එලොව ගිහින් මෙලොව ආ හැටි…

1714

කිරිබත්ගොඩ පළාතේ පදිංචි තරුණ ව්‍යාපාරිකයකුට රට යෑමට වුවමනා විය. එහෙත් ඒ සඳහා මගක් හෝ දැනුමක් ඒ තරුණයාට තිබුණේ නැත. මේ අතර ඔහුට ෆේස්බුක් එකෙන් යාළුවෙක් සෙට් විය. මේ පිරිමින් දෙදෙනා සති දෙකක් තිස්සේ ෆේස්බුක් එක හරහා ලව් කර විශාල ඝනකමක් ඇති මිත්‍රත්වයක් වගාකරගත්හ. අන්තිමේදී ව්‍යාපාරික තරුණයා රට යවා දීමට ෆේස්බුක් මිත්‍රයා පොරොන්දු විය. හැබැයි නිකන් නොවේ. ඒ සඳහා ඒජන්සිවලටත් ටිකට් වලටත් ගෙවනු පිණිස රුපියල් මිලියන 4 කට වැඩි මුදලක් අවශ්‍ය බව ෆේස්බුක් මිතුරා කීවේය. මේ අතර ව්‍යාපාරික තරුණයාගේ පියා සිය මෝටර් රථය විකුණා එම මුදල් පුතාට දුන්නේය. ඒ මුදලින් රුපියල් හතළිස් හතර ලක්‍ෂ අසූදාහක මුදලක්, දෙපාරක් නොසිතා ෆේස්බුක් මිතුරාගේ ගිණුමට බැර කර රට යන වැඩේ කර දෙන ලෙස ව්‍යාපාරික තරුණයා ෆේස්බුක් මිතුරාට දැන්වීය. ඒත් සල්ලි දැමූ පසු ව්‍යාපාරික තරුණයාගේ මොළ සිඟිත්ත අවදිවිය. තමා විසින් කිසි දිනක නොදක්නා ලද ෆේස්බුක් මිත්‍රයකුට රුපියල් හතළිස් හතර ලක්‍ෂ අසූදාහක් දීම ගැන ව්‍යාපාරිකයාගේ සිත කැළඹෙන්නට පටන් ගත්තේය. එදිනම හවස මේ ගැන කීමට ඔහු පොලිසි ගියේය. මේ කතාව තවත් දිගට තිබේ. මෙය දැනට තිබෙන්නේ පෑලියගොඩ පොලිසියේ විශේෂ දූෂණ විමර්ශන ඒකකය යටතේය. මේ පුවත ඊයේ දිවයින පුවත්පතේ පළවිය. වැඩි විස්තර සඳහා දිවයින කියවන ලෙස නිර්දේශ කරමු.

ඉහත සඳහන් කතාව සම්බන්ධයෙන් සිනාවිය යුතුද නොඑසේනම් ඇඬිය යුතුද යන්න අපට නොතේරේ. අපට හැඟෙන එකම දෙය නම් සිද්ධියට අදාළ ව්‍යාපාරික තරුණයා ගොන් වස්සකු බවය. තව ටිකක් කල්ගතවීමෙන් පසු ලාඩම් ගසා කරත්ත ඇදීම සඳහා ව්‍යාපාරික තරුණයා පුහුණුකළ හැකිය. ජීවිතේට නොදුටු කෙනෙකුට තමන් රට යැවීම සඳහා රුපියල් හතළිස් ලක්‍ෂ අසූහතර දහසක් දෙන්නේ මොන ගොනාද? අපට තිබෙන වැටහීමට අනුව පෙර කී ව්‍යාපාරික තරුණයාගේ සියලු බිස්නස් නිතරම පාඩු පිට දිවූ බංකොලොත් බිස්නස් විය යුතුය. මෙවැනි පුද්ගලයන් ගැන අපේ ජන කතාවල එයි. දිනක් වී මිලට ගන්නා මිනිහෙක් ගමගෙදරකට පැමිණියේය. ඒ මිනිහා ගමරාලගේ අඹුව සමඟ පෙමින් වෙලී සිටි බව ගමරාල දැන සිටියේය. එකල වී ගෝනියක් සත හතළිස් අටකි. සිය බිරිඳ හා හාදුවීමේ පලිය වී වෙළෙන්දාගෙන් ගැනීමට මෙය හොඳම අවස්ථාවක් බව කල්පනා කළ ගමරාල සත හතළිස් අටට වී ගෝනි දෙකක් දී වී වෙළෙන්දා ඉතා අමාරුවෙන් එම ගෝනි දෙක කර තබාගෙන යන හැටි දැක සතුටු විය. එලොව ගිහින් මෙලොව ආ හිඟන්නාගේ කතාවද මීට සමානය. එකම දියණිය මියගිය ගමගෙදරකට හිඟන්නෙක් පැමිණියේය. අතේ සතේ නැතිව කන්නත් යමක් නැතිව නන්නත්තාර වී සිටි හිඟන්නා ගමරාල දොරකඩට එන විටම අධික මහන්සිය නිසා ‘එලොව ගිහින් මෙලොව ආවා’ යැයි කියමින් බිම වාඩි විය. මේ කතාව ඇසුණු ගමමහගේ වහාම ගෙයින් පිටතට දුවවිත් එලොව ගිය ගමනේදී තම මියගිය දියණිය හමුවුණාදැයි විමසුවාය. ගමයුවළ පල් මෝඩයන් බව දැනගත් හිඟන්නා දියණිය හමුවූ බවත් ඇය දුකින් සිටින බවත් කීවේය. එකෙනිහිම ගෙතුළට ගිය ගමමහගේ දියණිය සතුව තිබූ ස්වර්ණාභරණ තොගයක් ගෙනැවිත් හිඟන්නාට දී ඊළඟ සැරේ එලොව යනවිට මේ ටිකත් අපේ දුවට දෙන්නැයි කීවාය.

ඉහත සඳහන් කතන්දර දෙක සහ අපගේ ව්‍යාපාරික තරුණයා අතර වැඩි වෙනසක් නැති බව අපගේ තක්සේරුව වේ. ෆේස්බුක් එක යනු ඉතා භයානක තැනකි. එකී Digital Platform එක හරහා මිනීමැරීම පවා සිදුකළ හැකිය. ෆේස් බුක් එක හරහා හඳුනාගත් තරුණියන් කොළඹ හෝටල්වලට ගෙන්වා ගෙන දූෂණය කෙරුණු අවස්ථා ඕනෑතරම් තිබේ. එහෙත් ප්‍රවේශමෙන් පාවිච්චි කළ විට ෆේස්බුක් එකෙන් ඕනෑ තරම් වැඩගත හැකිය. ඒවා කිරිබත්ගොඩ තරුණයා සුද්ද කළා වැනි නීච වැඩ නොව සමාජයේ යහසාධනය සඳහා යොදාගත හැකි වැඩය. කෙනෙකුට ඕනෑම දෙයක් දිය හැකි නමුදු මොළය දිය නොහැක. මේ කතු වැකිය විහිළුවක් ලෙස නොගන්නැයි අපි පාඨකයන්ගෙන් ඉල්ලමු.

සමාජ මාධ්‍ය හරහා ආණ්ඩු පෙරළනවානම් රුපියල් ලක්‍ෂ හතළිස් හතරක් වංචා කිරීම ඒ තරම් ලොකු සෙල්ලමක් නොවේ. මේ ප්‍රශ්නයේදී සැකකාර තරුණායාට එරෙහිව පොලිසියට ගත හැකි පියවර ඉතා සීමාසහිත බව අපට පෙනේ. කිරිබත්ගොඩ තරුණයා තම ගිණුමට මුදල් දැම්මේ කිසිදු බලකිරීමකින් තොරව බව සැකකරු කියනවා ඇත. එසේම කිරිබත්ගොඩ ව්‍යාපාරික තරුණයා රට පැටවීම සඳහා එම මුදල් වැයකිරීමේ පිරිසිදු චේතනාවක් තමන් තුළ වූ බවද සැකකරු වැඩිදුරටත් කීමට ඉඩ තිබේ. සැකකරුගේ වංචනික චේතනාව ඔප්පු කිරීම ඉතා දුෂ්කරය. සැකකරු ව්‍යාපාරික තරුණයා රවටමින් මුදල් ලබාගෙන මාස ගණනක් රට යවන වැඩේ ඇද්දේ නම් ඔහුට එරෙහිව කුමක් හෝ පියවරක් ගත හැකිය. එහෙත් සැකකාර තරුණයා වෙත රුපියල් ලක්‍ෂ හතළිස් හතරක් තැන්පත් කළ දිනයේම සවස් වරුවේ ව්‍යාපාරික තරුණයා පොලිසියට ඒ බව පැමිණිලි කළේය. ඒ අනුව සැකකරු රට යන වැඩේ ඇද්ද බවක් ඔප්පු කිරීමට බැරිය. මේ වැඩේ ගොඩදාගත හැක්කේ පෑලියගොඩ පොලිසියේ දක්‍ෂකම අනුවය. මේ ගැන තවත් තර්ක ඉදිරිපත් කළ හැකි වෙතත් ඒවා සැකකරුට වාසි වන නිසා මේ කතාව මෙතැනින් නවත්වනු ලැබේ.

advertistmentadvertistment
advertistmentadvertistment