එවැනි තදයක් අපට නැත්තේ ඇයි?

654

ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වන පළාත් පාලන ඡන්දය මාරම වාතයක් වීගෙන එන බව පෙනේ. මේ නිසා නිතර හටගන්නා උද්ඝෝෂණ, සංකේත වර්ජන යනාදියෙහි මිල ගෙවීමට සිදුව ඇත්තේ රාජ්‍ය පාලනයට හෝ දේශපාලනයට කිසිසේත්ම සම්බන්ධයක් නැති, ඡන්දයක් යන වචනය ඇහෙන විටම දේශපාලනඥයින් කෙරෙහි හටගන්නා මහා වෛරයකින් යුතුව දත් මිටි කන අසරණ සාමාන්‍ය ජනතාවට ය. ඡන්දයක් යනු බිස්නස් එකකි. පෝස්ටර් අච්චු ගහන මිනිහාගේ සිට ඡන්දයට ඉදිරිපත් වන පුද්ගලයා දක්වා සියලුම දෙනා මැතිවරණ ක්‍රියාවලිය ජාවාරමක් බවට පත්කරගෙන එයින් ගාණක් කපා ගනිති. මේ වන විට මේ රටේ උද්ඝෝෂණ සහ පැරණි මැයි දින රැලි එක හා සමාන වී තිබේ. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී පැවැති මැයි දින රැලිවල විශේෂ ලක්ෂණයක් තිබිණ. ඒ වූකලී දුර පළාත්වල සිටින ජනතාව සමස්ත පවුලම රැගෙන මැයි දින පෙළපාලිවලට සහභාගි වීමය. මේ සඳහා ආතා, ආච්චි සිට අලුත උපන් පොඩි එකා දක්වා කොළඹට කැඳවාගෙන එනු ලැබේ.

මේ පිරිස එන්නේ මැයි දිනයේ අරුත හෝ දේශපාලනයේ විභවය ගැන කිසිදු හැඟීමකින් තොරව කොළඹ බලනු පිණිසය. ඔවුන්ට කොළඹට පැමිණීමට සිදුවන්නේ අවුරුද්දකට සැරයක් කොළඹ බලා එන මැයි දින දේශපාලන බස් එකේ ය. මේ ගමනේදී කෑම බීමද, අතට ගාණක්ද, අරක්කු සිගරට් සහ බුලත් විට ද අවශ්‍ය අයට බීඩි ද සංවිධායකයන් විසින් නොමිලේ නිකුත් කරනු ලැබේ. (මේ වාක්‍යයේ කිසියම් දෝෂයක් ඇත. එය හදාගෙන කියවන ලෙස පාඨකයාගෙන් ඉල්ලමු.) මැයි දිනයට කොළඹ ආ විට ගෝල්ෆේස් යාමටත් වැල්ල පෑගීමටත් පුළුවන. එමතු ද නොව නොමිලේ චිත්‍රපට බැලීමටත් පුළුවන. (මැයි දිනයට නොමිලේ චිත්‍රපට පෙන්වීමේ සිරිතක් එකල තිබිණ.) අද වන විට මැයි දින සංස්කෘතිය නිමාවට පත්ව ඇති අතර ජනතාව ඒ සම්බන්ධයෙන් මහත් සේ උකටලී ප්‍රතිපත්තියක් අනුගමනය කරත්. දැන් අපි අපේ ප්‍රධාන කතාවට බසිමු.

අවුරුදු 8 ක් වයස දැරියකගේ සිරුර අත පත ගෑ අවුරුදු 70 ක් වයස චීවරධාරියකු අම්බානක ගුටි කා අපවත් වී ඇත. හෙට්ටිපොල පොලිස් වසමෙහි විහාරස්ථානයක අවාස ගෙයකදී මේ පහරදීම සිදුවී ඇත. බෝධි පූජාවක් පැවැත්වීම සඳහා බෝ මළුව ඇමදීම පිණිස ඉදලක් ඉල්ලාගෙන ඒමට ආවාස ගෙට ගිය දැරියක් මෙම සිද්ධියට මුහුණ පා තිබේ. දැරියට අතවරයක් සිදු වූ බව ඇසීමෙන් කෝපයට පත් දැරියගේ පියා ඔහුගේ සහෝදරයකු ද සමග හිමිනම සොයා විහාරස්ථානයට ගොස් ඇති අතර උන්වහන්සේ එහි වැඩ සිට නැත. පසුව වෙනත් විහාරස්ථානයක කාමරයක් තුළ නිදා සිටියදී උන්වහන්සේ සොයා ගන්නා ලදහ. ඊළඟට ගුටි දීම සිදුවී ඇති අතර චීවරධාරියා හොඳටම තුවාල ලබා කුරුණෑගල රෝහලේදී අපවත්වී ඇත. මේ කතාව ඇත්තක් නම් අප මොනතරම් ලජ්ජා විය යුතුද? මේ රටේ භික්ෂු ශාසනය මේ ආකාරයෙන් පරිහානියට පත්වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව අලුත් නීති සම්පාදනය කළ යුතු බව අපගේ වැටහීමය. ලංකාව පුරාම සංඝාධිකරණ තිබේ. එහෙත් භික්ෂුවක විසින් කරනු ලබන සිවිල් වරදකදී හෝ අපරාධ ක්‍රියාවකදී දඬුවම් දීමට සංඝාධිකරණයට බලයක් නැත. එවැන්නකදී සංඝාධිකරණයට කළ හැකි ලොකුම දේ වන්නේ අදාළ චීවරධාරියා නිකායෙන් නෙරපා හැරීම ය.

ඒ නිසා විත්තිකරුට දඬුවම් පැමිණවීම පිණිස පොලිසිය හරහා උසාවි යෑමට සිදුවේ. බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා රැසකගේ හැසිරීම අපි පසුගිය දිනවල රූපවාහිනියෙන් දුටුවෙමු. දනකට වඩින විට සුපේෂල ශික්ෂාකාමී ගමනකින්, වට පිට සිටින අයගේ මුහුණවත් නොබලා ගමන් කරන මේ තරුණ භික්ෂුන් වහන්සේලා උද්ඝෝෂණ කිරීමේදී පොලිසියෙන් එන බව ආරංචි වූ විට සිවුර ගලවා දමා අඳනකඩයෙන්ම පැන දුවති. මේ රටේ භික්ෂු ශාසනය ආරක්ෂා කරගැනීමට නම් ජ්‍යෙෂ්ඨ භික්ෂුන් වහන්සේලාගේ සහ නිකාය ප්‍රධානීන්ගේ උපදෙස් ලබාගෙන දැඩි විනය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීම ආණ්ඩුව කළ යුතුය. දැනටත් මේ රටේ භික්ෂුන් වහන්සේලා හිස බූ ගාන්නේ නැත. උන්වහන්සේලා අඟල් එකහමාරක් පමණ දිගට හිසකෙස් ඉතිරි වන පරිදි No. 02 Cut එකෙන් කෙස් කපති. මෙහි කිසියම් පහසුකමක් උන්වහන්සේලාට තිබේ. එය වූකලී ඕනෑම අවස්ථාවකදී උපැවිදිව කලිසමක් ෂර්ට් එකක් දමාගෙන එළියට බහින්නට උන්වහන්සේලාට හැකි වීමය. රාත්‍රී කාලයේදී සිවුර ගලවා තබා කලිසම් සහ ටී ෂර්ට් ඇඳගෙන cap තොප්පි දමාගෙන මහනුවර නගරයේ බාර් එකකින් මත්පැන් පානය කර පිස්සු කෙළින්නට පටන්ගත් චීවරධාරීන් කිහිපදෙනෙක් ගැන අපට දැනගන්නට ලැබිණ. එවැනි භික්ෂූන්ට විරුද්ධව බුරුමයේ දැඩි විනය නීති තිබේ. තායිලන්තය ද මෙවැනි කාරණා සම්බන්ධයෙන් තදේටම සිටින බව අප මතක තබාගත යුතුය. එවැනි තදයක් අපට නැත්තේ ඇයි?

මේ අතර ඇහැලියගොඩ ප්‍රදේශයේ විදුහලක දස හැවිරිදි සිසුවියකට ලිංගික අතවරයක් කළ 46 හැවිරිදි ගුරකු අත්අඩංගුවට ගෙන ඇතැයි දැනගන්නට තිබේ. අතවරයට ලක්වූ බව කියන දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇත. මේ කතාව ඇත්ත නම් ගුරා පුස්සකු බවට පත්කළ යුතුය. ඒ සඳහා සාම්ප්‍රදායික ක්‍රමය ඒ ආකාරයෙන් යොදාගන්නා ලෙස අපි ඉල්ලමු. එබඳු දැඩි පියවර නොගත්තොත් මෙවැනි නීච ක්‍රියා වැඩ වර්ජන සහ උද්ඝෝෂණ බෝවන පරිදි සෙසු ගුරුන්ට ද බෝවනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment