එල් පී ගෑස් වෙනුවට කඳුළු ගෑස්

198

රජවරුන්ගේ බලය ඉතා පුදුමාකාර ලෙස මහජනතාවගේ අතට මාරුවෙමින් තිබෙන බව පෙනේ. නියම වෙලාවට ඞීසල් සහ පෙට‍්‍රල් වෙළෙඳපොළට එවා අඛණ්ඩ ලෙස ජනතාවට විදුලි බලය සැපයුවේ නම් පොහොට්ටු ආණ්ඩුව තවමත් පවතින්නට ඉඩ තිබිණ. ඒ බව නොදැන සිටින්නට තරම් ජනාධිපතිත් අගමැතිත් කැබිනට් මණ්ඩලයත් බබ්බු නොවෙති. එහෙත් ආණ්ඩුවට කරකියා ගැනීමට කිසිදු දෙයක් ඉතිරි වූයේ නැත. ජනාධිපති වටකරගෙන සිටින වියත් මගේ නුවණ වියතකට වඩා දිග නැති බව ඉතා පැහැදිලිව පෙනී ගොස් තිබේ. එක පැත්තකින් වියත් මගේ සිටි රැලට අයත් හරක් කීපදෙනෙක් කැබිනට් මණ්ඩලයට ඇතුළුව පිස්සු කෙළින්නට පටන් ගත්හ. අනෙක් පැත්තෙන් රාජපක්ෂවරුන් වටකරගෙන සිටි දූෂිත හොර හරක් රැල කවදත් කරන පරිදි ආණ්ඩුවට සෙට් වී හොරා කන්නට පටන් ගත්හ. මේ ආණ්ඩුව හරියට කරගන්නට හැකිවූයේ නම් ගෝඨාභය කවදා හෝ දවසක ජනාධිපති ධුරයෙන් විශ‍්‍රාම යන්නේ ජාතික වීරයකු ලෙසය. එහෙත් ඔහු වටේ සිටි ගොබ්බයන් සහ රාජපක්ෂවරුන්ගේ හොරුන් විසින් නිර්මාණය කරන ලද තත්ත්වය නිසා යුද ජයග‍්‍රහණයේ ගෞරවයවත් ඉතිරි කරගැනීමට ඔහුට හැකිවන්නේ නැත. මිනිසුන් විසින් බතක් මාළුවක් පිස ගැනීම සඳහා ආණ්ඩුවෙන් එල් පී ගෑස් ඉල්ලමින් උද්ඝෝෂණ පවත්වන ලදී. ඒ වෙනුවට ආණ්ඩුව ඒ මිනිසුන්ට කඳුළු ගෑස් ලබා දුන්නේය. විරෝධතාකරුවන් විශාල පිරිසක් පැමිණ ජනාධිපතිතුමාගේ මිරිහානේ නිවස වටකළ මොහොතේදී යුද හමුදාවේ බස් රථයට ගිනි තැබූ එකා කවරෙක්ද යන්න අදටත් හෙළිවී නැත. උද්ඝෝෂකයන් මර්දනයට ගෙන ආ water cannon හෙවත් වතුර තුවක්කු ගින්නෙන් දැවෙන හමුදා බස් රථය වෙත එල්ලකර එම ගින්න නොනිමන ලද්දේ මන්ද යන ප‍්‍රශ්නය තවමත් නොවිසඳී ඉතිරි වී පවතී. ගෝඨාභයගේ ගේ ඉදිරිපිටට පැමිණ කරන ලද උද්ඝෝෂණය වාර්තා කිරීමට ආ මාධ්‍යවේදීන් කිහිපදෙනකුට පොලිසිය විසින් ඉතා දරුණු ලෙස පහරදෙන ලදී. ආණ්ඩුවක් කිසිදු අවස්ථාවක මාධ්‍ය තරහ කරගත යුතු නැත. එසේ තරහ වූ තැන පටන් ඇට හීනි එකෙන් පරිප්පු කෑමට ආණ්ඩුවට සිදුවේ. මේ ආණ්ඩුවට කැත නමක් ගෙනදුන් අය අතර ඇමැතිවරු මෙන්ම ඥානක්කාද තවත් බිස්නස්කාරයන් කිහිපදෙනෙක්ද වූහ. මහින්ද රාජපක්ෂගේ රාජකීය වෛද්‍යවරයා ලෙස පෙනී සිටි ඒලියන්ත වයිට් නමැති ගායකයා තමා හිමාල වනයට ගොස් ඍෂිවරයකු වී පැමිණි බව කියමින් මහින්ද රාජපක්ෂටත් ආණ්ඩුවටත් සෑහෙන විඥ්ඥානවාදී ඩැමේජ් එකක් කළේය. අප මේ කියන කාරණා එකිනෙකට නොගැළපෙන random සිද්ධි සමූහයක් බව පාඨකයා කියනු ඇති. අච්චාරුවක් ගැන රචනාවක් ලියන විට එහි තිබෙන එකිනෙකට සම්බන්ධ නැති දේවල් ගැන ලිවීමට සිදුවෙයි. ආණ්ඩුවේ දැනට පවත්නා අච්චාරු තත්ත්වය ගැන ලියන රචනාවක් ලෙස මේ කතුවැකිය සැලකීමට අද දවසේ පමණක් අපේ පාඨකයා වගබලා ගත යුතුය. කැබිනට් ඇමැතිවරු රැසක් ස්වකීය ඉල්ලා අස්වීමේ ලිපි මේ වනවිට අගමැති මහින්ද රාජපක්ෂට භාර දී තිබේ. එය කිසි වැඩක් නැති වැඩක් බවත් ඇමැතිවරුන්ගේ ඉල්ලා අස්වීම නියම වශයෙන් ක‍්‍රියාත්මක වීමට නම් එම ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති විසින් භාරගත යුතු බවත් මහාචාර්ය ප‍්‍රතිභා මහානාමහේවා කියා තිබේ. කෙසේ හෝ වේවා මිනිසුන් ප‍්‍රතික්‍ෂේප කළ පරණ මිනී ඔළු කීපය නැවතත් කැබිනට්ටුවට පත්කර තිබේ. මිනිසුන්ට අවශ්‍ය වී ඇත්තේ ආණ්ඩුව ඇත්තටම ඉල්ලා අස්වනු දැකීමය. ඉල්ලා අස්වන ආණ්ඩුව වෙනුවට කවරකු එන්නේ ද යන කාරණය පිළිබඳ අවබෝධයක් ජනතාවට නැත. ඔවුන්ට වෙනසක් අවශ්‍යය. 2015 දීත් ඔවුන්ට මේ වෙනස මෙසේම අවශ්‍ය විය. යහපාලනය බලයට එන්නේ එකී වෙනසක අවශ්‍යතාවයේ ප‍්‍රතිඵලයක් ලෙසිනි. කෙසේ වුවද යන යකා කොරහත් බිඳගෙන ගියා සේ යහපාලනය ද රටින් භාගයක් කා දමා යන්නට ගියේය. මේ රටේ ජනයා මෙවර ඉල්ලන වෙනස මගින් එවැනි ඇබැද්දියක් රටට සිදු නොවේවා!

 සමස්ත ලෝකය පුරාම දරුණු ආර්ථික අර්බුදයක් පවතී. ආර්ථික අර්බුදය උග‍්‍ර වන තැනින් දේශපාලන අර්බුද පටන් ගනී. පසුගිය සතියේදී පකිස්තානයේ ඉම්රාන් ඛාන් ආණ්ඩුව පෙරළින. ඉම්රාන් ඛාන් කියන්නේ විදේශ බලවතුන් විසින් ස්වකීය ආණ්ඩුව පෙරළන ලද බවය. පකිස්තානයේ වැඩි බලය ඇත්තේ ආණ්ඩුවට නොව යුද හමුදාවටය. එරට යුද හමුදාව තමන්ට අභිමත පරිදි ආණ්ඩුව පාලනය කිරීම සඳහා ඉස්ලාම් ත‍්‍රස්තවාදය පෝෂණය කරයි. ඉස්ලාම් ත‍්‍රස්තවාදය යනු ඥානා මෑණියන්ගේ විඥ්ඥානවාදයට වඩා බෙහෙවින් මිනීමරු විඥ්ඥානවාදයකි. රටක ආණ්ඩුවක් අස්ථාවර වන සෑම මොහොතකම ත‍්‍රස්තවාදීහු හිස ඔසවති. එය ආසියාවේ සිරිතයි. ආණ්ඩුව විසින් ඇඳිරි නීතිය පනවන ලද සෙනසුරාදා රැුයේ සිට අද දක්වාම ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ අඛණ්ඩව පැවැත්වෙයි. ආණ්ඩුව හදිසි නීතිය ගැසට් කර ඇඳිරිනීතිය ප‍්‍රකාශයට පත්කළ විට මිනිස්සු ආණ්ඩු විරෝධී සටන් පාඨ රැුගත් පෝස්ටර අතින් ගෙන ගෙවල් ඉදිරිපිටට වී සමස්ත ලංකා උද්ඝෝෂණයේ කොටස්කාරයෝ බවට පත්වූහ. ජනතාව මේ එලියට බැස ඇත්තේ බැරිම තැනය. එල්. පී. ගෑස් ඉල්ලන මිනිහාට කඳුළු ගෑස් දුන්නොත් වැඬේ සම්පූර්ණයෙන්ම අල වීමට ඉඩ තිබේ. ඒ නිසා ආණ්ඩුව තවමත් පාවිච්චි කර නැති අලූත් පිටම තබාගෙනම සිටින සිය මොළයේ ච්ජනසබට ඉවත් කර එම මොළය පාවිච්චි කිරීමට පටන් ගත යුතුය. නැතහොත් වෙන රටවල් වලින් එන බලගතු මොළ විශාල ප‍්‍රමාණයක් මේ රට තුළ පාවිච්චි වී මුළු රටම ගිනි ජාලාවක් වීමට ඉඩ තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment