එලිසබෙත් රැජන: දශක හතක කතාව

464

එක්සත් රාජධානියේ දීර්ඝතම කාලයක් සේවය කළ 96 හැවිරිදි දෙවන එලිසබෙත් රැජන වසර 70 ක් කිරීටය හොබවා ස්කොට්ලන්තයේ බැල්මොරල්හිදී මිය ගියාය. ඇයගේ පාලන සමය 1874 දී උපත ලද වින්ස්ටන් චර්චිල්ගෙන් ආරම්භ වී, වසර 101 කට පසුව 1975 දී උපත ලැබූ පසුගිය සතිය මුලදී රැජන විසින් පත් කරන ලද ලිස් ට්‍රස් ඇතුළු අගමැතිවරුන් 15 දෙනකු දක්වා විහිදෙයි. දෙවන එලිසබෙත් රැජන ඇගේ පාලන සමයේදී එක්සත් ජනපද ජනාධිපතිවරුන් 14 දෙනකු හමුවී තිබේ. රැජනගේ පාලන සමයේදී කැනේඩියානු අගමැතිවරුන් 12 දෙනකු පත් විය. ඇය අභාවප්‍රාප්ත වූ බවට පුවත ප්‍රකාශයට පත් කිරීමෙන් ටික වේලාවකට පසු හැඟීම්බර වූ ජස්ටින් ටෘඩෝ පැවසුවේ “කැනේඩියානුවන් කෙරෙහි ඇයට පැහැදිලි හද පතුලෙන් නැගෙන, නොසෙල්වෙන ආදරයක්” ඇති බවයි. රැජනගේ අභාවය පිළිබඳව නිවේදනයක් නිකුත් කළ ඇමෙරිකානු ජනපති ජනාධිපති ජෝ බයිඩන් ස්වර්ගස්ථ වූ රැජන විස්තර කර තිබුණේ “අධිරාජ්‍යයෙකුට වඩා වැඩි කාලයක් සමඟ ඇය නව යුගයක් බිහි කළා” යනුවෙනි. රැජනගේ අභාවයෙන් පසු චීන ජනාධිපති ෂී ජිංපින් “බ්‍රිතාන්‍ය රජයට සහ ජනතාවට අවංක සංවේගය ඇයගේ අභාවය බ්‍රිතාන්‍ය ජනතාවට විශාල පාඩුවක්.” යනුවෙන් නිවේදනය කර තිබිණි.

පසුගිය බ්‍රහස්පතින්දා ලන්ඩනයේ බකිංහැම් මාලිගය අවට, රැජනගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ දැනගැනීමට බලාපොරොත්තුවෙන් සිටි ජනයා ඇගේ මරණය ගැන අසා හඬන්නට පටන් ගත්හ. එරට වේලාවෙන් 18:30 ට මාලිගාව මුදුනේ තිබූ යුනියන් කොඩිය අඩකුඹු කරන ලදී. නිවේදනයක් නිකුත් කරමින් බකිංහැම් මාලිගය පැවසුවේ, “රැජන අද පස්වරුවේ බැල්මොරල්හිදී සාමකාමීව මිය ගියාය” යනුවෙනි. “රජු සහ බිසව අද සවස බැල්මොරල් හි රැඳී සිටින අතර හෙට නැවත ලන්ඩනයට පැමිණෙනු ඇත.” රැජන මියගිය මොහොතේ දී, සිංහාසනය වහාම උත්සවයකින් තොරව එහි උරුමකරු වන හිටපු වේල්ස් කුමර චාල්ස්ට හිමිවිය. ඔහු තෙවන චාල්ස් රජු ලෙස හැඳින්වෙනු ඇත. නව රජුගේ පාලන සමයේ පළමු තීරණය එය යි. ඔහුට ඔහුගේ නම් සතරෙන් – චාල්ස් ෆිලිප් ආතර් ජෝර්ජ් – ඕනෑම එකක් තෝරාගැනීමේ හැකියාව තිබිණි. මවගේ මරණයෙන් පසු ඉකුත්වන පළමු පැය 24 ඇතුළත චාල්ස් නිල වශයෙන් රජු ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබීය. මෙය සිදුවූයේ ලන්ඩනයේ ශාන්ත ජේම්ස් මාළිගයේ, ‘ප්‍රාප්ති කවුන්සිලය‘ නම් චාරිත්‍රානුකූල මණ්ඩලයක් ඉදිරිපිට දී ය. චාල්ස්, ස්වාධීන රටවල් 56කින් සහ බිලියන 2.4ක ජනතාවකින් සමන්විත පොදුරාජ්‍ය මණ්ඩලයේ ප්‍රධානියා බවට පත්ව සිටියි. මින් රටවල් 14ක් සඳහා මෙන්ම එක්සත් රාජධානිය සඳහා ද රාජ්‍ය නායකයා වන්නේ රජු ය. 1685න් පසු කිරීටය දැරූ පළමු චාල්ස් ඔහු ය. හිටපු වේල්ස් කුමරා 1981 ජූලි 29 වැනි දා ඩයනා ස්පෙන්සර් ආර්යාව සමග විවාහ වූ අතර, ඇය වේල්ස් කුමරිය බවට පත්විය. මෙම යුවළ විලියම් සහ හැරී නම් පුතුන් දෙදෙනකු ලදහ. පසුකලෙක ඔවුන් වෙන්වූ අතර ඔවුන්ගේ විවාහය 1996 දී අවලංගු කෙරිණි. 1997 අගෝස්තු 31 වන දා පැරිසියේ දී සිදුවූ රිය අනතුරකින් කුමරිය මියගියා ය. ඔහු 2005 අප්‍රේල් 9 වැනි දා කැමිලා පාකර් බෝල්ස් සමග විවාහ වූයේ ය. විලියම් කුමරු වත්මන් තෙවන චාල්ස් රජුගේ සහ වේල්ස් කුමරිය වන ඩයනාගේ වැඩිමහල් පුත්‍රයා වන අතර දැනට සිංහාසනය සඳහා අනුප්‍රාප්තික අනුපිළිවෙළේ පළමු ස්ථානයේ පසුවෙයි. තම මව එනම් ඩයනා කුමරිය මියයන විට ආදිපාදවරයා 15-හැවිරිදි වියේ පසුවිය. ඔහු ශාන්ත ඇන්ඩෘස් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ අතර, ඔහුගේ අනාගත බිරිඳ කේට් මිඩ්ල්ටන් ඔහුට හමුවූයේ එහිදී ය. මෙම යුවළ 2011 දී විවාහ විය. මේ යුවළගේ පළමු දරුවා කෝන්වෝල් සහ කේම්බ්‍රිජ්හි ජෝර්ජ් කුමරු 2013 ජූලි 22 වැනි දා ලන්ඩනයේ ශාන්ත මරියා රෝහලේ දී උපත ලැබීය.

ජෝර්ජ් කුමරු ඔහුගේ පියාට පසු සිංහාසනයට උරුමකම් කියයි. ඔහු අනුප්‍රාප්තික අනුපිළිවෙළේ දෙවැනියා ය. කෝන්වෝල් සහ කේම්බ්‍රිජ්හි ආදිපාදවරිය 2015 මැයි 2 වන දා නැවතත් ශාන්ත මරියා රෝහලේ දී ඇගේ දෙවැනි දරුවා ලෙස දැරියක බිහිකළා ය. උපන් රජ කුමරිය චාලට් එලිසබෙත් ඩයනා යන නම තබන ලදී. ඇය සිංහාසනය සඳහා අනුප්‍රාප්තික අනුපිළිවෙළේ තෙවැන්නා වන අතර, ඇගේ පියාට සහ වැඩිමහල් සොහොයුරාට පසුව සිටියි. ඇය කෝන්වෝල් සහ කේම්බ්‍රිජ්හි රාජකීය චාලට් කුමරිය ලෙස හැඳින්වේ.

රැජනගේ අභාවයෙන් පසු බ්‍රිතාන්‍යයේ මුදල් නෝට්ටු, විදේශ ගමන් බලපත්‍ර හා නිල ඇඳුම්වල ස්වරූපය වෙනස් වෙයි. මෙතෙක් කාලයක්, බ්‍රිතාන්‍ය ජාතික ගීයෙහි කියවෙන ‘දෙවියන් අපගේ රැජනිය රැක දේවා’ යන්න වෙනස් වනු ඇත්තේ ‘දෙවියන් අපගේ රජු රැක දේවා’ ලෙසය. පැරණි මුදල් නෝට්ටු බැංකුවලින් හා තැපැල් කාර්යාලවලින් කඩිනමින් එකතු කරගන්නා අතර, ඒවා නැවත ජනතාවගේ පරිහරණය සඳහා මුදා නොහැරෙනු ඇත. ඒ වෙනුවට නව රජුගේ රුව සහිත මුදල් නෝට්ටු නිකුත් කිරීමක් ඉදිරියේ දී සිදුවනු ඇත. රැජනගේ අභාවය හේතුවෙන් බී.බී.සී ප්‍රවෘත්ති ලාංඡනය ද කළු පැහැය ගන්වා තිබේ. විනෝදාස්වාදනය උදෙසා පැවැත්වෙන වැඩසටහන් සියල්ල අවලංගු කර ඇත. සියලු ම බී.බී.සී මාධ්‍ය නිවේදකයන් හා කාර්ය මණ්ඩලය කළු ඇඳුමෙන් සැරසී රාජකාරි සිදු කරනු ලබන අතර රැජනිය සිහිකරමින් වාර්තා වැඩසටහන් පමණක් විකාශනය කෙරේ.

එලිසබෙත් රැජන: දශක හතක කතාව

දෙවන එලිසබෙත් රැජන 1926 අප්‍රේල් 21 වෙනිදා ලන්ඩනයේ බර්ක්ලි චතුරශ්‍රයට ඔබ්බෙන් වූ නිවසකදී එලිසබෙත් ඇලෙක්සැන්ඩ්‍රා මේරි වින්ඩ්සර් නමින් උපත ලැබුවේ පස්වෙනි ජෝර්ජ් රජුගේ දෙවෙනි පුතු වූ යෝර්ක් හි ඇල්බර්ට් ආදිපාදවරයාගේ මෙන්ම ආදිපාදවරිය වූ එලිසබෙත් බෝව්ස් – ල්යෝන් ආර්යාවගේ පළමු දරුවා ලෙසිනි. ඇයත්, 1930 දී උපන් සිය සොයුරිය වූ මාගරට් රෝස් යන දෙදෙනාම නිවසේදීම අධ්‍යාපනය ලැබූ අතර සෙනෙහසින් පිරි පවුල් පරිසරයක වැඩුණහ. එලිසබෙත්, සිය පියාට මෙන්ම මුත්තණුවන් වූ පස්වෙනි ජෝර්ජ් රජුට අතිශය සමීප තැනැත්තියක වූවාය. එලිසබෙත් කුමරිය සහ ෆිලිප් මවුන්ට්බැටන් අතර විවාහය 1947 නොවැම්බර් 20 වෙනිදා වෙස්ට්මින්ස්ටර් ඇබී දේවස්ථානයේදී සිදු කෙරිණි. විවාහ දිවියට එළඹෙන විට ලුතිනන් ෆිලිප් මවුන්ට්බැට්න් 26 හැවිරිදි වූ අතර එවක එලිසබත් කුමරිය 21 හැවිරිදි වූවාය. යුවළගේ පළමු දරුවා ලෙස චාර්ල්ස් 1948 දී මෙලොව එලිය දුටු අතර ඊට පසු ඔහුට සිය සොයුරිය වන ඈන් ලැබුනේ 1950 වසරේදීය. දෙවන එළිසබෙත් මහ රැජන බ්‍රිතාන්‍යයේ කිරුළ හිස දරන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු සුවිසල් සමාජ විපර්යාසයන් රැසක් ඇරැඹුණු 1952 වසරේදීය. ඇය රැජන බවට පත්වන විට 27 වැනි වියේ පසුවිය. 1953 පැවති ඇගේ මෞලි මංගල්‍යය රූපවාහිනියෙන් විකාශනය කෙරුණේ අගමැති වින්ස්ටන් චර්චිල් ගේ විරෝධය මැද වුවත්, දෙවෙනි එලිසබෙත් රැජන රාජාභිෂේක ලබන අයුරු දැකීමට මිලියන ගණනක පිරිසක් රූපවාහිනි යන්ත්‍ර වටා එක්වූහ. ඉන් බොහොමයක් එසේ රූපවාහිනිය නැරඹුවේ පළමුවරටය. එලිසබෙත්, රාජ්‍යත්වයේ සිටියදී ඔස්‌ට්‍රේලියාව සහ නවසීලන්තයේ සංචාරය කළ පළමුවැන්නා වූවාය. ඔස්‌ට්‍රේලියානුවන්ගෙන් හතරෙන් තුනක්ම පුද්ගලිකව ඇය දැකබලා ගැනීමට පැමිණි බව ඇස්තමේන්තු කර තිබේ. 1997 අගෝස්තු මාසයේදී ප්‍රංශයේදී මෝටර් රිය අනතුරකින් වේල්සයේ කුමරිය ඩයනා මිය යෑමෙන් පසු කිරීටය සෙලවිණි. රැජන ද පෙර නොවූ ලෙස විවේචනයට ලක්වූවාය. 2015 සැප්තැම්බර් 9 වැනිදා ඇය බ්‍රිතාන්‍ය ඉතිහාසයේ දීර්ඝ කාලයක් කිරීටයේ රැඳුණු පුද්ගලයා බවට පත්වූයේ සිය මී මිත්තණිය වූ වික්ටෝරියා රැජන අභිබවා යමිනි. බ්‍රිතාන්‍ය එලිසබත් රැජනගේ වල්ලභයා වන අභාවප්‍රාප්ත එඩින්බරෝ ආදිපාද ෆිලිප් කුමරා මරණයට පත්වූයේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේය.

එක්සත් රාජධානියේ රජෙකු හෝ රැජනක මිය ගිය විට අලුත් රජු හෝ රැජන පත් වන තුරු රාජකීය ඔටුන්න සහ අනෙකුත් මෞලී ආභරණ තිබෙන ගබඩාව මුද්‍රා තබා, දැඩි රැකවල් මැද තැබේ. රාජකීය ඔටුන්න ඇතුළු සමස්ත ආභරණවල වටිනාකම පවුම් බිලියන 4ක්, එනම් රුපියල් බිලියන 2000 ක් පමණ වේ. දෙවැනි එලිසබත් මහ රැජනගේ අභාවයත් සමග පළමුවෙන් සිදුවූයේ බකිංහැම් මාලිගයේ තිබෙන රැජන විසින් දෙස් විදෙස් අමුත්තන් පිළිගන්නට භාවිත කරනු ලැබූ රාජකීය ආසනය සහ රැජනිය සංකේතවත් කරන රාජකීය සෙංකෝලය කළු රෙදිවලින් වසා දැමීමය. රැජනියගේ රාජකීය ආරක්ෂක බල සේනාව වන බ්‍රිතාන්‍ය හමුදාවේ රාජකීය ආරක්ෂක සෙනඟට අමතර ව, රැජනයගේ ගුර්කා රෙජිමේන්තු සහ මැරීන් කමාන්ඩෝ සේනාංක බකිංහැම් මාලිගය, ශාන්ත ජේම්ස් මාලිගය අවට ආරක්ෂාව සඳහා යෙදවෙන අතර, රැජනියගේ රාජකීය ඔටුන්න හෙවත් වසර 177 ක් පැරණි ‘ඉම්පීරියල් ස්ටේට් ක්‍රවුන්’ යන නිල නාමය සහිත ඔටුන්න තබා තිබෙන ලන්ඩන් කුලුන තාවකාලික ව විශේෂිත අගුළු යොදා සීල් තැබේ.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment