එස්එම්ලා වර්ජනයේ මගීහු අපාදුකේ

112

දුම්රිය ස්ථානාධිපතිවරුන් විසින් පෙරේදා (12දා) මධ්‍යම රාත‍්‍රියේ සිට කි‍්‍රයාත්මක කරන ලද එක්දින වැඩ වර්ජනය හේතුවෙන් දුර ගමන්, කාර්යාල දුම්රිය ඇතුළු දුම්රිය ගමන් වාර අහෝසි වී දේශීය සහ විදේශීය මගීහු විශාල පිරිසක් ඊයේ (13දා) දැඩි අසීරුතාවට පත්වූහ.

දුර ගමන් සේවා කලින් ආසන වෙන් කළ දුම්රිය නොදන්වා අවලංගු කිරීම, දුම්රිය ධාවන කාර්ය මණ්ඩලය නිසිලෙස පරිපාලනය නොකිරීම, සාමාන්‍ය දුම්රිය කාලසටහන ක‍්‍රියාත්මක නොකිරීම, රාජ්‍ය අමාත්‍යවරයා ලබා දුන් නියෝග ක‍්‍රියාත්මක නොකිරීම ආදී ඉල්ලීම් රැසක් පදනම් කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරු වැඩ වර්ජනයෙහි නිරතවූහ.

ඒ අනුව දුම්රිය ස්ථානාධිපතිවරුන් තමන්ට අදාළ ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීම ඇතුළු සියලූම රාජකාරි නතර කොට කාර්යාල ඉබි යතුරු දමා ඉවත්වීම හේතුවෙන් ඊයේ පෙරවරුවේ කාලසටහනකින් තොරව දුම්රිය 40ක් 45ක් ධාවනය වූ අතර එම ප‍්‍රමාණයම සවස් වරුවේදී ද ධාවනය වන බව දුම්රිය සාමාන්‍යධිකාරී ධම්ම්ක ජයසුන්දර මහතා ‘දිවයින’ට කීය.

හදිසි වැඩ වර්ජනය සම්බන්ධයෙන් අදහස් දක්වමින් දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා මෙසේ කීය. ‘‘දිගින් දිගටම අපේ සාමාජිකයන්ගේ ප‍්‍රශ්න විසඳිලා නෑ. දුම්රිය කාලසටහන යථාවත් කරනවා කියලා, දුම්රිය සාමාන්‍යයෙන් ධාවනය කරන්න යෝජනා කරලා, ආසන වෙන්කිරීමේ කටයුතු ඉවර වුණාට පස්සේ ධාවනය වෙන්න පැය කිහිපයකට කලින් දුම්රිය අවලංගු කරනවා. මේක පාලනාධිකාරිය හිතාමතා කරන දෙයක්. දුම්රිය සාමාන්‍යාධිකාරිවරයාගේ අනුදැනුම මත ක‍්‍රියාත්මක වෙනවා කියා සැකය අපිට තියෙනවා.

තෝරාගත් වෘත්තීය සමිති කිහිපයකට කේවල් කිරීම මත අවශ්‍ය පහසුකම් ලබාදෙමින් මගීන්ගේ සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ පහසුකම් සියල්ල පසෙකලා කටයුතු කිරීමට විරෝධය පළ කිරීමට අපි පැය 24ක වෘත්තීය ක‍්‍රියාමාර්ගයක නිරතවෙනවා.’’

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය හේතුවෙන් කොළඹ සිට මඩකලපුව බලා ධාවනය වෙමින් තිබූ අංක 6079 දරන මීනගයා දුම්රිය පෙරේදා රාත‍්‍රි හදිසියේ කැකිරාව දුම්රිය ස්ථානයේ නතර කිරීමත් සමග ප‍්‍රකෝප වූ මගීන් පිරිසක් එම දුම්රියට අලාභ හානි සිදු කර ඇතැයි කැකිරාව පොලිසිය පවසයි. මඩකලපුව බලා ධාවනය වූ මෙම දුම්රිය පෙරේදා රාත‍්‍රී 11.55 ට පමණ කැකිරාව දුම්රිය ස්ථානයේ නතර කර ඇති අතර දුම්රියේ ගමන් කළ නවසියයකට ආසන්න මගීහු මේ හේතුවෙන් දැඩි අපහසුතාවට ලක්ව සිටියහ.

කැකිරාව දුම්රිය ස්ථානයේ නතර කළ මෙම දුම්රිය නැවත ගමන් නොකිරීම හේතුවෙන් ප‍්‍රකෝප වූ දුම්රිය මගීන් දුම්රිය මැදිරිවලට පහර දී වීදුරු කඩා දමා අලාභ හානි සිදු කර ඇතැයි පොලිසිය පවසයි.

එම අවස්ථාවේ මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය කළ ඉන්ධන ප‍්‍රවාහන දුම්රියක්ද කැකිරාව දුම්රිය ස්ථානයේ නතර කර තිබේ. කැකිරාව පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට කැඳවා, නතර කර තිබූ එම දුම්රිය දෙකට, දුම්රිය ස්ථානයට සහ දුම්රිය කාර්ය මණ්ඩලයට ආරක්ෂාව ලබා දීමට පියවර ගෙන ඇත.

මේ අතර සති අන්තයේ එළඹෙන දීර්ඝ නිවාඩුව සඳහා දුර බැහැර යාමට දුම්රිය ආසන වෙන් කර ගත් මගීන් ද මේ හේතුවෙන් විශාල අසීරුතාවට පත්ව ඇත. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ඉල්ලීම් රැසක් මුල් කර ගනිමින් පසුගිය දෙසැම්බර් මස 24 සිට 28 දක්වා දින 04 ක වර්ජනයක් සිදු කළ අතර ඉන් දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් කෝටි දෙකකට අධික පාඩුවක් සිදුවිය.

කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ රාත‍්‍රි දුම්රිය පෙරේදා (12 දා) මධ්‍යම රාත‍්‍රියේ මහනුවර දුම්රියපළේ හදිසියේ නවතා දැමීමෙන් බදුල්ල බලා යෑමට සිටි මගීහු විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වූහ. දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හදිසි වැඩවර්ජනයක් ආරම්භ වීමෙන් කොළඹ – බදුල්ල රාත‍්‍රි දුම්රිය ද මහනුවර ස්ථානයේ හදිසියේ නැවැත්වීමට සිදු වූ බව දුම්රිය ස්ථානයේ නිලධාරීහු මගීන්ට දැනුම් දුන්හ. දුම්රිය ගමනට බාධාවක් ඇතිවීමෙන් මගීන් අතර ඇති වූ නොසන්සුන්තාව සමථයකට පත්කිරීම සඳහා මහනුවර පොලිස් නිලධාරීන් පිරිසක් දුම්රිය ස්ථානයට පැමිණ සිටියහ.

අතරමං වූ මගීන් පිරිස අතර මහනුවර සිට බදුල්ල දක්වා යෑමට සිටි පිරිසක් මෙන්ම කොළඹ සිට බදුල්ල බලා යෑමට ප‍්‍රවේශපත් ලබාගෙන සිටි පිරිසක් ද වූහ.

අතරමං වූ මගීන් පසුදින (13 දා) දක්වා මහනුවර දුම්රිය ස්ථානයේ කල්ගත කර තිබේ.

අකිත පෙරේරා, මිහින්තලේ – රංග චතූ සහ සිරිල් විමලසුරේන්‍ද්‍ර

advertistmentadvertistment
advertistmentadvertistment