එස්.අයි.ට ඇඳලා පොලිස් භෝජනාගාරයේ බිත්තරවලින් ලක්ෂ ගණන් වංචා කළ සාජන් රිමාන්ඩ්

30

උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටි සැරයන්වරයකු පොලිස් භෝජනාගාරයෙන් අඩු මිලට බිත්තර ලබාදිය හැකි බව කියමින් කාලයක් තිස්සේ ව්‍යාපාරිකයන් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එම සැරයන්වරයා සමග පිටස්තර පුද්ගලයන් දෙදෙනකු දෙමටගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම තිදෙනා හෙට (11දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට උසාවියෙන් නියෝග කර තිබේ.

කොටුව පොලිසියේ සේවය කරන සැකකාර සැරයන් කොළඹ නගරයේ තොග වෙළෙඳුන්ට දුරකථනයෙන් කතා කර තමා දෙමටගොඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂක හේරත් බව කියා දෙමටගොඩ පොලිස් භෝජනාගාරයට ලැබෙන බිත්තර අඩු මිලට එම වෙළෙඳසල්වලට ලබාදිය හැකි බව පවසා පොලිස් ස්ථාන කීපයක නම් කියා අදාළ පොලිසියේ අහවල් නිලධාරියාට මුදල් ලබාදෙන ලෙස දන්වා තිබේ.

මේ අනුව එම ව්‍යාපාරිකයන් අදාළ පොලිස් ස්ථානවලට පැමිණෙන අවස්ථාවේ පොලිසිය ඉදිරිපිට සිටින සැකකාර සැරයන්ගේ හිතවතුන් දෙදෙනා ඔවුන් හමුවී ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ලබාගෙන පොලිසිය අසල භූමියේ රැඳීසිටින ලෙස පවසා මුදල් රැගෙන ගොස් ඇත.

උප පොලිස් පරීක්ෂක හේරත් නමින් පෙනී සිටින සැරයන්වරයා දුරකථනය ඔස්සේ බිත්තර ගනුදෙනුව කරද්දී මුදල් ලබාගෙන ඇත්තේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි ඔහුගේ මිතුරන් දෙදෙනෙකි.

සැකකාර සැරයන්වරයාගේ සේවය තහනම් කර ඇති අතර ඔහු තවත් වසර දෙකකින් විශ්‍රාම යෑමට නියමිතව සිටින පුද්ගලයෙකි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment