයි.

මෙලෙස බංග්ලාදේශය ඉන්දියාව නේපාලය, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව යන රටවල නියෝජිතයන්ගේ මෙහෙයවීමෙන් පැවැති එම ආරක්‍ෂක සමුළුව තුළින් තහවුරු වන්නේ ඇමරිකාව විසින් චීනයට එරෙහි මෙහෙයුම තවදුරටත් ව්‍යාප්ත කර ඇති බවයි.

මෙවන් පසුබිමක් මැද ඉන්දීය විදේශ ඇමැති ජායිශංකර් ශ්‍රී ලංකාව පිළිබඳව කළ බව කියන බොරු ප්‍රකාශයක් ටුවිටර් අඩවියක සඳහන් විය.

එහි මෙසේ සඳහන් විය.

ශ්‍රී ලංකාවේ ජනතාව එකඟනම් ශ්‍රී ලංකාව යනු ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට ප්‍රකාශ කිරීමට ඉන්දීය රජය ක්‍රියාකරනු ඇත.

ඒ අනුව ඉන්දියාව ගෑස්, කිරිපිටි, පොහොර සහ ඉන්ධන යන ප්‍රශ්නවලට සහාය දක්වනු ඇත. එසේම ඉන්දියාව ඉදිරියේදී ශ්‍රී ලංකාව මුහුණපාන ප්‍රශ්න ගැනද සොයාබලනු බව දක්වනු කැමැත්තෙමි.

ලන්ඩන් නුවර කොටි වෙබ් අඩවිය එම ප්‍රකාශය විකාශය කර තිබේ. මේ අතර කොටිඩයස්පෝරාව ශ්‍රී ලංකාවේ අරාජික තත්ත්වයක් ඇතිවන තුරු බලා සිටිති.

පසුගිය සතියේ දිනෙක කැනඩාවේ බ්‍රැම්ස්ටෝන් සහ ස්කාබරෝ නගරවල සිටින කොටිඩයස්පෝරාවේ ආධාරකරුවෝ සුපිරි රථවලින් ඩුන්ඩාස් චතුරාශ්‍රයට පැමිණ විරෝධතාවයක් පවත්වනු ලැබූහ. මෙම වාහනවල ද්‍රවිඩ රාජ්‍යය ශ්‍රී ලංකාව විසින් ආක්‍රමණය කර ඇති බවත් ද්‍රවිඩ රාජ්‍ය ස්වාධීන රටක් ලෙස පිළිගැනීමට වේලාව පැමිණ ඇති බව දක්වන ප්‍රචාරක පුවරු දක්වා තිබුණි. එහෙත් මෙරට විරෝධතා මැද කොටිඩයස්පෝරාවේ අරමුණ ශ්‍රී ලංකාව දෙකඩ කිරීමේ මෙහෙයුම දියත් කිරීමයි. එහෙත් සංඝරත්නය මේ ගැන අවධානය යොමුකර තිබේද?

ශ්‍රී ලංකාව තුළ දමිළ ජනසංහාරයක් දියත්වූ බවත් ඒනිසා ම ස්වයංපාලනය දියයුතු බවත් කැනඩා කොටිඩයස්පෝරාව ද කියා සිටියි.

මේ අතර බළලා මල්ලෙන් පැන්නා යන කියමන සනාථ කරමින් මෙරට ඩොලර් මත යැපෙන එන්ජීඕ ක්‍රියාකාරීන් ඇතුළු 111කගේ නම් සඳහන් කළ ප්‍රකාශයක් පසුගිය 20 දා නිකුත් විය. මේ ප්‍රකාශයට අත්සන් කර තිබුණේ මවාගත් ව්‍යාජ තර්ජන මත රටින් ඇමරිකාවට පලාගිය අයෙකි. මරණ තර්ජන ඇතිබවට පළකළ මාධ්‍යවේදී 28 කගේ නාමලේඛනයට මොහුගේ නම ද ඇතුළත් විය. එම නාමලේඛනය කූට ලෙස සකස් කළ නාමලේඛනයක් බව කිවහැකි යැයි ජනමාධ්‍යවේදීන් රටින් පලායෑම යන ශීර්ෂය යටතේ පළවූ පුවතක දන්වා තිබුණි.

රටේ ජනතාව ආර්ථික දුෂ්කරතාවයකින් පෙළෙන අවස්ථාවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම ආරම්භ කළ යුතු යැයි එම ප්‍රකාශයේ දක්වා ඇත.

එම ප්‍රකාශයක් නම් සඳහන් වූවන් අතර නිමල්කා ප්‍රනාන්දු, ජෙහාන් පෙරේරා, ජාවද් යූසුප්, සුනන්ද දේශප්‍රිය, සරෝජ් පතිරණ, රංජිත් හෙන්නායකආරච්චි (බඩල්ගම බර්ටි) ලයනල් බෝපගේ වැන්නන්ගේ නම් ද සඳහන් වේ.

මින් සුනන්ද දේශප්‍රිය හෙවත් රංජිමල්ලි – ලයනල් බෝපගේ 1971 කැරැල්ලේ ප්‍රධාන ක්‍රියාකාරීන් වේ. එසේම රංජිත් හෙන්නායකආරච්චි ද හිටපු කැරලිකරුවෙකි. මොවුන් ස්විස්, ඔස්ටේ්‍රලියානු සහ ජර්මානු පුරවැසියන්ය. සරෝජ් පතිරණ නැමැත්තා බ්‍රිතාන්‍ය පුරවැසියෙකි.

එම ලියවිල්ලේ සඳහන් ඇතමුන් අතර ජීවිතේටවත් අසා නැති අයද වේ. එසේම රඹුක්කන පානදුර මොරටුව සහ තංගල්ල ඇතුළු ප්‍රදේශවල විරෝධතාවලට මුල්වූයේ තෙල් මිල වැඩිකිරීම සහ ගෑස් හිඟයයි. මේ කිසිම විරෝධාකරුවකු අලුත් ව්‍යවස්ථාවක් සම්පාදනය කරපල්ලා යැයි කෑගැසුවේ නැත. නව ව්‍යවස්ථාවක් සහ 13 වැනි සංශෝධනය ඉල්ලුවේ සුමන්තිරන් ප්‍රමුඛ ද්‍රවිඩ සංවිධානයයි.

එල්.ටි.ටී.ඊ යේ රුපියල් බිලියන ගණනක දේපළ රාජසන්තකයි…

එවැනි විටෙක ඩොලර් මත යැපෙන එන්ජීඕ කල්ලියට අවශ්‍ය වී ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගෙන ඒමයි. හැටනව ලක්‍ෂයක ජනතාවක් ඡන්දය දුන්නේ රට දෙකඩ කිරීමේ අරමුණින් නව ව්‍යවස්ථාවකට නොවේ. එසේම ලියවිල්ලට අත්සන් කළ නිර්මාල් රංජිත් දේවසිරි නැමැත්තා ගෝඨාභය ජයලැබුවොත් ඊළාම් දේශයට පැනයන බව පැවසුවත් අද දක්වාම පැනගියේ නැත.

ඊට අමතරව ලියවිල්ලේ නම සඳහන් ජයම්පති වික්‍රමරත්න නැමැත්තා මෙරටට ෆෙඩරල් ව්‍යවස්ථාවක් ගෙන ඒමට කැස කැවූ අයෙකි. ඔහු ස්විට්සර්ලන්තයේ ප්‍රීබුක් ෆෙඩරල් ආයතනයට ද පැමිණ තිබුණි.

මෙලෙස ආර්ථික දුෂ්කරතා මත ජනතාව පීඩනයට පත්ව ඇති අවස්ථාවක සිවිල් සමාජ ප්‍රජාව යැයි හඳුන්වන්නේ විදේශ රටවල අරමුදල් මත යැපෙන්නන් නොවේද?

මේ පසුබිම මැද දමිළ ජාතික පෙරමුණේ නායක මනෝ ගනේෂන් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලයට රිංගුවේය. ඔහු සහ එම පෙරමුණේ රාධක්‍රිෂ්ණන් නැමැත්තා තානාපතනී ජූලි චැන් හමුවී උඩරට කඳුකරයේ ඉන්දීය සම්භවයක් ඇති ජනතාව සඳහා දේශ සීමා රහිත ප්‍රජා කවුන්සිලයක් ස්ථාපිත කළයුතු බව දක්වන ලිපියක් ඇයට භාරදුන්නේය.

මෙය ඌරන් කැකුණ තලනවිට හබන් කුකුළන්ට රජමඟුල් යැයි කියමනට සමාන ක්‍රමවේදයකි.

එසේම මේ ජූලි චැන් කවුද? ඇය මෙරට පැමිණීමත් සමගම කොටි හිතවාදී ඩයස්පෝරා සංවිධාන 6ක් ඇගේ පත්වීම ඇගයීමට ලක්කරනු ලැබීය.

ඇමරිකාවේ සිට ක්‍රියාත්මකවන උතුරු ඇමරිකානු ද්‍රවිඩ සන්ධානය – ශ්‍රී ලංකා ද්‍රවිඩ සංවිධානය, එක්සත් ද්‍රවිඩ ඇමරිකානු දේශපාලන ක්‍රියාකාරි කමිටුව, රටින් පිටත ඊළාම් ආණ්ඩුව, ඇමරිකන් ටැමිල් ඇක්ෂන් ගෲප් සහ වර්ල්ඩ් ටැමිල් ඕගනයිශේෂන් යන සංවිධාන ජුලි සියොන් චුන් ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති වීම ඇගයීමට ලක්කර තිබේ.

1972 ජනවාරි 30 දා බ්‍රිතාන්‍ය සෙබළුන් සිවිල් වැසියන් 26කට වෙඩිතැබූ අතර ඉන් 14ක් මරුමුවට පත්විය. මේ සිද්ධිය සමයේ බ්‍රිතාන්‍ය අගමැතිවූයේ එඩ්වඩ් හීත්ය. එසේම එඩ්වඩ් හීත්ගේ ප්‍රතිමා බිඳ දමන ලෙස බ්‍රිතාන්‍ය ජනතාව හෝ අයි ආර් ඒ හිතවාදීන් එරට ජනතාවගෙන් ඉල්ලුවේ නැත.

එහෙත් මෙරට බ්‍රිතාන්‍ය මහකොමාරිස්වරියවූ සාරා හල්ටන්ද රඹුක්කන පොලිස් වෙඩිතැබීමේ සිද්ධියට මැදිහත්වී ඇත. මේ ගැන නිසි පියවරගත යුත්තේ ශ්‍රී ලංකා අධිකරණයයි. රඹුක්කන වෙඩි තැබීම එක් පොලිස් වෙඩි තැබීමක් නොවේ. ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මහජනතාව මහමඟට බැස විරෝධතා දැක්වූවිට පොලිසිය වෙඩි තැබුවේ දණහිසෙන් පහළට නොවේ.

මෙවන් පසුබිමක් මැද ඩෙන්මාර්කයේ කොටි ජාත්‍යන්තරයේ මෙහෙයවීමෙන් කොටි සංවිධානයට නැවත ජීවය ලබාදීමට උත්සාහ කළ කැනඩා සහ තමිල්නාඩු කොටි කණ්ඩායම තමිල්නාඩු ජාතික බුද්ධි ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම හිටපු කොටි කණ්ඩායම අසුවූයේ කැනඩාවේ පදිංචිකාරියක්වූ මේරි ප්‍රැන්සිස්කා තමිල්නාඩුවට පැමිණ සත්කුනන් හෙවත් සබේසන් නැමැති හිටපු කොටි බුද්ධි නායකයාගේ සහයෙන් මුම්බාහි ඉන්දීය ඕවර්සිස් බැංකුවේ කොටි ගිණුමෙන් මුදල් ලබාගැනීමට උත්සාහ කිරීමේදී අසුවීමයි. ඇය බ්‍රිතාන්‍යයේ පදිංචි පුද්ගලයකුට එම කොටි ගිණුමෙන් ඉන්දීය රුපියල් කෝටි 42ක මුදලක් යැවීමට ද උත්සාහ කර තිබේ.

ඉන්දීය ජාතික බුද්ධි සේවාව විසින් කෙනිස්ටන් ප්‍රනාන්දු, බාස්කරන් ජොන්සන්, සැමුවෙල් ජී. ධර්මේන්ද්‍රන් සහ ඊ මොහාන් යන හිටපු කොටි ක්‍රියාකාරීන්ද අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හිටපු කොටි සතුව තිබූ ඉන්දීය රුපියල් කෝටි 3.59 ක්ද වටිනා ඉඩම් 6ක් ද වාහන 12ක් ද රාජසන්තක කෙරුණි.

බුද්ධි සේවා නිලධාරිහු තවදුරටත් මේරි ප්‍රැන්සිස්කාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ කොටි ජාත්‍යන්තර ජාලය සතුව ඩෙන්මාර්කයේ සහ ස්විට්සර්ලන්තයේ අතිවිශාල මුදලක් ඇති බවයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා ලුසොන් බර්න් – සූරිච් ඇතුළු නගර රැසක කොටි ක්‍රියාකාරීන් විශාල සංඛ්‍යාවක් සිටින අතර මානව හිමිකම් සමුළුව සඳහා වැයකරන්නේ මෙම මුදල් බව වාර්තා වී ඇත.

එහෙත් තමිල්නාඩුවේදී මේරි ප්‍රැන්සිස්කා ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය මෙරට පොලිසිය හෝ ආරක්‍ෂක අමාත්‍යාංශයේ අවධානයට යොමුවී නැත.

ස්විට්සර්ලන්තය කොටි සංවිධානය තහනම් කර නැති අතර ඩෙන්මාර්ක් රජය කොටින්ට සහය දක්වන බව හෙළිවී ඇත.

මෑතකදී කොටි ජාත්‍යන්තර ශ්‍රී ලංකාවේ හිටපු පොලිස්පතිවරුන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක් ගොනු කළේද නෙදර්ලන්තයේයි.

එහෙත් කොටිඩයස්පෝරාවේ අරමුදල් ලබාගැනීමට රජය ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන්ගේ සහාය පතද්දී කොටි අරමුදල් ගැන රජය සොයයි ද?

එසේම කැනඩාවේ හිටපු පුරවැසියකුවූ සුරේන් රාගවන්ගේ දේශපාලන ක්‍රියාදාමයක් අනාවරණය විය. මොහු තම මුහුණු පොතේ ගෝඨාභය ඉල්ලා අස්වෙනු යැයි දක්වමින් ප්‍රකාශයක් කරනු ලැබීය. ඉන්පසු ජනපති ඔහුට ඇමැතිධුරයක් ප්‍රදානය කළේය. මෙයට කලකට පෙර අගමැති මහින්ද රාජපක්‍ෂ ජාතිවාදියකු බව ඔහු රජයේම පුවත්පතකට පවසා තිබුණි. එසේම මෛත්‍රීපාල සිරිසේන ඔහුට උතුරේ ආණ්ඩුකාර ධුරයකට පත්කර ජිනීවා මානව හිමිකම් සමුළුවට ද යවනු ලැබීය.

මෙලෙස ද්විත්ව රංගනයක යෙදුණු රාගවන්ගේ අතීතය ගැන ජනාධිපතිවරයා අවධානය යොමුකළේ නැත. ශ්‍රී ලංකාව හමුදාවට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලවනවිට ඊට එරෙහිව වචනයක්වත් නොකී රාගවන් ගාලු මුවදොර විරෝධතාවය නිසා එකවරම ඇමැතියෙක් විය. එසේම ද්‍රවිඩ ස්නධානය ද වචනයක්වත් පැවසුවේ නැත. ඒ ඔහු අපේ ද්‍රවිඩයා යන පිළිවෙතක් ද්‍රවිඩ සන්ධානය අනුගමනය කිරීමයි.

මේ පසුබිම මැද රටතුළ මතුවී ඇති අර්බුදයට රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් යැයි හඳුන්වාගත් අලුත් පාර්ශ්ව ද සම්බන්ධ වී තිබේ.

මේ සතියේ දිනක 248 කගේ නම් ඇතුළත් ප්‍රකාශයක් 1971 කැරැල්ලේ කැරලිකරුවකු මුල්ලේරියාවේ සිට විකාශනය කරන අඩවියක් මගින් පළකර තිබූ අතර ඒ අතර බිස්ලයා භූතෝ යනුවෙන් සඳහන් නමක්ද විය.

ඒ පාකිස්තානයේ හිටපු අගමැති භූතෝගේ ඥාතියෙක්ද? මේ ප්‍රකාශයේ මෙරට මහජන ආරක්‍ෂක පනත සහ ත්‍රස්ත මර්දන පනත විවේචනයට ලක්කර තිබුණි.

මේ 248 ක පිරිස ප්‍රභාකරන් බෝම්බ පුපුරුවා අහිංසකයන් ඝාතනය කරනවිට සිටියේ කොහේද? එසේම නිදහස් පර්යේෂකයක් යැයි දක්වන පිරිසක් බිහිවී ඇත. මෙවැනි ප්‍රකාශවලින් තහවුරු වන්නේ අහුලාගත් නම් යොදා නිවේදන නිකුත් කරන බවයි.

මේ අතර උතුරු නැඟෙනහිර රාජ්‍ය නොවන සංවිධාන යැයි දක්වමින් සංවිධාන 32ක් ද ගාලු මුවදොර විරෝධය මැද රජය වෙනස් විය යුතු බවත් උතුරු නැඟෙනහිරට ස්වයංපාලනය දිය යුතු යැයි ඉල්ලා ඇත.

මේ සංවිධාන අතර මුස්ලිම් ටවුන් ෆෙඩරේෂන් ශ්‍රමාභාමානි (මීගමුව කිංසුසාරා කණ්ඩාය, (කොළඹ ජනවබෝධ කේන්ද්‍රය (මීගමුව ජීසස් ටුඩේ (කොළඹ ) සහ මෙතෝදිස්ත පල්ලිය කල්මුනේ යන සංවිධාන ද සඳහන් කර තිබේ.

මෙහිදී නැඟෙන බරපතළ ප්‍රශ්නය ශ්‍රමාභිමාන සහ ජනාවබෝධ සංවිධාන ස්ථානගතවී ඇත්තේ මීගමුවේ වුවත් ඔවුන් ද බෙදුම්වාදයට සම්බන්ධ වීමයි.

එසේම මුලතිව්හිදී විරෝධතාකරුවන් පිරිසක් රජය ඉල්ලා අස්වී ෆෙඩරල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කළ යුතු යැයි ඉල්ලා ඇත.

මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳව සැකකරුවන් 735ක් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් 196 ක් රිමාන්ඩ් භාරයේ සිටිති. 19ක් රැඳවුම් භාරයට පත්කර තිබේ. 81කට චෝදනා එල්ල වී තිබේ.

453 කට ඇප නියම වී ඇත. 79 කට නඩුගොනුවී ඇති අතර ඔවුන්ට එල්ලවූ චෝදනා සංඛ්‍යාව 25753 කි.

පාස්කු ප්‍රහාරයේ ප්‍රධානියාවූ සහරාන් ඇතළු ඊබි්‍රාහිම් නැමැත්තාගේ ඉඩම් හා සියලු දේපළ ද රාජසන්තක කර ඇත.

එහි වටිනාකම රුපියල් මිලියන 533 කි.

එහෙත් මේ තොරතුරු ජනතාවට හෙළිවී නොතිබුණි. ඇමරිකානු එෆ් බී අයි පොලිසිය වසර 2 ක් තිස්සේ සිදුකළ විමර්ශනවලදී ප්‍රහාරයේ මහමොළකරුවකු ලෙස නවුෆර් මවුලාවිට චෝදනා එල්ල කර ඔහු ඇමරිකාවට අවශ්‍ය අපරාධකරුවකු ලෙස නම්කර තිබුණි. මේ අතර ඉන්දියාවේ සිටින ශ්‍රී ලංකා තානාපති මිලින්ද මොරගොඩ නැමැත්තා ඉන්දියාවේ හින්දු අන්තවාදී සංවිධානයක් වූ ආර් එස් එස් නායක මොහාන් හමුවී සාකච්ඡාවක නිරත වී ඇත. මේ සඳහා මොහු රජයේ අවසරයක් ගෙන නැතැයි වාර්තා විය. මෙයට පෙර ශ්‍රී ලංකාවේ හිටපු ඇමරිකානු තානාපති අතුල් කෙෂාප් ඇමරිකානු රජයට නොදන්වා ආර් එස් එස් නායකයා හමුවී සාකච්ඡා කිරීම නිසා තානාපති ක්‍ෂේත්‍රයෙන් ඉවත් කරනු ලැබීය.

මේ අතර බ්‍රිතාන්‍යය සහ කැනඩාවේ කොටි හිතවාදී කණ්ඩායම් ශ්‍රී ලංකාවේ බහුතර ජනතාව අතර ගැටුම් ඇතිවන තුරු බලාසිටිති. එය තවදුරටත් තහවුරුවන්නේ ද්‍රවිඩ ජනතා පක්‍ෂයේ නායක ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ද ඊට සම්බන්ධ වීමයි.

ගාලු මුවදොර විරෝධතාවයේ යෙදෙන පිරිස් බෙදුම් වාදයට සම්බන්ධවී නැති අතර ඔවුන් හඬ නඟන්නේ ආර්ථික ප්‍රශ්න ගැනය. එහෙත් උතුරු නැඟෙනහිර බෙදුම් වාදයේ හිතවතුන් තමන්ගේ බෙදුම්වාදයේ අරමුණු ඉටුකර ගැනීමට උපක්‍රමශීලීව ක්‍රියා කරනබව තහවුරුවේ.

මේ අතර බ්‍රිතාන්‍යයේ නගර සභාවල බලය අල්ලා ගැනීම සඳහා කොටි ඩයස්පෝරාවට සම්බන්ධ අපේක්‍ෂකයන් සෑම පක්‍ෂයකින්ම තරග කරන බව හෙළි වී ඇත. මෙලෙස තරග කරන අය අතර ප්‍රධාන තැනැත්තිය ප්‍රභාකරන්ගේ සමීපතම ඥාති දියණිය වූ ශර්මිලා වර්ධරාජාය. ලන්ඩන් ආරංචි මාර්ග පැවසූවේ අපේක්‍ෂකයන් 9ක් නාම යෝජනා භාර දී ඇති බවයි. කොන්සව්ටිව්, ලේබර් සහ ලිබරල් ඩිමෝක්‍රටික් පක්‍ෂවලින් මොවුන් තරග කරති.

ෂර්මිලා වර්ධරාජා සවේන්ද්‍රන් මුත්තුසාමි, නවලේන් ඉලන්ගේ රොව් වැලන් කේ නායන් පාරමි නන්දා රාමා, සෝලින් රාමා මොහාන් ඇලන් ජේතින් නැමැති මෙම අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් බ්‍රිතාන්‍ය පළාත් පාලන මැතිවරණවලට තරගවදී. මින් ශර්මිලා වර්ධරාජා කවුරුන්ද? ඇය ප්‍රභාකරන්ගේ සමීපතම සහයක බෝම්බකරුවකු වූ කන්නන්ගේ දියණිය යි.

එහෙත් බ්‍රිතාන්‍ය බුද්ධි සේවා මේ බව නොදනී ඇය ලේබර් පක්‍ෂයේ සන්නිවේදන නිලධාරිනිය යි. හිටපු ඉන්දී අගමැති රජිව් ගාන්ධි ඝාතනයට සම්බන්ධ කුඩ්ඩුරගු හෙවත් කන්නන් හෙවත් කුඩ්ඩු පාපා තම පියා බව ෂර්මිලා වර්ධරාජා නැමැත්තිය හෙළි කර නැත. එහෙත් බ්‍රිතාන්‍යයේ සිටින කොටි විරෝධීන් ඇය කවුදැයි හඳුනාගෙන තිබේ. මරාගෙන මැරෙන බෝම්බ නිෂ්පාදකයකු මෙන්ම ආර්. පී. ජී. අවි ප්‍රහාරකයකු වූ කන්නන් හෙවත් රගුගේ අතීතය මේ වනවිට හෙළි වී ඇත.

මෙයට පෙර බ්‍රිතාන්‍යයේ නගර සභාවලට නව දෙනෙක් තරගවැදී නැත. මේ කණ්ඩායම ප්‍රධාන පක්‍ෂ තුනකින් තරගවදින්නේ කවුරු බලයට පැමිණියත් ඊළාම් ජනතාවට සහාය වීමට යැයි දක්වමිනි.

මේ පසුබිම මැද ඇමෙරිකානු තානාපති ජූලි චුන් යාපනයට ගොස් ජනතාව නැඟිටවීමේ සංවිධානයේ නායක වේලන් ස්වාමි ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් හමු වී රහස් සාකච්ඡාවක් පවත්වා ඇත. එම සාකච්ඡාවට දේශාපාලන විමර්ශකයකු යැයි පවසන නිලන්තන් සම්බන්ධ වී ඇත. එසේම යාපනයේ හමුදා ප්‍රධානියා ද හමුවූ ඇය සංහිඳියාව ගැන සාකච්ඡා කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment